චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිණැමූ ඔරුගොඩවත්ත – අතුරුගිරිය කණු මතින් ඉදිවන අධිවේගී
මාර්ගය සදහා වසරකට ඩොලර් මිලියන 108 බැඟින් වසර 15ක කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 1620ක මුදලක් ණය වශයෙන් ආපසු ගෙවීමට සිදුවී ඇති අතර මේ සදහා විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි newshub.lk වාර්තා කරයි.
 
මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2880ක ඇස්තමේන්තුවක් මුලදී ඉදිරිපත් කර තිබුනද තාක්ෂණික ඇඟයීම් කමිටු සාකච්ජාවලදී  රජයේ නිලධාරීන් විසින් සිදුකළ බලපෑම් හමුවේ එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1620 දක්වා අඩුකිරීමට චීන සමාගම එකඟත්වය පළකර තිබිණ.
 
රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ බලපෑම් මත එසේ අඩුකරගැනීමට හැකිව ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1260කි. එය පැහැදිලිවම කිසියම් දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ හා නිලධාරීන් කිහිප දෙනෙකුගේ  සාක්කුවට යාමට තිබු මුදලක් ද යන සාදාරන සැකයක් මතුවේ.
 
 
මෙම මාර්ගය හරහා වසරකදී ඉපයිය හැකි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණක් බව ශක්‍යතා අධ්‍යයනයේදී හෙළිවී තිබෙන බවට සදහන් කළද දක්ශිණ අධිවේගී මාර්ගයේ පවා දක්වා මේ දක්වා වාර්ෂිකව මෙවැනි ආදායමක් උපයා නොමැත.
 
 
මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කල දිනයේ සිට වසර 18ක කාලයක් පෙරකී චීන සමාගමට අයිති වන අතර අදාළ කාලය අවසන් වීමෙන් පසු අයිතිය ශ්‍රී ලංකාවට හිමිවේ. ඒ දක්වා කාලය තුළ උපයන අදායමද එම සමාගමට හිමිය.
 
කොළඹ මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා ජපානය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ මාර්ග ඉදිකිරීමේ වියදම ඩො.මිලියන 1375 කි. එම වියදම වැඩි බව පවසමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට වර්තමාන රජය තීරණය කළේය.
 
නමුත් මෙම අධිවේගී ව්‍යාපෘතියේ පිරිවැය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පිරිවැයට වඩා බොහෝ සෙයින් වැඩි බව අනාවරණය වී ඇත.
 
මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා සමාගමක් ඇ.ඩො මිලියන 400 ක යෝජනාවක් මින් පෙරදී සිදුකර ඇති නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද අනාවරණය වේ.
 
 
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි 'චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම' සම්පූර්ණ වරාය නගර ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා ම ආයෝජනය කරන මුදල ඇ.ඩො මිලියන 1400 කි. එය මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි.
 
ඒ අනුව මෙම ඔරුගොඩවත්ත – අතුරුගිරිය කි.මී 17.3 ක දිගින් යුක්ත මෙම මාර්ගය ඉදිකිරීම ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකල විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකේ.
 
තවද කොල්ලුපිටිය හා පෝට්සිටි අතර පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම ද චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පවරා ඇත. ඒ සදහා පෙර රජයේ ඇස්තමේන්තුගත මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 150 ක් වුවද චයිනා හාබර් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති අගය ඇ. ඩොලර් මිලියන 456 කි. එයද මේ වන විට අනුමත කර ඇත.
 
මේ අනුව චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වරාය නගර ව්‍යාපෘතිය හැරුණකොට මෙම ව්‍යාපෘති දෙක මගින් ද අසීමාන්තික ලාභයක් උපයන බව newshub.lk පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
 
 
විවෘත තරඟකාරි ටෙන්ඩර් කැඳවීමකින් තොරව !
 
 
image 7afd9b3a8a 
 
මේ අතර 2021 ජුනි 05 දා 'අනිද්දා' පුවත්පත අනාවරණය කර ඇත්තේ, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව 'චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන්' වෙත ලබා දී ඇත්තේ විවෘත තරඟකාරි ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවයි. 
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් එම පුවත් වාර්තාව සම්පාදනය කර තිබිණ.
 
මේ බව අනාවරණය වී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්ඩබ්ලිව්ආර් ප්‍රේමසිරිගෙන් ‘අනිද්දා’ කළ ප්‍රශ්න කිරීමේදීය. 
 
premasiri s 
 
'අනිද්දා' අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරිගෙන් විමසා ඇත්තේ, අනෙකුත් මහා පරිමාණ මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමේ ලියවිලි මහාමාර්ග අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇතත් මෙම ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කිසිඳු විස්තරයක් එම වෙබ් අඩවිවල සඳහන් නොවන බැවින් මෙය චීන සමාගමේ ස්වේච්ඡා යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතියක්ද යන්න හා ඒ සම්බන්ධයෙන් ලංසු ක්‍රියාවලියක් සිදුකළ බව කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වන හෙයින් එම ස්වේච්ඡා යෝජනාවට එරෙහි යෝජනා කැඳවූවාද යන්නය. 
 
 
 
එයට පිළිතුරු දෙමින් අමාත්‍යංශ ලේකම්වරයා පවසා  ඇත්තේ, විවෘත යෝජනා කැඳවීමක් නොකළද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ලැබුණ යෝජනා 6ක් සලකා බැලීමෙන් පසු මෙම තෝරා ගැනීම සිදුකර ඇති බවය.
 
 
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ම චීන සමාගමෙන් ස්වේච්ඡා යෝජනාවක් ලැබී ඇති බව මීට පෙර ඔහු මාධ්‍ය කළ විමසීමකදී පිළිගෙන තිබුණා නේදැයි විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ,  එම යෝජනාව ඉවත් කළ බවත් මේ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයට පසුව ලැබුන යෝජනාවක් බවය.
 
 
පසුගිය මැයි 24 දින කැබිනට් මණ්ඩල යෝජනාවේ මේ පිළිබඳ සඳහන් වන්නේ මේ ආකාරයටය. ‘අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදිකොට පවත්වාගෙන ගොස් පවරාදීමේ(BOT) පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ගෙන් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇතුළත් ලංසු කැඳවා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මහාමාර්ග ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි’.
 
image 6image 7image 8 
 
කැබිනට් මණ්ඩල තීරණයේ එසේ සඳහන් වුවද කොවිඩ් වසංගතය හේතුවෙන් සීමා පැනවීම නිසා 2020 අප්‍රේල් 08 දින කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වා නැති අතර එම දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වූ බවට කැබිනට් මණ්ඩල තීන්දු ප්‍රකාශයට පත්කරන රජයේ නිල වෙබ් අඩවි වන news.lk, cabinetoffice සහ dgi.gov.lk යන වෙබ් අඩවිවලද කිසිදු කැබිනට් මණ්ඩල තීරණයක් නැත.
 
මෙම කැබිනට් තීරණයේ ඇති අදහස ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ දක්නට නැති බව, 'අනිද්දා' කළ විමසීමකදී හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අශෝක පීරිස් පවසා ඇත.
 
 ඔහු පැහැදිලි කරන්නේ කැබිනට් මණ්ඩල සාකච්ඡා කමිටුවක් පත්කරන්නේ තනි යෝජනාවක් සලකා බැලීමට බවය. ටෙන්ඩර් ක්‍රියාවලියක් නොවන යෝජනා කිහිපයක් තිබේ නම් ඒ සඳහා තාක්ෂණික කමිටුවක් මෙන්ම තේරීමේ කමිටුවක්ද තිබිය යුතු බවය.
 
  
කුලුනු මතින් ඉදිවෙන මෙම අධිවේගී මාර්ගය චීන සමාගමේ අයිතියට වසර කීයක කාලයකට ලබා දෙනවාදැයි කළ විමසීමේදී අමාත්‍යංශ ලේකම් ප්‍රේමසිරි පවසන්නේ,  එය වසර 15ක කාලයකට බවයි. එම මාර්ගයේ ගාස්තු අය කරන්නේ චීන සමාගමදැයි කළ විමසීමේ දී ඔහු පවසන්නේ, එය කරන්නේ අපි (ශ්‍රී ලංකාව) බවය. 
 
 
එසේනම් එම සමාගම ආයෝජන මුදල සොයා ගන්නේ කෙසේදැයි කළ විමසීමේදී මාස 6කට වාරිකය බැගින් එම මුදල ගෙවන බව ඔහු කියා සිටියි. ලේකම් ප්‍රේමසිරි  වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන්නට කටයුතු කරන බවය.
 
 
රාජපක්ෂවරුන් පමණක් දන්නා අමුතුම BOT ක්‍රමයක් !
 
 
මේ නම් රාජපක්ෂවරුන් පමණක් දන්නා අමුතුම BOT ක්‍රමයකි. ආයෝජකයා සිය ආයෝජනය හා ලාභය සොයා ගැනීම වෙනුවෙන් ඉදිකිරීමෙන් පසු නිශ්චිත වසර ගණනක් ඔපරේට් හෙවත් ක්‍රියාත්මක කරන්නේ නැත. ක්‍රියාත්මක කරන්නේ හෙවත් අධිවේගයෙන් මුදල් අය කරන්නේ අපය. 
 
එසේ වුවද ණයක් ගැනීමක් ලෙස වාරිකවලින් අප ණය ගෙවීමට නියමිතය. BOT ව්‍යාපෘති සඳහා වත්මන් හොඳම උදාහරණය කොළඹ දකුණු චීන වරායය. එය ඔවුන් සිය ආයෝජනය හා ලාභය ලබාගෙන ආපසු අපට ලබා දෙන්නේ අවුරුදු 35ක කාලයකින්ය.
  
klani
 
 
චීන සමාගමට ලබාදී ඇති මෙම කුලුනු මතින් දිවෙන මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය මුලින් සැලසුම් කර තිබුණි. කිලෝමීටර් 6.9ක් වූ පළමු අදියර නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වාත් කිලෝමීටර් 10.4කින් යුත් දෙවන අදියර රාජගිරිය සිට අතුරුගිරිය දක්වාත් විය.
 
පළමු අදියරට රුපියල් බිලියන 46ක් හා දෙවන අදියරට රුපියල් බිලියන 61.8ක් වශයෙන් රුපියල් බිලියන 107.8ක් වැය වන බව ඒ සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර ඇති සැලසුමේ දැක්වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය දේශීය හා විදේශීය මූලාශවලින් මූල්‍ය සහාය ලබාගෙන සිදුකරන බවද එහි සඳහන්ය.
 
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කරනවා යැයි කියන නිවේදනය තුළ මේ සඳහා සමාගම් ඉදිරිපත් කළ සවිස්තර යෝජනාත්, ඔවුන්ට එසේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා බලපෑ දැනුම් දීම ලැබුණේ කාගෙන්ද යන තොරතුරුත් ඇතුළත් වුවහොත් මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන අපට හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.
 
මන්ද මෙම ව්‍යාපෘතියටම අදාල 2021 ජනවාරි 21 කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වන්නේ වෙන දෙයක් බැවිනි. 
 
 
‘ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් ඉදිකිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර ඇත. 
 
ඒ අනුව ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ (BOT) පදනම මත 100%ක විදේශ අරමුදල් සහිතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් (RFP) කැඳවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි’ යන්න එහි සඳහන් වේ.
 
  
ඒ අනුව එම යෝජනා කැඳවීම අප්‍රසිද්ධියේ රහසිගතව කළ හැකි එකක් නොවේ. ප්‍රසිද්ධියේ කළ යුතු එකක්ය. එහෙත් එය එසේ සිදුවූ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නැත. ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුවේ මේ අලුත් BOT සෙල්ලම තවදුරටත් සාකච්ඡා කරන්නට තරම් කුතුහලය දනවන එකකි. 
 
 
මන්ද සාමාන්‍ය මිලදී ගැනීම්වලදී රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද සිදුකරන එකම පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් වෙනස් පුද්ගලයින් හෝ ආයතන නමින් මිල ගණන් කිහිපයක් ලබා ගැනීම වාගේ සෙල්ලමක් මෙහිදීද සිදුවී ඇති බවට සාධාරණ සැකයක් ඇති වන බැවින්ය.
 
 
 
 
 
WhatsApp Image 2021 07 10 at 11.22.33 PMWhatsApp Image 2021 07 10 at 11.22.34 PM
 
 
 
 
 
 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
THE LEADER TV 
 
ගෝඨා සේරම දමල ගහල යයි ද?
 
 
මාස තුනකින් වැටෙන හැටි මංගල පහදයි! - බැසිල්ට ලිපියක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්