මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්‍රියාකාරකයන් 16 දෙනාටම කෝවිඩ් වයිරසය ආසාදනය වී
නැතැයි සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
 
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද හිමි  සහ ජාතික භික්ෂු පෙරමුණේ කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු සියලු පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර තිබූ අතර ඔවුන් පී.සී.ආර්. වාර්තා නිකුත්කර තිබෙන බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාලින් ගෙන් කළ විමසුමකදී ඔහු කීවේ ගුවන් හමුදාවේ නිලධාරියකු පැමිණ තමන්ගේ පී.සී.ආර්. වාර්තා ලබාදුන් බවයි.
 
 
නිරෝධායන නීති මුවාවෙන් අත් අඩංගුවට ගන්නා ලද හමුදාකරණ විරෝධී උද්ඝෝෂකයන් දිගටම රඳවාගෙන සිටින්නේ කොරෝනා ආසාදිත නොවන බවට විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී තිබියදී බවට අනාවරණය වී තිබියදීය. 
 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පෙන්වා දී ඇත්තේ පොලිසිය විසින්  බලහත්කාරයෙන් මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනුබද්ධිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ගුරු සංගම් නායකයා ඇතුළු පිරිසගේ පීසීආර් නිදර්ශක ජුලි 10 දින  ලබා ගෙන ඇති අතර එදිනම ඔවුන් ආසාදිත නොවන බවට තහවුරු වී ඇතත් තවදුරටත් එම පිරිස කඳවුරු නිරෝධායනයේ රඳවා තබා සිටින බවයි.
 
New covid Varieties in Sri Lanka ravi kumudesh 1
 
රවී කුමුදේශ්
 
 
එම  ක්‍රියාන්විතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛ කර ගනිමින් පමණක් ගනු ලබන එකක්මද යන විවාදාත්මක තත්වයක් රටතුල ගොඩනැංවී ඇති අතර “නිරෝධායන අත්අඩංගුව” සහ “නිරෝධායන රැඳවියන්” වැනි වචන සෞඛ්‍ය වචන මාලාවට එක් වෙමින් තිබෙන බවයි වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ.
 
 "නමුත් එකී “නිරෝධායන අත්අඩංගුවට” ගැනීම හෝ නිරෝධායනයේ රඳවා තබා ගැනීම සෞඛ්‍ය සේවාවේ තීරණයක්ද, පොලිසියේ තීරණයක්ද එසේත් නොමැතිනම් වෙනත් පාර්ශවයක උවමනාවක්ද යන්න පැහැදිලි නොවේ." 
 
ජනාධිපතිට ප්‍රශ්න පහක් !
 
 
තවද එකී තීරණ ගැනීමේදී ලොකු කුඩා සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ලබා දී ඇති අනුබලය වසංගත විද්‍යාවට ආදාලවම ගනු ලැබූ බව තහවුරු කිරීම හෝ එසේ නොමැතිව කිසියම් නිළධාරියෙකු සිය පෞද්ගලික උවමනාව මත සෞඛ්‍යමය තීරණයන් වෙනත් කාර්යයක් සඳහා අනියම්ව යොදවා ගැනීමට ඉඩ හැර ඇත්නම් ඊට සමස්ත  සෞඛ්‍ය සේවාව වග නොකියන බව මහජනතාව වෙත පැහැදිලි කිරීම සඳහා පහත කරුණු පහ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස රවී කුමුදේශ් වෘත්තියවේදියා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
 
1. උක්ත අත්අඩංගුවට ගැනීම් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට ලියන ලද ලිපියක් පාදක කරගෙන ඇති බව වාර්තා වන අතර එම ලිපියෙහි අභිලාශය වසංගතය පාලනය කිරීමද? එසේ නොමැති නම් වසංගතය මුවාවෙන් උත්ඝෝෂණ හා විරෝධතා පාලනය කිරීමද? යන්න පිළිබඳවත්, එම ලිපියෙහි අභිලාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේද? යන වග,
 
 
2. පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී වසංගතය පැතිරීමට ඉවහල් වන අයුරින් කටයුතු සිදු වූයේද? නැද්ද? යන්න වග හා එම කණ්ඩායම් නිරෝධායනය කල යුතුද? නැද්ද? යන්න පිළිබඳව වසංගත විද්‍යානුකූලව තීන්දු ගනු ලැබිය යුත්තේ එම ප්‍රදේශයට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රමුඛ කොට ගනිමින් වන අතර උක්ත කණ්ඩායම බලහත්කාරයෙන් කඳවුරු නිරෝධායනයට යොමු කල යුතු බවත් ඊට අදාල සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වන බවත් නිවෙස් නිරෝධායනය වැනි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කල නොහැකි බවත් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් නිර් දේශ  කර තිබෙන්නේද? එසේ නිර්දේශ කර ඇත්නම් එම නිර්දේශයේ අභිලාශය වසංගත පාලනයට පමණක් අදාල වන්නේද? යන වග,
 
 
3.අදාල “නිරෝධායන රැඳවියන්ගේ” පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වල සිදුවන ක්‍රියාවලියට සමාන අයුරෙන් සිදුවූයේද? එසේ නොමැතිනම් අනෙකුත් මධ්‍යස්ථාන වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ කිසිඳු පීසීආර් පරීක්ෂණයක් සිදු නොකරන තත්වයක්  යටතේ මෙකී කණ්ඩායමෙහි පමණක් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට වෙනත් අභිලාශයක් පැවතියේද? යන්න හා එලෙස සුවිශේෂී ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා වසංගතය පාලනය කිරීමේ අභිලාශයෙන්ම පමණක් අදාල සෞඛ්‍ය නිලධාරියා කටයුතු කලේද? යන වග,
 
 
4. අදාල කණ්ඩායමෙහි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල 2021.07.10 දින නිකුත් වී ඇති අතර එම කණ්ඩායම අසාධිතයන් නොවන බව එම පරීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරුව තිබියදී තවදුරටත් ඔවුන්ව කඳවුර තුල රඳවා තබා ගන්නේ සෞඛ්‍යමය උවමනාවක් වෙනුවෙන්ද? යන වග හා අවම වශයෙන් ඔවුන්ව නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට නිර්දේශ නොවන්නේ කිනම් හේතුවක් නිසාද? යන වග,
 
 
5. මෙම ක්‍රියාවලියේදී අඩු වැඩි වශයෙන් පොලිස් නිලධාරීන්ද නිරෝධායන නීති කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උල්ලංඝණය කර ඇති බැවින් ඔවුන් හරහා වසංගතය පැතිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව වසංගත රෝග විද්‍යාව වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කර තිබෙන්නේ කෙසේද? යන වග,
 
 
ඉහත  කරුණු පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කර අදාල තොරතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජන විශ්වාසයත් වසංගත පාලනයේදී ඊට අදාල වසංගත විද්‍යාත්මක පිළිගැනීමත් තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බවයි වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පවසන්නේ.
 
 එබැවින් සෞඛ්‍ය සේවාව සඳහා රට ඉදිරිපත් කර ඇති ඉහත ලිට්මස් පරීක්ෂාව සිදුකර සෞඛ්‍ය සේවාවේ අනන්‍යතාවය සුරැකීම සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින රවී කුමුදේශ්  සිය ලිපිය මගින් මතක් කර දී ඇත්තේ  එය ජනාධිපතිවරයාගේ  වගකීමක් බවයි.
 
 
 
THE LEADER TV 
තෙල් නැතුව බැසිල් ඇවිලෙයි ! 
 
පොලිස් ඇමතිට වෙච්ච වැඩක් ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්