එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (06) රාත්‍රියේ පැවති අතර

එහිදී ඉදිරියේදී පිහිටුවීමට නියමිත පුළුල් සන්ධානය හා එහි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පාස්කු ඉරිදා එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කමිටුව හමුවේ අගමැතිවරයා සාක්ෂි ලබා දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදි පැවති මෙම සාකච්ජාව ඔවුන් දෙදෙනා අතර පමණක් සිදුව ඇත.

අරලියගහ මන්දිර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි එම සාකච්ජාවේදී, තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බව පවසා ඇති අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඒ සඳහා පක්ෂයේ හා වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් රැසක සහය තමාට ඇතැයි සඳහන් කර තිබේ.

එහෙත්, එම කරුණු ප්‍රතික්ෂේප කර ඇති අගමැතිවරයා, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයේ මෙන්ම සුළු ජාතික පක්ෂවල සහය ඇත්තේ තමාට බව අවධාරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ කාරණය එකඟත්වයකින් තොරව සාකච්ජාව අවසන්වී ඇත්තේ ඉදිරි දින කිහිපයක් තුලදී නැවත හමුවීමේ අදහස ඇතිවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකවර කැඳවන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් අගමැතිවරයාට ලිපියක් බාරදීමට කටයුතු යොදා ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

ශ්‍රීලනිප රැස්වීමේදී ඒකමතික තීරණයක්!

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට තීරණය කර ඇත.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙසේ පැවසිය.

"ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම තිබුණා. තාමත් සාකච්ඡා පැවැත්වෙමින් යන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළා. මේක ඒකමතික තීරණයක්. අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා..අපේක්ෂකයා හෝ පක්ෂය නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති මාලාව "

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර පෙරේදා රාත්‍රීයේ පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදි අදහස් පළ කළේය.

"ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් අපි ඉන්නවා. එතනින් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙන්නේ. ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම දිගටම කරන්න හේතුව ඒකයි. කෙසේවෙතත් අවසන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිතුමා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා පිළිබඳ මාධ්‍යට කියන්න විදිහක් නෑ. ඉදිරියේදී ගන්නා තීරණ අනුව ඒ පිළිබඳව පැහැදිළි වෙයි."

මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවට ඔවුන් දෙදෙනා පමණක් සහභාගීවිය. මෙම හමුවේදී සාකච්චා වූ කරුණු කිසිවක් මෙතෙක් හෙලිව නොමැත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්