"බුද්ධාගම හෝ සංස්කෘතිය දඩ මීමා කරගෙන අපරාධයක් සාධාරණීකරණය කරන්න බැහැ.
ඒ දෙකේ වෙනස සාමාන්‍ය ජනතාව දැන ගත යුතුයි"
2015ට පෙර පැවති "මවුන් මරා පැටව් පැහැර ගැනීමේ අලි ජාවාරම" යළි ආරම්භ වීමේ අනතුරක් පවතින බවට පරිසරවේදීහු සහ සත්ව ශුභසාධනවේදීහු බිය පළ කරති.
ඔවුන් ඊට ආසන්නතම හේතුව ලෙස දකින්නේ මීට දින කිහිපයකට පෙර මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නකගේ සිරුරක් මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ළිඳ මහවැව ප්‍රදේශයේ තිබී හමුවීමය.
එමෙන්ම පසුගිය ජුනි 25 වෙනිදා අලි පැටව් සොරකමක් සිදුවන බවට වනජීවී නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබුණේ ද ඇතින්නගේ සිරුර හමු වූ ප්‍රදේශය ආශ්‍රිතවය.
ඉහත කී අලි සොරකම සහ මරණයට පත් ඇතින්න අතර සම්බන්ධයෙක් තිබිය හැකි බවට වනජීවී නිලධාරීහු සැක පළ කරති.
මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ළිඳ මහවැව ප්‍රදේශයේ තිබී හමු වූ ඇතින්නකගේ සිරුර
2015 වසරට පෙර, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ නීති විරෝධී ලෙස අල්ලාගත් බව පැවසෙන අලි පැටවුන්ට අදාළ නඩු විභාග කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් ලබා නොදීම යළි එම ජාවාරම සිදු කරගෙන යාමට රුකුලක් වී ඇති බව ඒ සම්බන්ධයෙන් BBC සිංහල සේවය වෙත අදහස් දැක්වූ පරිසරවේදීන් සහ සත්ව ශුභසාධනවේදීන් කිහිප දෙනෙකුගේම අදහස විය.
මතු වී තිබෙන අලුත්ම තත්වය ගැන මෙතෙක් ප්‍රතිචාරයක් පළකොට නැතත්, අධිකරණ අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් පවසන්නේ, අධිකරණය ස්වාධීනත්වයට ආණ්ඩුව අත නොතබන බවය.
'අලි පැටව් 55 ක් ගැන තොරතුරු':
2014 වසරේදී අනවසරයෙන් රඳවා ගන සිටියදී මුදා ගත් අලි පැටවෙක්.
"අලි පැටවුන් ජාවාරම් කළ බවට චෝදනා ලත් පුද්ගලයන්ට එරෙහි නඩුවලට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග වේගවත් කරලා තරාතිරම, සමාජ පසුබිම, දේශපාලන සබඳතා, ධනය, නිල බලය නොබලා වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි," යනුවෙන් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් BBC සිංහල සේවය වෙත පැවසීය.
ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් "2020 එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස: ඉගෙනුම් ශූරයින් (2020 UN CC:Learn Champions)" ලෙස තෝරා ගනු ලැබු දස දෙනාගෙන් කෙනෙකු ද වෙයි.
ශ්‍රී ලංකාවේ අලි පැටවුන් ජාවාරම පිළිබඳ සිදුකළ "ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ" ප්‍රතිඵල සහිත 2020 වසරේදී එළි දක්වන ලද පර්යේෂණ පත්‍රිකාව මගින් අලි ජාවාරම මැඩලීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද මෙතෙක් ඊට නිසි අවධානය යොමු වී නොමැති බවත් සුපුන් ළහිරු ප්‍රකාශ් සඳහන් කළේය.
ෆේස්බුක් ඔස්සේ කළ ඉල්ලීමක්
'Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka' යන නමින් පළ කෙරුණු අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලි 55 දෙනෙකු පිළිබඳ කරුණු අධ්‍යයනය කර ඇත.
"මේ 55 කියන්නේ අපිට හොයා ගන්න පුළුවන් වුණු අවම අගයක් විතරයි. අලි පැටව් ජාවාරමේ තිබෙන සංවිධානාත්මක බව සහ ඒ සම්බන්ධයෙන් පවතින දත්ත ලබා ගැනීමට තිබෙන අපහසුව ඒකට එක හේතුවක්."
"මේ වගේ ජාවාරම් යළි ඇති නොවෙන්න ගත යුතු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග: කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග මේ අධ්‍යයන වාර්තාව මගින් අපි නිර්දේශ කර තිබෙනවා," යනුවෙන් සුපුන් ළහිරු ප්‍රකාශ් පැවසීය.
"මව් සතුන් මරලා, අමානුෂික ලෙස වනජීවී ජාවාරම් සිද්ධ වීම රටක් හැටියට වගේම මනසින් උසස් ජාතියක් වශයෙන් අපිට අනුමත කරන්න බැහැ. මනසින් උසස් අය ලංකාවේ ඉන්නවා නම් ඒ අපරාධය වැළක්වීමට මැදිහත් වෙන ලෙසත් අපි ඉල්ලීමක් කරනවා."
අලි ජාවාරමට එරෙහි වීම බුද්ධාගමට එරෙහි වීමක්ද?
නීති විරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි අධිකරණය හමුවේ පවසා තිබුණේ 'බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට' අලි පැටවාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබූ බවය.
අලි ජාවාරම සහ සත්ව ශුභසාධනය පිළිබඳ කතා කරන පරිසරවේදීන් 'NGO' මුදල්වලට ගිජු වී රට ජාතිය ආගම පාවා දෙන්නන් ලෙස ලේබල් ගැසෙන අවස්ථා දුලභ නොවේ.
අලින්ගේ නිදහස, යහපැවැත්ම පිළිබඳ අවධානයට ලක් කරන ඇතැම් පරිසරවේදීන් සහ සත්ව ශුභසාධනවේදීන් බෞද්ධ විහාර ආශ්‍රිත පෙරහැර සංස්කෘතිය අතුගා දැමීමට වෙර දරන "කුමන්ත්‍රණකරුවන්" වශයෙන් හඳුන්වනු ලබන අවස්ථා ද දැකිය හැක.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුපුන් ළහිරු ප්‍රකාශ් කියා සිටියේ "මවුන් මරා පැටවුන් අල්ලාගෙන ඒම සහ දීර්ඝ ඉතිහාසයක් සහිත පෙරහැර සංස්කෘතිය එකක් නොව දෙකක්" බව හොඳින් තේරුම් ගත යුතු බවය.
අලි ජාවාරම සම්බන්ධයෙන් ෆේස්බුක් හි පළ වූ අදහසක්
"හීලෑ අලි ගොඩක් රටවල ඉන්නවා. ගෘහස්තකරණය කළ අලි සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන්ගේ ශුභසාධනය, සෞඛ්‍ය පිළිබඳ අදාළ අංශ කටයුතු කිරීමත් අත්‍යවශ්‍යයි."
"නමුත් අම්මලා මරලා පැටවුන් පැහැර ගැනීම චේතනාන්විතව කරන අපරාධයක්. බුද්ධාගම හෝ සංස්කෘතිය දඩ මීමා කරගෙන අපරාධයක් සාධාරණීකරණය කරන්න බැහැ. ඒ දෙකේ වෙනස සාමාන්‍ය ජනතාව දැන ගත යුතුයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මින්නේරිය අලි ජාවාරම සහ හමුදා මේජර් ජෙනරාල්
පසුගිය ජුනි 23 වෙනිදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලි පැටවෙකු පැහැර ගැනීමේ තැතක් පවතින බවට වනජීවී නිලධාරීන් වෙත ඔත්තුවක් ලැබී තිබිණි. (GETTY IMAGES)
අදාළ වැටලීමට ගිය වනජීවී නිලධාරීන් වනෝද්‍යානයේ සිට පැමිණි සැක කටයුතු වාහන දෙකක් ලුහුබැඳ ගොස් තිබුණු අතර ඒවා නොනවත්වා ධාවනය වී අනුරාධපුර ප්‍රධාන හමුදා කඳවුරට ඇතුළු වී ඇති බව වාර්තා විය.
ආපසු පැමිණෙමින් සිටි වනජීවී නිලධාරීන් ගමන්ගත් වාහනයක් නවත්වා හමුදාවේ පිරිසක් ඔවුන්ට තර්ජනය කළ බවට චෝදනා එල්ල විය. එම පිරිස අතර යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ද සිටි බව වාර්තා විය.
පසුව රාජකාරියට බාධා කර, තර්ජනය කර, වනජීවී නිලධාරියෙකුට පහර දීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ඇතුළු හමුදා සාමාජිකයන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කැකිරාව දිසා විනිසුරුවරයා ජුනි 30 වෙනිදා නියෝග කර තිබිණි.
ඔවුන් ජුලි 01 වෙනිදා ඇප මත නිදහස් කෙරුණු අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේජර් ජෙනරාල්වරයා ද පොලිසියට පැමිණිලි කර තිබිණි.
මේ අතර මේජර් ජෙනරාල්වරයා කිසිඳු අවස්ථාවක වනෝද්‍යාන සීමාවට හෝ ගොස් නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසූ බව Media.lk වෙබ් අඩවිය වාර්තා කරයි.
වනෝද්‍යානය තුළට හෝ ඒ සමීපයට ගිය බවට කරන මුල් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරනු ලබන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ යයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණි.
(BBC සිංහල සේවය)
THE LEADER TV
හඬපට ලීක් කරගෙන : පොලිස් ඇමති අමාරුවේ !
සයිනොෆාම් උස්සන ඉස්සිල්ල සැකයි!