''කරුණාකරලා මාව මේ පක්ෂයට හෝ ඒ පක්ෂයට එකතු කරන්න උත්සාහ කරන් එපා මට පක්ෂයක් නෑ. මට තිබෙන්නේ මගේ ජනතාවගේ පක්ෂය'' පසුගිය බදාදා මාධ්‍ය හමුවකදී මේ වචන කීවේ මැල්කම් රංජිත් (MR) කාදිනල්වරයාය.


තමා දේශපාලනය කරන්නේ නැතැ'යි පුන පුනා කියන්නට සිදුවීමේ තත්වයට මැල්කම් රංජිත් කාදිනල්වරයා කනගාටු දායක ලෙස පත්වීමෙන් ම හැඟෙන්නේ ඔහු දේශපාලනය කරන බවයි. බදාදා මාධ්‍ය හමුවේදීත් ඔහු කීවේ දේශපාලන වශයෙන් පක්ෂපාතීත්වයක් හඟවන  බො‌රු සහ සම්ඵප්‍රලාප ය.

කාදිනල් පදවියට පත් වූ අවස්ථාවේ සිටම ඔහු පක්ෂ දේශපාලනය කළේය. ඒ සඳහා උදාහරණ ඔහුගේ ඉතිහාසයෙන් පෙන්වා දිය හැකි ය. 

දැන් වෙනසකට ඇත්තේ, අප්‍රේල් 21වැනිදා පල්ලිවලදී ඝාතනයට ලක්වූ කිතුනු බැතිමතුන්ගේ මෘත ශරීරද  ඔහු තම දේශපාලනය සඳහා ක්‍රෑර ලෙස පාවිච්චි කිරීමට පටන් ගෙන තිබීම ය. ඒ මිනිසුන්ගේ මෘත ශරීර, ශාරීරික තුවාල, අසරණ කම, මානසික පීඩනය හා භක්තිය  මේ කාදිනල්වරයා සිය දේශපාලන වුවමනා එපාකම් සඳහා, එනම් රාජපක්ෂ පවුලේ දේශපාලනය සඳහා සිත්සේ අපයෝජනය කරමින් සිටී.

අලුත් ම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ කීවේ ය.

'කුරිරු ත්‍රස්ත ප්‍රහාර සිදුවී දැන් මාස තුනකටත් වැඩී. ඔවුන් බොහෝ දෙනා කඳුළු සලමින් මට කියා සිටියේ 'අනේ අපට වන්දි එපා, අපට යුක්තිය ඉෂ්ට කරන්න. මේ සිදුවෙච්ච දේ ගැන සම්පූර්ණ සත්‍ය අපට හෙළි කරන්න' කියා යි. මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය පිටිපස සිටින අය, එයට කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, කල්තියා ලැබුණු බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හැරී අය, සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන පුළුල් විභාගයකින් තොරව නිදහස් කළ අය, කිසිදු දඬුවමක් නොලබා තවම නිදැල්ලේ සැරිසරන බව පැහැදිලියි.'

කාදිනල්වරයා මෙහිදී එක් ඇත්තක් නම් කියා තිබේ. එනම්, වන්දිවලට වඩා මිනිසුන්ට අවශ්‍ය වන්නේ 'යුක්තිය ඉටු කර ගැනීම' බවයි. තමන්ට අසාධාරණයක් සිදුවූ විට එය කළේ කවුද, කොහොමද යන් ප්‍රශ්නයට මිනිසුන්ට පිළිතුරු අවශ්‍ය බවයි. 

එහෙත් තිස් වසරක අමානුෂික යුද්ධයක් නිසා අතුරුදන් කිරීම්වලට, ඝාතනයන්වලට, පැහැරගැනීම්වලට, දූෂණයන්ට ලක්වුණු උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන් මේ ආකාරයෙන්ම අපිට යුක්තිය ඉටු කරන්න යැයි කියන විට,udaya tex ඔවුන් වෙනුවෙන් කාදිනල්ගේ මුවෙන් මේ යුක්තිය ඉල්ලීම පිළිබඳ තර්කය යෙදෙනවා නම් අප දැක නැත. පක්ෂපාතීත්වය නම් එයයි.

ඝාතන සංඛ්‍යා ලේඛනවලින් කිසිවක් ලොකු පොඩි නොවන නමුත්, ඒ යුද්ධයේදී විනාශ වූ ලක්ෂ ගණන් ජීවිත, ප්‍රකෝටි ගණනක දේපළ සලකන කල, එය පාස්කු ඉරිදා ප්‍රහාරයේ විනාශයට වඩා සිය දහස් ගුණයකින් ඉහළ බව අලුතෙන් කිව යුතු නැත. අදත් ඒ මිනිසුන්ට යුක්තිය ඉටු වී තිබේද? ඒ විනාශයේ තරම ගැනත්, ඔවුන්ට යුක්තිය ඉටු නොවී ගතව ඇති කාලය ගැනත් සලකන විට, තමා අපක්ෂපාතී නම්, දිනපතා මාධ්‍ය හමු පවත්වා යුක්තිය ඉල්ලන්නට කාදිනල්වරයාට සිදු වන්නේය. 

එහෙත් වචනයකින් වත්, ඔහු ඒ අඳුරු කාලය ගැන කතා කරනවා ‌හෝ යුක්තිය ඉටු කරන්නට අඩුපාඩු මධ්‍යයේ වුවත් ගොඩනගා ඇති අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය වැනි ආතයන ගැන අදහසක් පළ කරනවා හෝ, මේ කාදිනල් දිවිය පුරාම අප දැක නැත. ඔහුගේ දේශපාලන නිරුවත හෙළිවන්නේ ඒ භාවිතය තුළිනි.

වරින්වර පත්කරන ජනාධිපති කොමිෂන්වල වාර්තා කාපට් යට දැමීමක් ගැන ඔහු කියයි. එය අලුත් ඇත්තක් නොවේ. එහෙත්, ඒ තරම් අනුහස් ඇති නායකයෙකු නම් ඒ වාර්තා තමාගේ  දෝතට පිළිගන්වන තුරු බලා නොසිට, ඒ වාර්තා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට ඔහු කර ඇත්තේ කුමන දායකත්වයක්ද? 

ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂයන් තමා හමුවීමට පැමිණිය යුතු යැයි කියන කාදිනල්වරයා, තමා හමුවීමට මේ දක්වා පැමිණි නායකයන්ගෙන් වත් පසුගිය කාලයේ රොෂේන් චානක ඝාතනය ගැන වාර්තාව ඉල්ලා සිටියේ ද? හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ගැන වාර්තාව ඉල්ලා සිටියේ ද? රොෂේන් චානක ඝාතන වාර්තාව, තොරතුරු දැනගැනීමේ පනත යටතේ සමාජ ක්‍රියාකාරීන් විසින් ලබා ගැනුණු බව වත් කාදිනල්වරයා දන්නවාද?


කතෝලිකයෙකු වූ රොෂේන් චානකගේ මළගෙදර නිසි ගරුසරු ඇතිව, නිසි ආගමික වත් පිළිවෙත් ඇතිව වත් පවත්වන්නට ඉඩ නොදුන් රාජපක්ෂ ආණ්ඩුව තිබුණු කාලයේ කාදිනල්වරයා වතිකානයේ ලංකාවට ගොඩ බැස නොසිටියේ ද? ඔහු‌ගේ අපක්ෂපාතී කටහඬ එදා කුමන වළාකුලක පාවී ගොස් තිබේ ද?

Roshan Chnaka1තමා අපක්ෂපාතී යැයි කියන විට, පක්ෂපාතීත්වයේ හෙළුව අතින් වසා ගන්නට කාදිනල්වරයාට අමතක වෙයි. දැන් ඉන්නා පාලකයන් ගෙදර ගොස්  කරන්නට පුළුවන් අයට රට බාර දෙන්නට යැයි කියන විට, කාදිනල්වරයාගේ වචනවලින් හැඟවෙන්නේ පක්ෂ දේශපාලනය මිස අන් කුමක් ද?

අනික් අතට මැල්කම් රංජිත් කාදිනල්වරයා බලාපොරොත්තු වන අමුතු සත්‍ය කුමක් ද? අප්‍රේල් 21 වැනිදා ප්‍රහාර ගැන විමර්ශන පවත්වා, පුද්ගලයන් අත්අඩංගුවට ගෙන, වගකිව යුත්තන්ට අපරාධ චෝදනාත් ඉදිරිපත් කර, පාර්ලිමේන්තු කමිටුවකින් සොයා බැලීමකුත් කර ඇති තත්වයක් යටතේ ඊටත් එහා සත්‍යයක් කාදිනල්වරයාට පෙනෙන්නේ  නම්, එය ඔහුම පෙන්වා නොදෙන්නේ ඇයි?

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්