ශ්‍රී ලංකාව පුරා යළිත් වරක් පැතිර යමින් පවතින වසංගතයෙන් ජීවිත බේරා ගැනීම පිණිස
සෑම මොහොතකම අවදි සිහියෙන් කටයුතු කරන මෙන් වල්පොල රාහුල ආයතනයේ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලා සිටිති.
 
විශේෂයෙන්ම මෙහිදී සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් "තමන්ටත් හානියක් නොවෙන්න, අනුන්ටත් හානියක් නොවෙන විදියට," හැසිරීම සියලු දෙනාගේ වගකීම බව පෙන්වාදෙන එහිමියෝ, භාවනාවෙන් සිත පුහුණු කරමින් සෑම මොහොතකම තමන් කරන කටයුත්ත කෙරෙහි දැඩි අවධානයකින් සිටීම එහිදී වැදගත් වන බවත් පෙන්වා දෙති.
 
"රජය පාර්ශවයෙන් එන්නත්කරණ ක්‍රියාවලිය, ඒක එක පැත්තක්. දෙවැන්න තමයි, ජනතාව වශයෙන් අපි සියලු දෙනාම අපේ වගකීම ඒක ගැනීම. එතෙන්දි හැම වෙලේම කරන, කියන, සිතන මේවා සම්බන්ධයෙන් අවදි සිහිය පවත්වා ගැනීම ඉතා වැදගත්."
 
 
මානසිකව ශක්තිමත් වීම:
 

කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු - බුදු දහමෙන් උපදෙසක්

 
 
දුරස්ථ බව රැකගැනීම, අත් පිරිසිදු කිරීම වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මෙන්ම රෝගය වැළඳීමෙන් වැළකීමත්, රෝගය වැළඳුණහොත් සුවය ලබාගැනීම පිණිසත් මානසික සෞඛ්‍යය රැකගැනීමේ වැදගත්කම ද එහිමියෝ පැහැදිලි කළහ.
 
"මානසිකව ශක්තිමත්ව සිටීම කියන එක සුවපත් වීමේ දී අත්‍යවශ්‍ය යි," යනුවෙන් සඳහන් කළ එහිමියෝ, සිය ගුරු භික්ෂූන් වහන්සේ වූ වල්පොල රාහුල හිමියන් අසනීපව සිටි අවස්ථාවේ රෝහලේ දී කී වදනක් ද සිහිපත් කළහ.
 
"වෛද්‍යවරයා කොච්චර මහන්සි වුණත් රෝගියා සුවපත් වෙන්න ලෑස්ති නැත්නම් වැඩේ අමාරුයි."
 
"ඇත්තටම මම දැක්කේ වෛද්‍යවරයයි, හෙදියයි සුවපත් වෙනවා හාමුදුරුවෝ දැක්කහම. හරිම ප්‍රසන්නයි; එයා ලෑස්තිවෙලා ඉන්නේ වෛද්‍යවරියන්ට උදවු වෙන්න, හෙදියන්ට උදවු වෙන්න."
 
එබැවින් කිසියම් ලෙසකින් රෝගය වැළඳුණහොත් තමන් කෙසේ හෝ සුවපත් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් උත්සාහය අත් නොහැර, ධෛර්යවන්තව එයට මුහුණ දීමේ වැදගත්කම එහිමියෝ අවධාරණය කරති.
 
"මනසේ ශක්තිය ධෛර්යයක් වෙයි වෛරසය පරාජය කරන ප්‍රතිදේහ ශක්තිමත් කරන්න."
 
 
 
රාජ්‍යයේ වගකීම:
 
etrrtr
 
උපදෙස් දීම පහසු වුවත්, නැවතත් ශ්‍රී ලංකාව විවෘත කර තිබෙන පසුබිමක විශේෂයෙන්ම අතිවිශාල පිරිසකට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට සිදුවීම හමුවේ දුරස්ථ බව රැකගැනීම වැනි කරුණු ඉතා දුෂ්කර බව බීබීසී සිංහල සේවය පෙන්වා දුන් විට එහිමියන් කියා සිටියේ, ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම රාජ්‍යයේ වගකීම බවය.
 
ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන පරිදි, අප මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේද සහ අපේ හැසිරීම පිළිබඳ යළි සිතා බලා අවශ්‍ය වෙනස්කම් කිරීමට වසංගතය අවස්ථාවක් කරගත යුතුය.
 
උදාහරණයක් ලෙසින් රටේ සියලුම කාර්යාල එකම අවස්ථාවක විවෘත කරනු වෙනුවට කාර්යාල විවෘත කිරීමේ කාලවේලාවන් සංශෝධනය කළ හැකිය; "ශිෆ්ට් වගේ ක්‍රමයක් හඳුනා දෙන්න පුළුවන් ද,? මේ වගේ දේ කරන්න තමා රජය තියෙන්නේ."
 
එමෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්හි තදබදය අඩුකිරීම පිණිස ආණ්ඩුව පියවර ගත යුතුය.
 
මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මතු වී තිබෙන තත්වය හමුවේ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි තීරණය කිරීමට බ්‍රහස්පතින්දා උදෑසන කොවිඩ් මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවක පැවැත්වෙන බවය.
 
 
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයට 'ජාත්‍යන්තර ප්‍රසාදය'
 
ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවය ලොව පුරා ප්‍රශංසාවට ලක් වූ සේවාවක් බව පවසන උන් වහන්සේ, වසංගතයෙන් බේරීම පිණිස සෞඛ්‍ය සේවයට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමේ සහ සෞඛ්‍ය සේවකයන් දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙති.
 
"සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොන වැඩක් දුන්නත් සියයට සීයක් ප්‍රතිඵල අරගෙන එන්නේ ලංකාවේ කියල මට ජාත්‍යන්තරව බොහෝ දෙනා කියපු දෙයක්. සමහර විට අපිට තියෙන කඩා නොවැටුණු එකම ක්ෂේත්‍රය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙන්න පුළුවන්."
 
රෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජය තුළ පවතින ආකල්පවල ද වෙනසක් සිදුවිය යුතු බවත් ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පෙන්වා දුන්හ.
 
විශේෂයෙන්ම කලක් මුළුල්ලේ මුස්ලිම් සමාජයට එරෙහිව එල්ලකරමින් තිබූ පීඩනය වසංගතය අවස්ථාවේ යළිත් වරක් මතු වූ ආකාරය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ සිහිපත් කළහ.
 
 
 
මුස්ලිම් සමාජයට එරෙහි ප්‍රචාර:
 
 119780559 daffa35d 5001 4523 ba3a ca4e74006513 
 
"පහුගිය කාලේ පුරා, මම හිතන්නේ දේශපාලන අරමුණු සහිතව ලංකාවේ ජනකොටස් අතර බෙදීම් ඇති කරන්නත්, අර 'කළු, නපුරා' මුස්ලිම් කියන දේ වරින්වර මතුකරන එක කළා."
 
මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිසා තුළ සිටින දෙවියා ඉදිරියට ගන්නේ ද, යක්ෂයා එලියට ගන්නේ ද යන්න සලකා බැලීමේ දී සුනාමි ව්‍යවසනය අවස්ථාවේ හැසිරුණු ආකාරයට මෙහිදීත් හැසිරිය නොහැක්කේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
 
එහිදී ඇතැම් මාධ්‍ය "ඉතාම නරක විදියට" රටේ ජනකොටස්වලට එරෙහිව හෝ නාවික හමුදාවට සහ ඇඟලුම් කම්හල් සේවිකාවන්ට පවා එරෙහිව සිය මාධ්‍යකරණය යොදාගත් අන්දම ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ සිහිපත් කරති.
 
"මම හිතන්නේ සුනාමියේ දී එලියට ආපු ඒ මනුෂ්‍යයා තාම ඉන්නවා මිනිස්සු අතර. ඒ මනුස්සයා එලියට ගන්න වැඩේ මේ දැනුවත් කරන කටයුත්තේ ඉන්න අයගේ වගකීමක්.
 
"මෛත්‍රී, කරුණා, මුදිතා පදනම් කරගෙන මේ දැනුම ගෙනියන්න. එහෙම වුනොත් මිනිස්සුන්ගේ මනුෂ්‍යයා එලියට ගන්න පුළුවන්."
 
මතු වී තිබෙන විපත්තිදායක තත්වය ඇතැම් ගැටලු විසඳා ගැනීම පිණිස අවස්ථාවක් කරගත යුතු බවත් ධම්මානන්ද හිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.
 
"අපි මෙතෙක් ආපු රේස් එක පොඩ්ඩක් නවත්තල, අපි ඔක්කොටම ජීවවෙන්න පුළුවන් ජීවිතේකට යන්න මේක අවස්ථාවක් කරගන්න."
 
(සරෝජ් පතිරණ -BBC සිංහල)

 

 


 

THE LEADER TV

 

 

ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?

 

 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්