නිරෝධායන නීති කඩ කළ බවට චෝදනා කරමින් ගුරුවරුන්, සිසුන් සහ විරුද්ධ පක්ෂ සාමාජිකයින් ඇතුළු සාමකාමීව උද්ඝෝෂණවල නිරතවන
පුද්ගලයන් ශ්‍රී ලංකාවේ බලනොපවත්වන නීති යටතේ මර්දනය කිරීම සහ බියවැද්දීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බව ලොව පුරා නීතිවේදීන් නියෝජනය කරන සංවිධානය පවසයි.
 
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ (IBAHRI) සම- සභාපතිනි ආචාර්ය ඈන් රම්බර්ග් (Anne Ramberg Dr Jur hc) ඒ බව අවධාරණය කළේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව සහ ගුරු, විදුහල්පති වැටුප් විෂමතා විසඳීම ඇතුලු ඉල්ලීම් මුල් කරගෙන උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයන් දඩයම් කරමින් සිටින බවට ශ්‍රී ලංකා ආණ්ඩුවට එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දක්වමිනි.
 
එහෙත් ආණ්ඩුව පවසන්නේ පොලිසිය රටේ නීතිය හා සාමය රැකීමේ සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවය.
 
Anne Ramberg
Anne Ramberg Dr Jur hc
 
 
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දුෂ්කර අභියෝගවලට මුහුණදීමට සහ තීන්දු තීරණ ගැනීමට කොවිඩ්-19 වසංගතය විසින් බලධාරීන්ට බලකරනු ලැබ තිබුණ ද, මානව හිමිකම් සම්බන්ධයෙන් පනවනු ලබන සීමා පවතින වාතාවරණයට අනුකූල විය යුතු අතර, ඒවා නිසි පරිදි නිවේදනය කළ යුතු මෙන්ම තාවකාලික විය යුතු බවත් ආචාර්ය ඈන් රම්බර්ග් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.
 
ඇය තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් මගින් සාමකාමී එක්රැස්වීම තහනම් කරනු ලැබ නොමැති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (b) වගන්තිය මගින් සාමකාමීව රැස්වීමේ අයිතිය තහවුරු කරනු ලැබ තිබෙන බවය.
 
"රටේ ව්‍යවස්ථාදායකය විසින් සීමා කරනු ලැබ නොමැති පුද්ගලයන්ගේ නිදහස අහඹු ලෙස සීමා කිරීම පිණිස පොලිසිය වසංගතය යොදාගන්නා හැඩක් දක්නට ලැබේ," යනුවෙන් ද IBAHRI ආයතනයේ සම සභාපතිනිය සඳහන් කළාය.
 
"සෞඛ්‍ය බලධාරීන් නිකුත්කළ නිර්දේශ අපයෝජනය නොකරන මෙන් IBAHRI ආයතනය පොලිසියට දැනුම්දෙන අතර, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 21 වගන්තිය යටතේ සාමකාමීව රැස්වීමේ සහ පුරවැසියන්ගේ භාෂණයේ අයිතිය රැකදීමේ සිය වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දෙමු."
 
ඒ සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරන ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව, කොවිඩ් -19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන මෙන් දැනුම් දී තිබුණි.
 
ghgttt 
 
 
 
මෙතෙක් පොලිසියට කැඳ වූ සහ අත්අඩංගුවට ගෙන ඇති පිරිස:
 
# අගෝස්තු 01 සහ 04 දිනවල මහනුවර පැවති ගුරු උද්ඝෝෂණයට පැමිණි ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් පිරිසක් අගෝස්තු 11 වැනි දින මහනුවර අධිකරණයට කැඳවා තිබූ අතර එහිදී ඔවුන් ඇප මත නිදහස් කෙරිණ.
 
 
# ජුලි 20 වන දින මාතර පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අගෝස්තු 09 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරියක සහ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ දේශපාලන ක්‍රියාකාරිනියක වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ට එරෙහිව නඩු පවරා, ඇප පිට මුදා හැරිණ.
 
SAROJA POLRAJ
සරෝජා සාවිත්‍රි පෝල්රාජ් (SAROJA POLRAJ)
 
  
# අගෝස්තු 06 වෙනි දින අලුයම සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබිණ. එහිදී පොලිස් නිලධාරියෙකු එයට මැදිහත්වූයේ ශිෂ්‍ය නායකයා දිගින් දිගටම ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ බව Rights Now සංවිධානයේ සමබිම පුවත්පත පෙන්වා දී තිබිණ.
 
# අගෝස්තු 05 වෙනි දින, කොළඹ ලිප්ටන් වට රවුමේ පැවති කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයට එක් වූ පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ ආකාරය කථිකාචාර්ය අමින්ද ලක්මාල් ෆේස්බුක් ඔස්සේ සජීව ලෙසින් විකාශය කළේය.
 
vbvbvb
(සේයා - © JDS)
 
 
# අගෝස්තු 04 වැනිදා කොළඹදී විරෝධතාවක නිරතව ආපසු යමින් සිටි ගුරුවරුන් 36 දෙනෙකු ඇතුළත් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන වරාය පොලීසියේ රඳවාගනු ලැබිණ. අගෝස්තු 05 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
 
gfgfg
 
# විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායක උදාර සඳරුවන් පොලිසියට භාර නොවන්නේ නම් ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගන්නේ යයි පොලිසිය තර්ජනය කරන බවට "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ" (JDS) සංවිධානය චෝදනා කරයි.
 
fgfgfgttt (සේයා - © JDS)
 
 
# උද්ඝෝෂණවලින් අනතුරුව තමන්ට දිගින් දිගටම ජීවිත තර්ජන එල්ලවන බව මහාචාර්ය මහිම් මෙන්ඩිස් මෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමි ද සඳහන් කර තිබුණි.
 
 
# ශිෂ්‍ය විරෝධතාවලට සම්බන්ධ වූ චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙති.
 
ffgtt(සේයා - © JDS)
 
  
# ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර, ඔහු අත්අඩංගුවේ පසුවන බව පසුව පොලිසිය පිළිගත්තේය.
 
iusf protest 03 08 2021
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහි අවිවිශිබම විරෝධතාවය - 2021 අගෝස්තු 03, කොළඹ
(සේයා - © JDS)
 
  
මානව හිමිකම් සංවිධාන, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන පවසන්නේ, මේ සියල්ල රටේ නීතිය ක්‍රියාත්මක කිරීමකට වඩා නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් වීදි බට උද්ඝෝෂකයින් 'දඩයම් කිරීමක්' බවය.
 
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර තිබුණේ විරෝධය පළකිරීම ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාර අපරාධයක් නොවන බවය.
 
කොවිඩ් - 19 වසංගත තත්ත්වයට මුවා වී හෝ වෙනත් හේතු දක්වමින් විරෝධතා මැඩ පැවැත්වීම හා ඒවාට නායකත්වය දෙන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හරහා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක් වන බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් පෙන්වා දී තිබුණි.
 
 119885285 kothalawala
 
'පොලිසිය නිල ඇඳුමෙන් ගියාම අපරාධකාරයෝ හැංගෙනවා'
 
මෙම චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය සරත් වීරසේකර, ආණ්ඩුව උද්ඝෝෂකයින් දඩයම් කිරීමක යෙදී සිටින්නේය යන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
 
"මම පැහැදිලිව කියන්නේ මෙතැන ආණ්ඩුවේ කිසිම බලපෑමක් නෑ, කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ. නීතිය කැඩුවොත් තමා පොලිසිය ඇක්ෂන් ගන්නේ."
 
පොලිසිය එසේ 'ඇක්ෂන්' ගන්නේ ආණ්ඩුව විවේචනය කරන හෝ ආණ්ඩුවට විරුද්ධව හඬක් නගන පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් දැයි කළ විමසීමට සෘජු පිළිතුරක් නොදුන් අමාත්‍යවරයා කියා සිටියේ, උද්ඝෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව තමන් පිළිගන්නා නමුත් "ඒකෙන් ජාතික ආරක්ෂාවට, මිනිස්සුන්ගේ සෞඛ්‍යයට බලපෑමක් තියනව නම් නිරෝධායන නීති යටතේ පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන්," බවය.
 
 119881705 sarathweerasekara
අමාත්‍ය සරත් වීරසේකර
 
"ආණ්ඩුවට පක්ෂ වුනත්, නැතත් ඒගොල්ල ජනතාවට අවහිර කරනවා නම් ඒක වැරදියි," යනුවෙන් සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළ විට බීබීසී ප්‍රශ්න කළේ එසේ නම් මෑතදී පෙළපාලි දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඇතුළු පිරිස ද අත්අඩංගුවට ගතයුතුව තිබුණා නොවේ ද යන්නය. ඇමතිවරයා කියා සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.
 
රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී පැමිණෙන්නේ මන්ද යන්න බීබීසී සිංහල සේවය ඔහුට යොමු කළ තවත් ප්‍රශ්නයකි.
 
එයට අමාත්‍ය සරත් වීරසේකර ගේ ප්‍රතිචාරය වූයේ, "පොලිසිය සිවිල් ඇඳුමෙන් යන්නේ අපරාධකාරයෝ අල්ලන්න, නිල ඇඳුමෙන් ගියාම කොහොමද අපරාධකාරයෝ අල්ලන්නේ? එතකොට අපරාධකාරයෝ හැංගෙනවා නේ," යන්නය.
 
එහි අදහස ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් අපරාධකරුවන්ය යන්න දැයි විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගුරුවරුන්ට ගරු කරන නමුත් අදාළ උද්ඝෝෂණවල අපරාධකරුවන් ද සිටි බවය.
 
"ගුරුවරුන්ට අපි ගරු කරනවා, මම තාමත් මගේ ගුරුවරුන්ට වඳිනවා," යනුවෙන් සඳහන් කළ අමාත්‍යවරයා, "බීබීසී එකට ඕන වෙලා තියෙන්නේත්, කඩාකප්පල්කාරීන්ට ඕන වෙලා තියෙන්නේත් කවුරු හරි මරාගන්න, මරාගෙන ඒකෙන් වාසියක් ගන්න," යනුවෙන් චෝදනාවක් ද එල්ල කළේය.
 
එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, රටේ සම්පූර්ණ ආදායම අහිමි වී ඇති මෙවැනි දරුණු වසංගතයක් අවස්ථාවක වැඩි වැටුප් ඉල්ලමින් උද්ඝෝෂණය කිරීම සාධාරණ නොවන බවය.
 
එසේ නම් දැනට ඇණවුම් කොට තිබෙන සුඛෝපභෝගී වාහන ශ්‍රී ලංකාවට ගෙන්වූ විට එය ලබා නොගන්නේ දැයි බීබීසී ය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා, "අපි නම් ගන්නේ නෑ, මේ වගේ කාලෙක මන්ත්‍රීවරුන්ට දෙන දීමනාවලට බාහිරව දේවල් ඉල්ලනවා නම් මම ඒක පිළිගන්නේ නෑ, මම ඒකට විරුද්ධයි," යනුවෙන් ද පැවසීය.
 
 119881709 d4347684 54a8 4820 84f9 8058b5beaff9
 
 
හියුමන් රයිට්ස් වොච්:
 
මේ අතර පසුගියදා වාර්තාවක් නිකුත්කරමින් හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ද විශේෂයෙන්ම වසංගතය සමයේ ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණි.
 
එහි දැක්වෙන්නේ, වසංගතයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අටියෙන් බව පවසමින් ශ්‍රී ලංකා පොලිසිය මනුෂ්‍ය ඝාතන සහ ජනතාවට පීඩා කිරීමේ නිරතව සිටින බවය.
 
පොලිසියට එරෙහිව එල්ලවන මේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, පොලිසිය සම්බන්ධයෙන් ස්වාධීනව සොයා බලන යාන්ත්‍රනය යළි පිහිටුවිය යුතු බවත් පෙන්වා දී තිබුණි.
 
එමෙන්ම එවැනි පරීක්ෂණවල ප්‍රගතියක් ලැබෙන තුරු ස්කොට්ලන්ත පොලිසිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා පොලිසියට ලබාදෙන ආධාර නැවැත්විය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.
 
කෙස් වුවත් අමාත්‍ය සරත් වීරසේකර පවසන්නේ, සමස්තයක් වශයෙන් පොලිසියට එරෙහිව එල්ලවන චෝදනා ඇතැම් මාධ්‍ය සහ ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම්වල "ව්‍යාජ ප්‍රචාරවල" ප්‍රතිඵලයක් බවය.
 
"මේ විදියට දිගටම ගියොත්, අනික පොලිසියේ චිත්ත ධෛර්යය අඩු වුනොත්, රටේ විනයක් පවත්වාගෙන යන්න බෑනේ? ඕගොල්ලොත් අපිට සපෝර්ට් එකක් දෙන්න රටේ නීතිය හා සාමය රකින්න," යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
 


"ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය

 
(සරෝජ් පතිරණ -BBC සිංහල)
 
 

THE LEADER TV 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්?
 

 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 

 
   

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්