1200 x 80 DMirror
 
 

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ ප්‍රදේශවල වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.
 
ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.
 
මීට අමතරව හෙට (19) සිට වැලිමඩ සහ අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් ද සතියක කාලයක් සඳහා වසා තැබෙනු ඇත.
 
පවතිත වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ පැවසුවේය.
 
මේ අතර, හැටන් කොටගල නගරයේ සියලු වෙළඳසැල් හෙට (19) සිට සතියක කාලයක් වසා තැබීමට වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.
 
හෙට සිට ලබන 26 වන දින දක්වා වෙළදසැල් වසා දැමීමට කොටගල වෙළෙඳ සංගමය  තීරණය කර ඇත.
 
මේ අතර තංගල්ල සහ කරන්දෙණිය නගරවල වෙළෙඳසැල් ද අද සිට සතියක කාලයක් වසා දමා ඇති බව සඳහන්ය.
 
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද ව්‍යපාර බ්‍රහස්පතින්දා (19) රාත්‍රි සිට ලබන බදාදා (25) දින දක්වා වසා දැමිමට තිරණය කළ බව වෙළද සංගමයේ සභාපති සුසන්ත ගුණවීර පවසයි.
 
පසුගිය කොවිඩ් අවධානම හමුවේද බුත්තල වෙළද ප්‍රජාව තම ව්‍යපාරික ස්ථාන වසාදමා සෞඛ්‍ය අංශවලට පුර්ණ සහයෝගයක් ලබාදීමට කටයතු කළ බව පැවසු ඒ මහතා, මෙවර පැල්වත්ත මංසන්ධියේ සිට බුත්තල දක්වා ඇති සියලු ව්‍යපාරික ස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක් වසාදැමිමට වෙළද ප්‍රජාව කැමැත්ත පලකර සහය ලබාදීමට සුදානම්ව ඇති බවයි.
 
 
‘රට වසා දමනවා’-  සෞඛ්‍ය වෘත්තීය සමිති ජනතාවට දැනුම් දෙයි
 
 
සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.
 
ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය කියා සිටී.
 
සංධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් පවසන්නේ රට දින 10 කට වසා දැමීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.
 
සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් 23 වනදා වන විට දින 10ට අවශ්‍ය භාණ්ඩ රැස්කරගෙන නිවස් වලට වී සිටින ජනතාවට දැනුම් දෙන බවද ඔහු පැවසීය.
 
 
 
 
 
ස්වයං අගුලු දැමීමක් සිදුකර ගන්න – සජබයෙන් ජනතාවට ඉල්ලීමක්
 
 
 වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගය ද  සියලු දේශපාලන පක්ෂ හා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
ඒකාබද්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින 10 තුළ එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසයි.
 
ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව ද එම පක්ෂය සඳහන් කර සිටියි.
 
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂය සමඟ සන්ධානගත පක්ෂවල නායකයින් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා අමීර් අලී ගේ අත්සනින් යුතුව එම ඒකාබද්ද නිවේදනය නිකුත් කර තිබේ.
 
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
 
1 42 3 
 
ජනාධිපති දැඩි ස්ථාවරයක !
 
  
කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, රට වසා දැමීමක් නොකරන බවයි. නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
 
 
රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
 
කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත.
 
 
කොරෝනා මරණ 171ක් !
 
 
කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු පෙරේදා  (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කළේය.
 
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
මියගිය අය අතර පිරිමි අය 102 දෙනෙක් සහ කාන්තාවෝ 69දෙනෙක් වෙති.
 
මියගිය අයගෙන් 134 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද වෙති
 
  
 
 

 
THE LEADER TV 
 
ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 
 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද? 
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58