'සෙල්ෆ් අයිසොලේෂන් (self isolation) නැත්නම් ස්වයං නිරෝධායනය අපට ඉතා හුරුපුරුදු වුවත්
'සෙල්ෆ් ලොක්ඩවුන්' (ස්ව කැමැත්තෙන් ලොක්ඩවුන් වීම) යන්න නුහුරු වචනයකි.
 
නමුත් දින කීපයක සිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල තුළ මෙය ජනප්‍රිය වචනයක් බවට පත්ව ඇත.
 
ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල ලොක්ඩවුන්වලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වුණ ද ස්ව කැමැත්තෙන් ලොක්ඩවුන් වූ අවස්ථා වාර්තා නොවේ.
  
විවිධ පාර්ශවවලින් රට ලොක්ඩවුන් කිරීමට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වුව ද රජය තවමත් එය ක්‍රියාත්මක කරන බවක් දන්වා නොමැත. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැඩි සීමාවන් ඇතුළත් 'නව මාර්ගෝපදේශ' හඳුන්වා දී ඇත.
 
කෙසේනමුත්, රට පුරා වෙළෙඳ සංගම්, සමිති සමාගම් ඇතුළු විවිධ පාර්ශව එකතු වී ලබාගත් තීරණ මත ස්වයං ලොක්ඩවුන් තත්වයක් අනුගමනය කරමින් සිටිති.
 
මේ අනුව නගර විසිපහකට ආසන්න ප්‍රමාණයක කඩ සාප්පු සතියකට හෝ දින දහයක කාලයකට වසා දැමීමට අදාළ වෙළෙඳ සංගම් ක්‍රියා කර තිබේ.
 
අම්බලන්තොට, දිවුලපිටිය, රත්නපුර, පල්ලේබැද්ද, උඩවලව, බාදුරාගොඩ, බටපොළ, මරදගහමුල, මාතලේ යටවත්ත, ත්‍රිකුණාමලය, රුවන්වැල්ල, අගුරුවැල්ල, කරවනැල්ල, දැරණියගල, තොග සහ සිල්ලර රෙදිපිළිවලට ප්‍රසිද්ධ පිටකොටුවේ දෙවෙනි හරස් වීදිය, තඹුත්තේගම, අකුරැස්ස ඇතුළු තවත් නගර කීපයක වෙළෙඳ සංගම්වල තීරණ අනුව කඩ සාප්පු වසා දැමීමට ක්‍රියා කර ඇත.
 
"අපේ ගම්වල මිනිස්සු කිසි කෙනෙක් එළියට බහින්නේ නැහැ. මිනිස්සු හිතලා ලොක්ඩවුන් වෙලා. බයටත් වඩා මේකට වෙන කරන්න දෙයක් නැහැ කියන මතයේ අපි ගොඩක් දෙනෙක් ඉන්න නිසා මේ තීරණ අරගෙන ඉන්නේ," ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මානයක පදිංචි හේමාලි නයිනවඩු බීබීසී සිංහල සේවයට පැවසීය.
 
 
වෘත්තීය සමිති :
 
 120023027 gettyimages 1233036473 594x594
GETTY IMAGES
 
 
මේ අතර, රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට රජය තීරණයක් නොගන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දින 14ක් ලොක්ඩවුන් කිරීමේ වැඩ වර්ජනයකට වෘත්තීය සමිති සූදානම් වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
 
"බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර තිබෙනවා," මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.
 
"ශ්‍රී ලාංකීය කොවිඩ් ප්‍රභේදයක්" නිර්මාණය කරන තුරු බලා නොසිට වෘත්තීය සමිති ඒකාබද්දව ලොක්ඩවුන් කිරීමක් සදහා සියලුදෙනා සූදානම් බව ඔහු තවදුරටත් සඳහන් කළේය. මෙම ක්‍රියාමාර්ගයට එළැඹීමට පෙර රජයට සිකුරාදා දක්වා කල් ලබා දෙන බව වෘත්තීය සමිති දැනුම් දුන්හ.
 
 
"අපි ආණ්ඩුවට කියනවා වහාම මේ සිකුරාදා රට විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දවස් දහයකට හෝ රට ලොක්ඩවුන් කරන්න කියලා. සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා තමයි මේ ඉල්ලීම රජයට කරන්නේ. මොකද ආණ්ඩුව රට වහන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ලබන සදුදා ඉඳලා රාජ්‍ය සේවකයෝ තම සේවා ස්ථානවලින් ඉවත් කරගන්න," සමස්ත ලංකා කළමනාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක පැවසුවේය.
  
 
රජයේ පිළිතුරු මොනවා ද?
 
රට ලොක්ඩවුන් නොකර සංචරණ සීමා දැඩි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අඟහරුවා දා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
 
රට වසා දැමුවහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි අතර, එදිනෙදා ආදායම් ලබන පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
 
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී බදාදා (අගෝස්තු 18) පැවැති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ, මේ අවස්ථාවේ රටේ වෛද්‍ය විශේෂඥයින්, විද්වතුන් මෙන්ම දේශපාලන පක්ෂ නායකයන්ගේ ද ඉල්ලීම් අනුව, සති දෙකකට හෝ තුනකට රට වසා දැමීමට අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුව නිසි තීරණයක් ගැනීම සුදුසු බවය.
 
"මොනදේ වුණත් රට වහන්නේ නැහැ කියන මුරණ්ඩු ස්ථාවරයක රජය නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබාදෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට රජය සූදානම්. අවුරුදු එකහමාරක් තිස්සේ රට සැරෙන් සැරේ වහලා, මේ අවස්ථාවේ රටේ රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතුයි කියලා ජනාධිපති දැනුම් දුන්නා," කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසීය.
 
 10
ආණ්ඩුවේ පක්ෂ නායකයන් ජනපති වෙත යොමු කළ ලිපිය
 
  
කෙසේ වුවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ද ඇතුළත් ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ද සති තුනකටවත් රට අගුලු දමන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.
 
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම ලිපියට අත්සන් කර තිබේ.
 
 120023029 gettyimages 1233036651 594x594
GETTY IMAGES
 
 
  
විවිධ අදහස්
 
"කොරෝනා ප්‍රශ්නය භාරකළ යුත්තේ අදෘෂ්‍යමාන දෙවිවරුන්ට නොව මිහිපිට දෘශ්‍යමාන දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට," යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
 
මේ අතර, මහනුවරට ප්‍රථම රන්දෝලි පෙරහැර දින සාම්ප්‍රදායික මී පැණි පූජාව සිදු කිරීමෙන් අනතුරුව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවසුවේ, ශ්‍රී ලංකාවේ වර්තමාන කොරෝනා තත්වයට පිළියමක් ලෙස රට යම් කාලයකට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් රජය ඊට අවනත විය යුතු බවය.
 
රටක් ලොක්ඩවුන් කිරීමට යම් නිර්ණායකයක් තිබේදැයි, බදාදා (18) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ,
 
"එහෙම නිර්නායකයක් නැහැ. සමහර රටවල්වල එක රෝගියෙක් නිසාත් ලොක්ඩවුන් කරනවා. ඒක ඒ ඒ රටේ තියෙන සාමාජීය ආර්ථික හැකියාව අනුව අනෙකුත් සියලු සාධක සැලකිල්ලට ගෙන ගන්න ක්‍රියාමාර්ගයක්. ඒ වගේම සමහර රටවල් තියනවා මිලියන ගණනින් රෝගීන් වෙලා දස දහස් ගණනින් මිය යනතුරු රට කොහොත්ම වහන්නේ නැති. මේ එකක්වත් හරිද නිවැරදි ද කියලා අපට කියන්න බැහැ. මේවා පොදුවේ ගත යුතු තීරණ. එක තීරණයක්වත් අවසාන තීරණයක් හැටියට මමත් සලකන්නේ නැහැ."
 
මේ අතර, වර්තමානයේ පවතින තීරණාත්මක තත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට යොමුවන ලෙස සමගි ජන බලවේගයේ සන්ධානගත පක්ෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
covid lockdown 1
covid lockdown 2
 
විද්‍යානුකූලව රට ලොක්ඩවුන් කරන ලෙස බල කරමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් බදාදා (18) නිහඬ විරෝධතාවයක් පැවැත්විණි.
 
 
 
එක් ආසාදිතයෙකු නිසා රටම වහලා
 
සය මසකට ආසන්න කාලයකින් පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමග ඕක්ලන්ඩ් නගරය සතියකටත්, මුළු රටම දින තුනකට සම්පුර්ණයෙන්ම වසා දැමීමට එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් පියවර ගෙන තිබේ.
 
කොරෝනා මර්දන එන්නත සම්පූරණයෙන් ලබාගෙන ඇත්තේ එරට ජනගහනයෙන් 20%ක් පමණක් වන අතර, 33%ක් එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇත.
 
නවසීලන්තයේ ජනගහනය මිලියන 4.7ක් පමණි.
 
 
(BBC සිංහල සේවය)

 

 


 

THE LEADER TV 
 
 
කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද? 
 
 
 
ලෝක්ඩවුන් එකට විරුද්ධ බැසිල් ලු ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්