ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඊයේ(13) දඹුල්ල ප්‍රදේශයේ දී උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඒ, ඔහු අනුරාධපුර අටමස්ථාන වැදපුදා ගැනීමෙන් අනතුරුව මහනුවර බලා ගමන් ගනිමින් සිටි අතරතුරය.
දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල මංසන්ධියේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබුවේ ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් විසිනි.
ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාව රථ පෙළපාලියකින් දඹුල්ල නගරය වෙත කැදවාගෙන එනු ලැබිය.
දඹුල්ල ඔර්ලෝසු කණුව ඉදිරිපිට පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙත ආශිර්වාද කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද(14) දළදා සමිදුන් වැදපුදා ගෙන තවත් ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය. අද (14) රාත්‍රී විශ්ණු දේවාල පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමද ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුකිරීමට කටයුතු යොදා ඇත.
ගෝඨාභය රාජපක්ෂගේ මෙම ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබුනද එහි
මුලිකත්ව ගෙන කටයුතු කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ක්‍රියාකාරීන්ය.
ප්‍රචාරණයට මතභේද !
මේ අතර 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, මැතිවරණ ව්‍යාපාරයේදී පෙරමුණේ තබාගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂද, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද යන්න පිළිබඳව එකඟතාවක් නැති නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක් හටගෙන ඇති බවයි.
'අනිද්දා' සමඟ අදහස් දක්වා ඇති ඒකාබද්ධ මන්ත්‍රීවරයෙකු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරටු කරගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය ලෙස රට පුරා රැස්වීම් මාලාවක් පවත්වන බව යි.
එහෙත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ගැන මතභේදයකක් ඇති බව ප්‍රකාශ කර ඇති ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, පැරණි ශ්‍රීලනිප ප්‍රබලයන් මහින්ද රාජපක්ෂ පෙරටු කරගත් මැතිවරණ ව්‍යාපාරයක් කළ යුතු බව විශ්වාස කරන බවයි.
ඊට අමතරව වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ආදි ඒකාබද්ධ විපක්ෂයේ පැරණි පක්ෂවල සාමාජිකයන්ද මහින්ද රාජපක්ෂ පෙරටු කරගත් මැතිවරණ ව්‍යාපාරයකට කැමැත්ත දක්වා ඇතැයි පවසා ඇති එම මන්ත්‍රීවරයා, අගෝස්තු 06 වැනිදා පැවති ඒකාබද්ධ විපක්ෂ පක්ෂ රැස්වීමේදීද මහින්ද රාජපක්ෂ පෙරටු කරගනිමින් මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට තීන්දු කළ බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂට හිතවත් කණ්ඩායම්වල අදහස වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂම කේන්ද්‍ර කරගනිමින් මැතිවරණ ව්‍යාපාරය කළ යුතු බවය.
අගෝස්තු 11 වැනිදා රැස්වීමට අදාල බැනර්, පෝස්ටර් ආදියට මහින්ද රාජපක්ෂගේ ඡායාරූප ආදිය පාවිච්චි කළත් , මින් ඉදිරියට පෝස්ටර්, බැනර්, කටවුට් ආදි ප්‍රචාරණ උපක්රමවලට ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූප පාවිච්චි කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.