ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ලබන මාසයේ
වාර්තාවක් ඉදිරිපත් වීමට නියමිතව තිබියදී ත්‍රස්ත මර්දන නීති යොදාගෙන අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින්නන් ගැන සොයා බැලීමට ජනාධිපති උපදේශක කමිටුවක් පත් කොට තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම උපදේශක කමිටුව මගින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරදඩුවම් හා රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසු වන පුද්ගලයින් ගැන සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබා දීම ගැන ජනාධිපතිට නිර්දේශ හා උපදෙස් ලබා දීමට නියමිතය.
''උපදේශක මණ්ඩලයේ පත් කිරීමත් සමඟ සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමිවෙනවා'' යැයි ජනාධිපති නීති අධ්‍යක්ෂක ජනරාල් හරිගුප්ත රෝහණධීර පවසයි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.ඒ. ආර්. හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් ද මෙම උපදේශක කමිටුව නියෝජනය කරයි.
ජිනීවා මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 13 වැනිදා ඇරඹීමට නියමිත අතර ආරම්භක දිනයේම ශ්‍රීලංකාවේ මානව හිමිකම් ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දිර්ඝ කාලීනව රඳවා තබා ගැනීම ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් ගැන යුරෝපා සංගමය ද රාජපක්ෂ ආණ්ඩුවට දන්වා තිබිණි.
යුරෝපා සංගමය අනතුරු අඟවා තිබුනේ ත්‍රස්ත පනත සංශෝධනයට පියවර නොගන්නේ නම් ජි. එස්. පි. ප්ලස් සහනය ලංකාවට නැවතත් අහිමි වී යා හැකි බවයි.
අපකීර්තිමත් පනතක් ලෙස 1979 වසරේ සිට බල පැවැත්වෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ උතුරේත් දකුණේත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීමට අවශ්‍ය නිතිමය අවස්ථා සපයයි.
උතුරේ යුදමය වාතාවරණය අවසන් වූ පසු ත්‍රස්ත පනත තව දුරටත් පවත්වා ගෙන යාම ගැන විරෝධතා මතු වුවද එය අහෝසි කිරීමට බලයට පත් කිසිදු ආණ්ඩුවක් මෙතෙක් පියවර ගෙන නොමැත.
The Leader TV
ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන : UN විශේෂඥයන්ගෙන් අවසන් නිගමනයක් නෑ !
විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්!