ඇමරිකන් ඩොලරයක් සදහා ගෙවනු ලබන රුපියල් ප්‍රමාණය වැඩි කිරීමට  තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරද්දී, පෞද්ගලික  බැංකු විසින් අත්තනෝමතික ලෙස මුදල් අනුපාතිකයන් ඉහල දැමීමට
පියවර ගෙන තිබේ.
 
බලපත්‍රලාභී බැංකු වලට ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට පණිවිඩ හුවමාරු වන බවට තමන් නිරීක්ෂණය කළ බැව් පවසන ශ්‍රී ලංකා මහ බැංකුව, විනිමය අනුපාතය තීරණය කිරීමේදී සිය ස්ථාවරයේ හෝ තමන් නිකුත් කර ඇති විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවට නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා සඳහන් කර තිබුනි.
 
කෙසේ නමුත්, මෙම වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවේ සියලුම බැංකු වල ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පිළිවෙලින් රුපියල් 198.00 – 203.00 මට්ටමේ පවත්වාගෙන තිබුණද, හදිසියේ මෙලෙස විවිධ බැංකු විවිධ අගයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කිසිදු නිවේදනයක් හෝ උපදේශයක් මෙතෙක් මහජනතාව වෙත ඉදිරිපත් කර නොමැත.
 
දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් 200 ක මට්ටමේ පවත්වාගෙන ගිය ඇමරිකානු ඩොලරයක වටිනාකම අද වන විට බැංකුවෙන් බැංකුවට වෙනස් වන තත්වයකට පත්ව තිබේ.
 
 
 Commercial
 
 
 
ඒ අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 197.9023 ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 202.8977 ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර තිබුනද, ඊට සමාන්තර අගයන් ලබා දීමට ඉදිරිපත්ව සිටින්නේ රාජ්‍ය බැංකු පමණි.
 
ඒ අනුව ලංකාවේ 2021.08.24 දිනට ප්‍රධානතම රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය පිළිවෙලින් රුපියල් 203.00 සහ 202.9984 ලෙස දක්වද්දී, පෞද්ගලික බැංකු වන සම්පත් සහ කොමර්ෂල් බැංකු ද්විත්වයම ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 211.00 ලෙස නිවේදනය කර තිබේ.
 
මෙය ආසන්න වශයෙන් රුපියල් 8.00 ක වෙනසකි.
 HSBC
 
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදේශීය බැංකු සම්බන්ධයෙන් ගත් කල, ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතිකය තවත් ඉහල අගයක් කරා විහිදී තිබේ.
 
ඒ අනුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය 219.00 ක් ලෙස සඳහන් වෙද්දී, HSBC බැංකුව එම අගය 221.29 ලෙස නිවේදනය කර තිබේ.
 
එය  මහ බැංකුවේ ප්‍රකාශිත අනුපාතය සමඟ ඇති වෙනස, රුපියල් 16ක් සහ 18ක් දක්වා ඉහල අගයක් ගනී.
 
මෙහිදී නිරීක්ෂණය වන තවත් කරුණක් වන්නේ, මෙම පෞද්ගලික බැංකු වල ඩොලරයක ගැනුම් අනුපාතය මහබැංකුව විසින් ප්‍රකාශිත විකුණුම් අනුපාතයටද වඩා ඉහල අගයක් ගන්නා බවයි.
 
ඒ අනුව මහ බැංකුව විසින් ප්‍රකාශිත අනුපාත හා සමාන්තර ලංකා බැංකුවෙන් ඩොලරයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය (විකුණුම් අනුපාතය) 203.00 ක් වෙද්දී, ගනුදෙනුකරුවෙකුට HSBC බැංකුව වෙත එම ඩොලරය ලබා දීමෙන් රුපියල් 213 ක් (ගැනුම් අනුපාතය) ලබාගත හැකි තත්වයක් මතුවී තිබේ.
 
 
පෞද්ගලික බැංකු එම තීන්දු ගෙන ඇත්තේ  තම පිරිවැය පියවා ගැනීම සඳහා යැයි පවසමිනි. 
 
 
Sampath 
 
කාඩ් වලින් ගෙව්වොත් ගාන වැඩියි:
 
 
මේ අතර, බැංකු කිහිපයක් විසින් සිය විද්‍යුත් කාඩ්පත් මගින් සිදු කරන විදේශ මුදල් ගෙවීම් වලදී අය කරනු ලබන විනිමය අනුපාතිකය ඉහල දැමීමටද පියවර ගෙන තිබේ.
 
වීසා සහ මාස්ටර් කාඩ් ආදී ජාත්‍යන්තර ආයතන හරහා සිදු කෙරෙන මෙම ගණුදෙනු වලදී, එම ආයතන භාවිත කරනු ලබන්නේ ගෝලීයව ශ්‍රී ලංකා රුපියලට ඇති විනිමය අනුපාතිකය වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන අඩු අනුපාතිකය යොදා ගැනීම තුළින් බැංකුවට දැරීමට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි එම බැංකු පවසන්නේ.
 
සිය  ගනුදෙනුකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් HSBC බැංකුව ප්‍රකාශ කර ඇත්තේ , ශ්‍රී ලංකාවේ වර්තමාන විනිමය අනුපාතිකයේ චලනයන් නිවැරදිව පිළිබිඹු කිරීම සඳහා, තමන් නිකුත් කර ඇති වීසා, මාස්ටර්කාඩ් පත් මඟින් සිදු කරනු ලබන විදේශගත ගෙවීම් වලදී, අදාල විනිමය අනුපාතය 2.5% සිට 7% දක්වා වැඩි වීමක් 2021 අගෝස්තු 25 වන දින සිට සිදුවනු ඇති බවයි.
 
මෙම වෙනස සිදු කරනු ලබන්නේ, විද්‍යුත් කාඩ්පත් මඟින් කරනු ලබන විදේශ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් යොදා ගන්නා අනුපාතිකය, වෙළඳපල මිලට වඩා අඩු බැවින්, තමන් විදේශ මුදල් ලබා ගැනීම සඳහා දරනු ලබන පිරිවැයට ගැලපෙන  ලෙස විදේශ මුදල් වල මිල නියම කිරීමට සිදුවීම හේතුවෙන් බව ඔවුන් අවධාරණය කරයි.
 
මෙයට අමතරව, විදේශගත හෝ මාර්ගගත වෙළඳුන්ට සිදු කරනු ලබන ගෙවීම් වලදී 5%ක සේවා ගාස්තුවක් ද 2021 අගෝස්තු 25 වන දින අය කරනු ලබන බව HSBC බැංකුව විසින් සිය නිවේදනය මඟින් ගනුදෙනුකරුවන්ට දන්වා තිබේ.
 
 සෙලාන් බැංකුව දන්වා ඇත්තේ, විද්‍යුත් කාඩ් ගනුදෙනු සඳහා අදාළ වන්නේ ඊට අදාල වීසා, මාස්ටර්කාඩ් ජාත්‍යන්තර ආයතන විසින් අය කරන ගෝලීය අනුපාත සහ ගාස්තු වන අතර, ඒවා සාමාන්‍ය බැංකු අනුපාතයන්ට වඩා වෙනස් වන බවයි.
 
ඒ අනුව විනිමය අනුපාත උච්චාවචනයන්ගේ බලපෑම අවම කිරීම සඳහා, බිල්පත් කරන අවස්ථාවේදී ගාස්තුවට අමතරව මුදලක් (ගණුදෙනුවේ වටිනාකමින් 6%ක් දක්වා) එකතු කරනු ලබන බවයි.
 
 
 
ගැටළුවක්  නම් බැංකුවට කතා කරන්න
 
 
විවිධ බැංකු විසින් ණයපත් සහ හරපත් හරහා සිදුකරනු ලබන විදේශ මුදල් ගෙවීම් වලට සීමා පනවා ඇති බවටත් සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් තිබේ.
 
 
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ, තමන් එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර, පවතින විදේශ විනිමය තත්වය හේතුවෙන් බැංකු විසින් අත්‍යවශ්‍ය ගණුදෙනු වලට ප්‍රමුඛතාවය ලබා දීම සඳහාත්, හරපත් සහ ණයපත් අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහාත් යම් යම් පියවර ගෙන ඇති බව තමන්ට නිරීක්ෂණය වූ බවයි.
 
“ඒ අනුව, විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නීත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙසත්, විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.”
 
යම් ගැටළුවක් වේ නම් එයට අදාල බැංකුව සම්බන්ධ කරගන්නා ලෙස මහ බැංකුව මහජනතාවට දැනුම් දී තිබේ.
 
 
පුද්ගලික කාඩ් වලින් ව්‍යාපාරික වැඩ බෑ
 
 
 
පසුගිය 19 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරමින් අවධාරණය කළේ , පෞද්ගලික පරිහරනය  සඳහා නිකුත් කර ඇති විද්‍යුත් කාඩ් පත් ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කළ නොහැකි බවයි.
 
මෙය නව නීතියක් නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අධිපතිනිය, වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් තම භාවිතයට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීමට හෝ, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍ය කටයුත්තක් සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය බාධාවක් පනවා නොමැති බවයි.
 
"ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක්, ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරලා එය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නාර්ථයක් විය හැකියි," යනුවෙන් විද්‍යුත් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමට සීමා පනවා ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන් ප්‍රකාශ කළේය.
 
 
BOC
Peoples
SCB 

 

The Leader TV

 
 

ගිනිගත් නැව අවට අල්ලන මසුන් ගැන : UN විශේෂඥයන්ගෙන් අවසන් නිගමනයක් නෑ ! 

 

විමල්ලට ගහන බැසිල්ගෙ ගෝලයන්ට මහින්දගෙන් ටොක්කක්! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්