මාරාන්තික වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ රට අගුලු දමා තිබියදීත් ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි සේවයේ නියුක්ත කර සිටින සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ වෘත්තීය හිමිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා
ලෙස කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන හයක් කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
 
කොවිඩ් 19 වසංගතයේ ඩෙල්ටා ප්‍රහේදය රටපුරා සිග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ඇති වු අනාරක්ෂිත තත්වයන්  සහ ජනතා නොසන්සුන්තා මත රට අගුළු දමන ලෙසට වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු ඉල්ලිම් සැළකිල්ලට ගත් ආණ්ඩුව 2021 අගෝස්තු මස 21 වන දින සිට දින 10 ක කාලයක් සඳහා රට වසා දමා ඇත.
 
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා හැර රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතන ද තාවකාලිකව වසා දමා තිබේ.
 
නමුත් , රටට  විදේශ විනිමය උපයන ප්‍රධාන මුලාශ්‍රය වන ඇඟළුම් නිෂ්පාදන ඇතුළු වෙනත් සුවිශේෂි කර්මාන්ත රැසක් ස්ථාපිත ආයෝජන ප්‍රවර්ධන කලාපයන්හි නිෂ්පාදන ක්‍රියාවලින් එකී ආකාරයෙන් වසා දැමිම පහසු නොවන බවයි එම සංවිධාන පවසන්නේ.
 
කරුණු එසේ වුව ද, රටේ ආර්ථික ක්‍රියාවලියට ඉහළම දායකත්වය ලබාදෙන, රටපුරා පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාපයන් හි ස්ථාපිත කර්මාන්තශාලාවන්හි සේවයේ නියුක්ත කර ඇති සේවක සේවිකාවන් කොවිඩ් වසංගතය පැතිරි යාම ආරම්භ වු මුල් අවස්ථාවේ සිටම බරපතල ලෙස රෝග පීඩාවන්ට සහ අර්බුදයන්ට මුහුණු දුන් බව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන හයක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත යොමු කළ ලිපිය මගින් සිහිපත් කර තිබේ.
 
 
අගෝස්තු 24 වැනි දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත එම ලිපිය යොමු කර ඇත්තේ ස්ටෑන්ඩ් අප් සේවක සංගමයේ ප්‍රධාන ලේඛම් අශිලා දංදෙනිය, රෙඩ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ චන්ද්‍රා දේවනාරායන, නිමි භාණ්ඩ ඇගලුම් හා රෙදිපිලි සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක ලලිතා රංජනී දෙද්දුව කුමාර, ඩාබිදු සාමුහික සංගමයේ චමිලා තුෂාරි ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ සුගත් රාජපක්ෂ හා වානිජ හා කාර්මික සේවක සංගමයේ  විජේපාල වීරකෝන් විසිනි.
 
කාන්තා ශ්‍රමිකයන්  බහුතරයකගෙන් සමන්විත පරිශ්‍රයක ඔවුන්ට  විදින්නට සිදු වන පීඩාවන් සම්බන්ධයෙන්ද එම ලිපිය මගින් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කර ඇත.
 
"කාන්තා ශ්‍රමිකයන් අති බහුතරයක් සේවයේ නියුක්ත මෙම පරිශ්‍ර ඉතා සංවේදි හා විශේෂ තත්වයන් සහිත කලාප බැව් ඔබ වෙත පැහැදිලි කර දීමේ අවශ්‍යතාවක් නොවේ. මෙම කාලසීමාව තුල ඔවුහු රෝග වාහකයන් ලෙස බාහිර සමාජය ඉදිරියේ බරපතල අපහසුතාවන්ට පත්වීම ද කණගාටුවෙන් පෙන්වා දෙමු."
 
රට වසා දැමිම සඳහා ඉදිරිපත් වූ ඉල්ලිමට විරෝධය දක්වමින් සහ ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයට ස්තුති කරමින් ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් නිකුත් කරන ලද ප්‍රකාශය මගින් සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බැව් කියා සිටිය ද, එම සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව බරපතල නොසතුටු දායක තත්ත්වයක පවතින බැව් කම්කරු නායකයන් විෂ්‍යභාර අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
 
"තවද මෙරට නීතිය මගින් ස්ථාපිත සේවකයන්ගේ වෘත්තීය හිමිකම් ද බරපතල කප්පාදුවකට ලක්කර ඇති බැවි වැඩි දුරටත් දන්වා සිටිමු."
 
 
 
නිර්දේශිත හා විධිමත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක නොකිරීම, ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂාව නිසි ලෙස සිදු නොකිරීම, එන්නත් ලබාගැනීම සඳහා ඇති අවස්ථාව ලබා නොදීම/මඟහැරී යාම, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයන්හි සහාය ප්‍රමාණවත් නොවීම, රජයේ රෝහල් වෙතින් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිවීම, වෘත්තීය හිමිකම් අහිමිකිරීම / කප්පාදු කිරීම, ආසාධිත සේවකයින් ඔවුනගේ නේවාසිකාගාර වෙත යැවීමෙන් පසු කිසිදු පසු විපරමක් නොකිරීම සහ මුදල් ගෙවීමට සිදුවීම මත කලාප ඇතුලත පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත සේවකයින් යොමු නොකිරීම යන ගැටළු වලට ඇඟළුම් හා අනෙකුත් කර්මාන්තශාලාවන්හි සේවයේ නියුක්ත සේවක සේවිකාවන් මේ වන විටි මුහුණ පා සිටින බව එම ලිපියේ වැඩිදුරටත් සදහන්ය.
 
 
 
ඉහත කී තත්වයන්  හේතුවෙන් ආයෝජන ප්‍රවර්ධන කලාප ඇතුළත සේවයේ නියුක්ත කර ඇති සේවක සේවිකාවන් කොවිඩ් වසංගතයට ගොදුරුවීමේ බලවත් තර්ජනයකට, ශාරිරික හා මානසික පීඩාවට සහ අසාධාරණයට ලක්ව සිටින බව කම්කරු නායකයන් අමාත්‍ය නිමල් සිරිපාල සිල්වාට වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
 
එබැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ වෘත්තිය හිමිකම් ආරක්ෂා කරදීම සඳහා පහතින් සඳහන් කර ඇති සාධාරණ සහ යුක්ති සහගත යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස වෘත්තිය සමිති නායකයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
 
01.  ආයෝජන ප්‍රවර්ධන කලාප වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ නිර්දේශ සකස් කොට ඉදිරිපත් කිරිම සහ අඛණ්ඩ නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිම,
02. සේවා ස්ථාන, ආපනාශාලා, වැසිකිළි/කැසිකිළි, ප්‍රථමාධාර කාමර සහ විවේකාගාර අවශ්‍ය පරිදි විෂබීජහරණය  අනිවාර්යය කිරීම,
03. ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ වෙනම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සහ කොවිඩ් ආසාධිතයන් බවට පත්වන සේවකයන් ඊට යොමු කරවීම හෝ ,
04. දැනට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම අනිවාර්යය කිරීම,
05. පළමු පෙළ ආශ්‍රිතයන් වෙන් කොට නිරෝධායනයට යොමු කරවීම,
06. කර්මාන්තශාලාවක් තුළ ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂා සිදු කරන ප්‍රමාණය අවම 40% ක් දක්වා වැඩිකිරීම,
07. ආයෝජන ප්‍රවර්ධන කලාප ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයන්හි සේවාව පුළුල් කිරීම,
08. පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට සිමිත සේවක ප්‍රමාණයක් පමණක් සේවයට කැඳවිම හා සේවයට නොකැඳවන සේවකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිම,
 
 
09. සම්පුර්ණ සේවක ප්‍රමාණය සේවයට කැඳවන එහෙත් මුලික වැටුපෙන් භාගය හෝ රු.14500/ ගෙවන සේවා ස්ථාන වලට සම්පූර්ණ වැටුප ගෙවීමට නියෝග කිරීම.
 
THE LEADER TV 
 
 
ලංකාවේ නොහිටපු ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !
 
 
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්