ව්‍යාජ ලේඛන භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ලඟ තබා ගැනීමේ චෝදනා මත වනජීවී භාරයට ගත් අලි පැටවුන් එම චෝදනා ලත් පුද්ගලයන්ටම යළි ලබා

දීමේ තීන්දුවට එරෙහි වන්නැයි පරිසරවේදීහු "හදවතක් සහ හෘද සාක්ෂියක් සහිත" ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් එසේ ඉල්ලා සිටියේ නීතිවිරෝධී ලෙස අලිපැටවුන් ලඟ තබා ගත් බවට චෝදනා ලත් පුද්ගලයන්ටම එම පැටවුන් යළි ලබා දෙන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමගය.
 
නඩු භාණ්ඩයක් චූදිතයන්ටම ලබා දීමට නීතිපතිවරයා කටයුතු කිරීම පිළිබඳ පරිසරවේදීහු විමතිය පළ කරති.
 
"විය යුතුව තිබුණේ නඩුවේ දෝෂයක් තිබුණේ නම් නඩුව අහලා ඉවර කරලා, එහෙම නැති නම් නඩුවට විරෝධතාවක් ඉදිරිපත් කරලා, එමගින් නඩුව නිෂ්ප්‍රභ වුණා නම් ඊට පස්සේ එන තීන්දුව අනුව කටයුතු කරන එක. මේ ආකාරයෙන් නඩු ඉවත් කරගෙන කරන දේවල් අපි දකිනවා අධිකරණ ක්‍රියාමාර්ගයට අයුතු බලපෑමක්, නැති නම් අතරමග අත්හිටුවීමක් විදිහට." යනුවෙන් පරිසර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසීය.
 
 
 
නීතිපති දෙපාර්තමේන්තුවම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන නොයාමට ඉල්ලීමක් කළ විට ඉන් එහාට යමක් කිරීමට අධිකරණයට ද හැකියාවක් නොමැති බැවින් අදාළ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය පිළිබඳ ගැටලුවක් ඇති නොවන බව ඔහු සඳහන් කළේය.
 
"අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තිය යටතේ නීතිපතිවරයා තමයි රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ. එතකොට ඒ අය පැමිණිල්ල තවදුරටත් නොගෙන යන්න ඉල්ලීම් කළ විට අධිකරණයට එයින් එහාට යන්න පුළුවන් කමක් නැහැ."
 
"අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ මට ගැටළුවක් නැහැ. නමුත් එයින් ඔබ්බට ගිය විට මෙහි වගඋත්තර පාර්ශවයන් සහ මේ සඳහා මැදිහත් වුණු රජයේ පාර්ශවයන් විසින් මේ කළ දේ ඉතාම නරක පූර්වාදර්ශයක්. මේවයේ බලපෑම එන්නේ අනාගතයේදී." යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන කියා සිටියේය.
 
ඔහු ඒ බව සඳහන් කළේ "අලි ජාවාරම් කරුවන්ට නැවත අලි පැටවුන් පැවරීමට ගත් තීන්දුව" පිළිබඳ පරිසරවේදීන්ගේ සහභාගීත්වයෙන් 'සූම්' තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
 
අදාළ පියවර සම්බන්ධයෙන් එල්ල වෙන විරෝධය පිළිබඳ රජයේ පාර්ශවය හෝ නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැත.
 
 
මොකක්ද මේ අධිකරණ නියෝගය?
 
 
ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින, අලි පැටවුන් 13 දෙනෙකු නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත නැවත භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර තිබේ.
 
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 01 හි ස්ථානාධිපති විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ ක්‍රියාමාර්ග සහ විමර්ශන සිදුකරමින් පවතින හීලෑ අලිඇතුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සන්තකයේ පැවරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් සහ ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) 2021.08.19 දිනැති අංක 2241/41 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් පත්‍රයේ දෙවන කොටසේ සඳහන් වන ආකාරයට හීලෑ අලිඇතුන් ලියා පදිංචිය විධිමත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවට හා එම ගැසට් පත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් පරිදි මාස 3 ක් ඇතුලත හීලෑ අලිඇතුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියම කර ඇති බවට අධිකරණය වෙත වාර්තා කර ඇත."
 
"ඔබ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සන්නස් පත්‍රයක් මගින් අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ එන්.ජී රාජපක්ෂ වෙත පිරිනමා ඇති හස්තියා එම අයට මුදා හරින මෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කළ ලිපියේ දැක්වේ."
 
"ඉහත ඉල්ලීමට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව ඉහත අංක 1 සිට අංක 13 දක්වා සඳහන් නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත භාර දීම සඳහා ද සන්නස් මගින් පිරිනමා ඇති හස්තියා අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ පදිංචි එන්.ජී රාජපක්ෂ වෙත මුදා හැරීමට ඔබට මෙයින් නියෝග කරමි." යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
N.G රාජපක්ෂ යනුවෙන් සඳහන් පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ සන්නසක් මගින් පවරා දුන් අලි පැටවෙකු යලි එම පුද්ගලයාටම භාර දෙන්නේ ඇයිදැයි යන්න ඉහත කී ලිපියේ සඳහන් නොවේ.
 
 
කෙසේ නමුත් එවක ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීත්‍යානුකූලව සිටි බව පැවසුනු අලි පැටව් දෙදෙනෙකු ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි එවක සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසූ බව ඇතැම් මාධ්‍ය 2015 ජනවාරි වාර්තා කර තිබිණි. 
 
ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ සිටි චරිත නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් 2015ට පෙර ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සන්නසක් මගින් චාරිකා නම් පැවටා ද ඔහුට පවරා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
 
තමන්ට අලි පැටවුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට භාර දෙන බව ගෝඨාභය රාජපක්ෂ එවක පැවසූ බව නියෝජ්‍ය අමාත්‍යව වසන්ත සේනානායක උපුටා දක්වමින් එම වාර්තා පල වී තිබිණි.
 
 
අලි පැටවුන් ලඟ තබා ගත් අය කවුරුන්ද?
 
 
නීතිවිරෝධී ලෙස අලි පැටවුන් ලඟ තබා ගත් බවට චෝදනා ලද පුද්ගලයන්ගේ නම සහ ලිපිනය.
 
 120433399 c08bb0a1 62d7 42d9 a15c 584dbc215600
 
 
අලි පැටව් අල්ලන හැටි: 'අම්මා මරනවා'
 
 119503651 7df66188 8c5a 4d2c 9d82 37e6f5380b30 1 
පළමු කාරණාව තමයි මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමෙන් පසුව මේ අලි පැටව් ගෙනාවා කියන දේ (GETTY IMAGES)
 
 
දශක කීපයක් පුරා පැවති අලි පැටව් ජාවාරම නැවත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ පරිසර සංරක්ෂණවේදීන් පසුගිය කාලය පුරා දැඩි කැපවීමකින් කටයුතු කළ බව ඉහත කී අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල පැවසීය.
 
"අලි පැටවුන් අල්ලා ගැනීමේදී භාවිත කරන ක්‍රම පිළිබඳ විශ්‍රාමික විනිසුරු නිමල් එඩ්වර්ඩ් දිසානායක කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. එහි පළමු කාරණාව තමයි මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමෙන් පසුව මේ අලි පැටව් ගෙනාවා කියන දේ."
 
"දෙවෙනි එක මව් ඇතින්න නිර්වින්දනය කරලා මේ පැටව් රැගෙන ආවා කියන කාරණය."
 
"තෙවෙනි දේ තමයි මේ පැටවුන් නිර්වින්දනය කර අල්ලා ගත්තා කියන කාරණය."
 
"සිව් වෙනි කාරණය, එය ඉතාම ශෝක ජනක තත්ත්වයක්: උඩවලව ඇත් අතුරු සෙවනෙන් යලි කැලයට මුදා හැරපු අලි පැටව් අල්ලා ගැනීමෙන්."
 
"අවසන් කාරණය, වනජීවී නිලධාරීන් දැන හෝ නොදැන ඇත් අතුරු සෙවනට එන අලි පැටවුන් වංචනික ලෙස පුද්ගලික හිමිකරුවන්ට ලබා දීම."
 
 120433392 1024c4c0 f9ff 4ce5 a9e6 4c92ba567e3c 
සත්ව සුබසාධන වේදිනියක් වන ඉරාකි කොඩිතුවක්කු ෆේස්බුක් හි පල කළ අදහසක්
 
 
ඉහත කී ආකාරයේ "සහාසික වනජීවී අපරාධ නීත්‍යානුකුල කිරීමෙන්" ඉදිරියේදී එවැනි අපරාධ තවදුරටත් ඉහළ යා හැකි බව පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දුනි.
 
"යම් හදවතක් තිබෙන අය මේ රජය තුළ ඉන්නවා නම්, මේ රටේ වන සම්පත පිළිබඳ ඔවුන්ට කැක්කුමක් තිබෙනවා නම් මේකට විරුද්ධ වෙන්න. ඒ වගේම මේ රටේ සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. පක්ෂ පාට භේද නොතකා මේකට එරෙහි වෙන්න."
 
 
"නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ අවදානමක්"
 
 
අලි පැටවුන් නිදහස් කරදීමට ගත් ක්‍රියාමාර්ගය හමුවේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමේ අවදානමක් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ කියා සිටියේ ඒ සඳහා උදාහරණ පෙන්වා දෙමිනි.
 
"නඩුවක, නඩු භාණ්ඩයක් මේ විදිහට නිදහස් කරන තත්ත්වයක් ඇති වුණොත් එහෙම කවුරු හරි මූලික අයිතිවාසිකම් නඩුකරයක් පවරලා කිව්වොත්, 'අහවල් නඩුවේ, නඩු භාණ්ඩයක් වුණු අලි ටික නිදහස් කරලා තියනවා, ඒ නිසා මගේ නඩුවේ නඩු භාණ්ඩ තමයි හෙරොයින්, ඒකත් නිදහස් කරන්න' කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්."
 
"නිදහස් නොකළොත් වෙන්නේ මොකක්ද?, ඒ මනුස්සයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. නීතියේ එක්කෙනෙකුට එක විදිහකටත්, තව කෙනෙකුට තව විදිහකටත් සලකන්න බෑනේ"
 
මේ අතර ඉහත කී ක්‍රියාමාර්ගයට එරෙහිව සියලු පරිසර සහ සත්ව සුබසාධන සංවිධාන සමග තමන් වහන්සේ සිට ගන්නා බව මාධ්‍ය සාකච්ඡාවට එක් වූ ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පැවසූහ.
 
"මේ සතුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් ගත හැකි, ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න අපි සූදානම්. මේ අහිංසක සත්තුන්ගේ ජීවිත බේරා ගන්න, එපමණක් නොවෙයි මේ සත්ව පරම්පරාවේම යහපත පිණිස, මේ නීතිය අවභාවිත කරමින් සිදු කරන අයතා, අසාධාරණ, අයුක්ති සහගත අධර්මයට එරෙහිව අපි ක්‍රියාත්මක වෙනවා." යනුවෙන් ජස්ටිස් ෆෝ ඇනිමල්ස් (Justice for Animals) සංවිධානයේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි වැඩිදුරටත් සඳහන් කළහ.
 
 
'අලි ජාවාරමේ' ඉතිහාසය
 
 119503653 613c4afc fcdf 47ea 8dee c26c03030bb9 1 
2014 වසරේදී අනවසරයෙන් රඳවා ගන සිටියදී මුදා ගත් අලි පැටවෙක්
 
 
2015 වසරට පෙර, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ නීති විරෝධී ලෙස අල්ලාගත් බව පැවසෙන අලි පැටවුන් 40 දෙනෙකු පමණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය. ඒ 2015 ජනාධිපතිවරණයෙන් පසු බලයට පත් 'යහපාලන' ආණ්ඩු සමයේදීය.
 
අදාළ නඩු විභාග කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් ලබා නොදීම යළි එම ජාවාරම සිදු කරගෙන යාමට රුකුලක් වී ඇති බව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් BBC සිංහල සේවය වෙත පැවසීය.
 
ශ්‍රී ලංකාවේ අලි පැටවුන් ජාවාරම පිළිබඳ සිදුකළ "ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ" ප්‍රතිඵල සහිත 2020 වසරේදී එළි දක්වන ලද පර්යේෂණ පත්‍රිකාව මගින් අලි ජාවාරම මැඩලීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ද මෙතෙක් ඊට නිසි අවධානය යොමු වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.
 
'Illegal capture and internal trade of wild Asian elephants (Elephas maximus) in Sri Lanka' යන නමින් පළ කෙරුණු අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලයලත් ආයතන මගින් අත්අඩංගුවට ගනු ලැබූ අලි 55 දෙනෙකු පිළිබඳ කරුණු අධ්‍යයනය කර ඇත.
 
 89659859 160309175805 uduwe thero 640x360 uduwedhammalokatherofb 1
 
නීති විරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගත් බවට චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි අධිකරණය හමුවේ පවසා තිබුණේ 'බල්ලන් සහ බළලුන් පන්සල් වලට ගෙනත් දමනු ලබන ආකාරයට' අලි පැටවාත් කිසියම් පුද්ගලයකු විසින් සිය විහාර භූමියේ දමා ගොස් තිබූ බවය.
 
 
මේ අතර 2015ට පෙර පැවති "මවුන් මරා පැටව් පැහැර ගැනීමේ අලි ජාවාරම" යළි ආරම්භ වීමේ අනතුරක් පවතින බවට පරිසරවේදීහු සහ සත්ව ශුභසාධනවේදීහු මීට ඉහතදී බිය පළ කළහ.
 
ඔවුන් ඊට ආසන්නතම හේතුව ලෙස දැක්වූයේ මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නකගේ සිරුරක් ජුලි මසදී මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ළිඳ මහවැව ප්‍රදේශයේ තිබී හමුවීමය.
 
පසුගිය ජුනි 25 වෙනිදා අලි පැටව් සොරකමක් සිදුවන බවට වනජීවී නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබුණේ ද එම ඇතින්නගේ සිරුර හමු වූ ප්‍රදේශය ආශ්‍රිතවය.
 
(BBC සිංහල සේවය)
 
 
 

 
THE LEADER TV 
 
අන්ධකාරයේ රිදී රේඛාව
 
 
මෙයාලගේ දත්ත තමයි දත්ත
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්