ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
'නෙත් නිවුස්' ඒ පිළිබඳව වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකගෙන් කළ විමසීමකදී මෙසේ පවසයි.
කෙසේවෙතත් පරිසරවේදිනියක වන ඉෂිනි වික්‍රමසිංහ තම හිතවතුන්ට පවසා ඇත්තේ, පෞද්ගලික හේතුන් මත අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වුබවයි. යලි TNL නාලිකාවේ පරිපාලන කටයුතු වලට මැදිහත්වීමට ඇය තීරණය කර ඇතයි ද වාර්තාවේ.
මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ඇය වෙත කර තිබු නියෝගයක් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇය සිය ධුරයෙන් ඉවත්ව ඇතිබවයි.
මොකක්ද මේ අධිකරණ නියෝගය?
පසුගිය කාලයේ සිදු කළ විමර්ශනවලින් පසුව අධිකරණයේ නඩු පවරා ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි, ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවි අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම්ව අධිකරණයට වාර්තා කළ කරුණු සලකා බැලීමෙන් පසුවය.
නීති විරෝධී ආකාරයෙන් රඳවා ගෙන සිටි බව කියන හීලෑ අලි ඇතුන් විශාල පිරිසක් පසුගිය රජය සමයේ සොයාගත් අතර වනජීවි දෙපාර්තමේන්තුව පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන ආයතන නඩු කිහිපයක් ද ඊට අදාළව අධිකරණය හමුවේ පවරා තිබුණි.
අධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම හීලෑ අලි ඇතුන් නඩු භාණ්ඩ ලෙස රඳවා තිබුණේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ ඇති පින්නවල හා උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානවලය.
පසුගිය දා අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය අංක එක ස්ථානාධිපතිවරයා මෙම අලි ඇතුන් අතරින් 13 දෙනෙකු මුදා හරින්නැයි ඉල්ලා තිබේ.
මේ ඉල්ලීම කර ඇත්තේ, නීතිපතිවරයාගේ උපදෙස් හා වනජීවි අමාත්‍යවරයා අගෝස්තු 19 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනයක් මත පදනම්වයි.
එම ගැසට් නිවේදනය මගින් හීලෑ අලි, ඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් මාස 03 ක් අතුළත ලියාපදිංචි කිරීමට නියමකර ඇති බවත් එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
ඉදිරිපත් වූ කරුණු අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්රභාකරන් නියෝග කර ඇත්තේ, නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින හීලෑ අලි ඇතුන් අතරින් 13 දෙනෙකු ඔවුන් සන්තකයේ තිබූ අයට මුදා හරින ලෙසය.
ඉෂිනි ට ලැබුන නියෝගය !
ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින, අලි පැටවුන් 13 දෙනෙකු නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත නැවත භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය වෙත නියෝග කර තිබේ.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 01 හි ස්ථානාධිපති විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ ක්‍රියාමාර්ග සහ විමර්ශන සිදුකරමින් පවතින හීලෑ අලිඇතුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සන්තකයේ පැවරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් සහ ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) 2021.08.19 දිනැති අංක 2241/41 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් පත්‍රයේ දෙවන කොටසේ සඳහන් වන ආකාරයට හීලෑ අලිඇතුන් ලියා පදිංචිය විධිමත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවට හා එම ගැසට් පත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් පරිදි මාස 3 ක් ඇතුලත හීලෑ අලිඇතුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියම කර ඇති බවට අධිකරණය වෙත වාර්තා කර ඇත."
"ඔබ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සන්නස් පත්‍රයක් මගින් අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ එන්.ජී රාජපක්ෂ වෙත පිරිනමා ඇති හස්තියා එම අයට මුදා හරින මෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් අධිකරණය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කළ ලිපියේ දැක්වේ."
"ඉහත ඉල්ලීමට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව ඉහත අංක 1 සිට අංක 13 දක්වා සඳහන් නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත භාර දීම සඳහා ද සන්නස් මගින් පිරිනමා ඇති හස්තියා අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ පදිංචි එන්.ජී රාජපක්ෂ වෙත මුදා හැරීමට ඔබට මෙයින් නියෝග කරමි." යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
N.G රාජපක්ෂ යනුවෙන් සඳහන් පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ සන්නසක් මගින් පවරා දුන් අලි පැටවෙකු යලි එම පුද්ගලයාටම භාර දෙන්නේ ඇයිදැයි යන්න ඉහත කී ලිපියේ සඳහන් නොවේ.
කෙසේ නමුත් එවක ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීත්‍යානුකූලව සිටි බව පැවසුනු අලි පැටව් දෙදෙනෙකු ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි එවක සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසූ බව ඇතැම් මාධ්‍ය 2015 ජනවාරි වාර්තා කර තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ සිටි චරිත නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් 2015ට පෙර ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සන්නසක් මගින් චාරිකා නම් පැවටා ද ඔහුට පවරා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
තමන්ට අලි පැටවුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට භාර දෙන බව ගෝඨාභය රාජපක්ෂ එවක පැවසූ බව නියෝජ්‍ය අමාත්‍යව වසන්ත සේනානායක උපුටා දක්වමින් එම වාර්තා පල වී තිබිණි.
අලි පැටවුන් බාරදීම ඇරඹේ:
අධිකරණ නියෝගයට අනුව වසර 06ක පමණ කාලයක සිට උඩවලව අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි තුන්දෙනකු පෙරේදා (07) සහ ඊයේ (08) මුල් අයිතිකරුවන්ට ලබා දුන්නේ ය.
පින්නවල අලි සංරක්ෂණාගාරයේ 2015 වසරේ සිට රඳවාගෙන සිටි අලි 4 දෙනෙක් ද පෙරේදා පස්වරුවේ මුල් අයිතිකරුවන් වෙත භාර දුන් අතර රාත්‍රී 11.00 පමණ වන තෙක් එම කටයුතු සිදු වූ බව වාර්තාවේ.
ඊයේ දිනයේදීත් පින්නවල සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුවන්ට භාර දුන්නේ ය.
සබැඳි පුවත් :
THE LEADER TV
සැප ගන්න රුසියාවට ගිය අයගෙන් අපුරු යෝජනාවක් !
අන්ධකාරයේ රිදී රේඛාව