සීනි, ගෑස්, පිටි අර්බුද හමුවේ මෙම කාලය තුළ ජනතාව අතර වැඩියෙන්ම කතාබහට ලක්වන අනෙක් මාතෘකාව බවට පත්ව ඇත්තේ ඖෂධය.
 
 
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්හි' තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිශ්පාදනාගාර පිළිබඳ දත්ත, සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක ඉතා සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාමේ සිද්ධිය මේ අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබේ.
 
 නමුත් මේ ගැන සිය නමින් පෙනී සිට අදහස් දැක්වීමට බොහෝ දෙනෙක් මැලි වූහ.
 
"මේ වෙන දේවල්වල හැටියට ඔය දත්ත ඕනෑ කමින් මැකුවා කියලා තමයි අපට හිතෙන්නේ. මිනිස්සුන්ට මේ දේවල් ලීක් වුණාම දැන් වගකිව යුතු අය රංගනයක යෙදෙනවා. හැමදාම වෙන්නේ මේ වගේ මිනිස්සු රවට්ටන දේවල්. ඇත්තටම අතපසුවීමකින් දත්ත ඩිලීට් වුණත්, මේ රටේ වෙන දේවල් හැටියට අපි කොහොමද විශ්වාස කරන්නේ," ඖෂධ සමාගමක රැකියාවේ නිරත පුද්ගලයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
 
මේ අතර, තවත් සමහරු පවසන්නේ මේ දිනවල අත්‍යවශය ඖෂධ "සොයාගැනීමට අපහසුයි, ඒ වගේම මිල අධිකයි" යනුවෙනි.
  
"මම අවුරුදු ගණනක් ගත්ත ජාතියේ පෙති දැන් කොහේවත් සොයා ගන්න නැහැ. ඒ වෙනුවට අලුත්ම, මිල වැඩි ජාතියක් තමයි ගන්න වෙලා තියෙන්නේ. විටමින් සී පෙත්තත් කවදාවත් නොදැකපු එකක් තමයි මාකට් එකේ තියෙන්නේ. විටමින් සෑහෙන ගණන් ගිහින්."
 
"කව්ද මේ අලුත් බෙහෙත් වර්ග ගෙන්වන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ රටේ මිනිස්සු අඩුම තරමේ බාගයක්වත් මෝඩයෝ නෙමෙයි, මෙතන යම් දෙයක් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න. මේවා නම්, ගම් ඇතුව කියන්න අපිට බයයි," ව්‍යාපාරික කාන්තාවක පැවසුවාය.
 
මේ හා සමාන තොරතුරු තවත් කීහිපදෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසූහ.
 
"ඇන්ටිජෙන් ටෙස්ට් කිට් සමහර රටවල නොමිලේ දෙනවා, නැත්නම් සුළු ගණනකට දෙනවා. හැබැයි අපේ රටට රුපියල් 180ට විතර ගෙන්වන ඇන්ටිජෙන් ටෙස්ට් කිට් ජනතාවට විකුණන්නේ රුපියල් 2000කට. අපිට නොමිලේ එපා, අඩු තරමේ දරන්න පුළුවන් මිලකට මේක දෙන්න. මේ ඖෂධ මාෆියාව නිසා මිනිස්සු අන්ත අසරණ වෙලා තමයි නවතින්නේ," තවත් අයෙක් පැවසීය.
 
අගෝස්තු මස අවසන් සතිය වන විට ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගත්තේය.
 
 120417981 235454962 390873605718837 79720355435774319 n
AVANTHA ARTIGALA
 
  
මේ අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ ඉදිරියේ දී ඖෂධ සඳහා මිල සූත්‍රයක් සකසන බවය.
 
මෙමගින් ආනයනික ඖෂධවල මිල පාලනය කළ හැකි අතර, ඩොලරයේ අගය වෙනස්වීම අනුව ඖෂධ මිල පාලනය කළ හැකි බව ඔහු පැවසීය.
 
මේ අතර, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසික විජේවන්ත පැවසුවේ කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය ඖෂධ උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බවය.
 
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇණවුම්වලට ටෙන්ඩර් ලියාපදිංචි කිරීම ද අඛණ්ඩව සිදු කෙරෙන බව ද සභාපතිවරයා පැවසීය.
 
 
 
 
'ඖෂධ ගැන දත්ත මැකිලා'
 
ශ්‍රී ලංකාවේ ඖෂධ වර්ග, ඖෂධ මිලදී ගැනීම්, ඖෂධ ලබාදෙන සමාගම්වල ලියාපදිංචිය ඇතුළු ඉතා වැදගත් දත්ත රාශියක් ඇතුළත් අන්තර්ජාල දත්ත ගබඩාව 'යම් ආකාරයකින්' ජූලි මස මුල දිනකදී මැකී ගොස් ඇති බව ඉන් සති කීපයකට පසු සමහර මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබිණි.
 
එම දත්ත මැකී ගියා ද, නැත්නම් මකා දැමුවා ද යන්න ගැන තවමත් ඇත්තේ පරස්පර අදහස්ය.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය දෙසතියකට අධික කාලයක් තිස්සේ බිඳ වැටීමක් සම්බන්ධයෙන් තොරතුරු ජූලි මස දෙවෙනි සතියේ දී වාර්තා විය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ අතර ඒ ගැන පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකය.
 
සැප්තැම්බර් 8 වනදා පොලිසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 'එපික් ටෙක්නොලොජි (Epic Technology)' නම් පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට ගත් බවය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුනමන සහ දත්ත පද්ධතිය මෙහෙයවූ එපික් ටෙක්නොලොජි අතර ජූලි 29 වෙනිදා සාකච්ඡාවක් පැවැත්විණි.
 
  120417983 gettyimages 647221614 594x594
"ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන් වෙලා" ( ඡායා- IMAGES)
 
 
මෙහිදී එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනය පවසා ඇත්තේ අදාළ ලිපිගොනු විනාශ වී නොමැති අතර ලිපි නිසි පරිදි ගොනු වී නොමැති බවය.
 
කෙසේනමුත්, දත්ත පද්ධතිය නැවතත් නිසි පරිදි සකස් කර ලියාපදිංචි කිරීම් ආරම්භ කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබිණි.
 
දත්ත ගබඩාව බිඳ වැටීම බරපතල සිද්ධියක් ලෙස හඳුනාගෙන ඇති අතර, මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ද, අත්වැරැදීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
 
 
 
'ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් තිබෙනවා'
 
මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අගෝස්තු 30 වෙනි දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය මහලේකම්වරයා මෙසේ පැවසීය;
 
"ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන් වෙලා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක් සකස් කිරීම 2018 වසරේ සිට ආරම්භ කළා. ඖෂධ ඇනවුම් කිරීම, ඖෂධ ගබඩා කිරීම ඇතුලු සියලු තොරතුරු එයට ඇතුළත් වුණා. ඖෂධ මාෆියාව පාලනය කිරීමටත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට මෙය උදව් වුණා."
 
"ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස ඖෂධ මිල ඉහළ දමමින් ජනතාව අපහසුවට පත් කර තිබෙනවා. ඒ වගේම අද හැමතැනින්ම ඖෂධ හිඟයක් ගැන වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩා විනාශ වෙලා තියෙන්නේ."
 
  120417985 gettyimages 1233480174 594x594
"යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයක්"  (ඡායා- GETTY IMAGES)
 
 
"එය රටේ ජාතික ආරක්ෂාවටත් විශාල තර්ජනයක්. ඒ වගේම සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යාමේ ගැටළු මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න කියලා අපි මේ පැමිණිල්ලෙන් ඉල්ලුවා."
 
 
 
'සැලසුම්සහගත ක්‍රියාවක්'
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ මෙය සැලසුම්සහගත ක්‍රියාවක් බවට සැක මතුව ඇති බවය.
 
"මෙය සැලසුම්සහගත, හොඳම මාෆියා ක්‍රියාකාරිත්වයක් හැටියටයි අපි දකින්නේ. මේ ගැන සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා සෘජුව වග කියන්න ඕනේ. ඔවුන් කරන්නේ ගරු සේවයක් නෙමෙයි. මාසයකට මිලියනයකට අධික දීමනා ලැබෙන රස්සාවල්. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්න ඕනේ."
 
"කොවිඩ් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු බෙහෙතක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් පවා ඒක අනුමත කර තිබුණු වෙලාවක, එය ලියාපදිංචි කරන්න යන මොහොතේ තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ."
 
 
 
 
'නීතිය ක්‍රියාත්මක කරනවා'
 
දත්ත මැකීයාමේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගත් පසු ඔවුන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
 
අදාළ සැකකරුවන් ගැන, බොහෝ විට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි සතියේදී දැනුම් දෙනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ද සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මේ ගැන නිල වාර්තාවක් ඉදිරිපත් කරන බවය.
 
 
 
 
'සැලකිල්ලක් දක්වලා නැහැ - යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයක්'
 
ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ දත්ත මැකී යාමේ සිද්ධිය ගැන 'විමර්ශනය කිරීමට' ඖෂධ නියාමන අධිකාරිය වෙත ගොස් තිබිණි.
 
ඉන්පසු මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පැවසුවේ, පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාම අධිකාරිය 2017 වසරේ දී තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බවත්, අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.
 
 120418007 gettyimages 863815294 594x594
ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES
 
 
'ඖෂධ නියාමන දත්ත කතාවේ ඇත්ත' නමින් සැප්තැම්බර් 4 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට මෙම මන්ත්‍රී කණ්ඩායම ක්‍රියා කළහ.
 
"මේ ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදු කළා යයි කියන, නැත්නම් සිදුවෙලා යයි තිබෙනවා කියන දත්ත ගබඩා විනාශ වෙලා කියන කාරණාවේදී රජය අහිංසක පාර්ශවය වන බවත් මෙහි සාවද්‍ය වගකීම නැත්නම්, මෙහි තිබෙන වගකීම මෙය නිර්මාණය කළ අය භාර ගත යුතු බවත් මා ප්‍රකාශ කරනවා" යැයි මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසුවේය.
 
"හිතාමතා මේ දත්ත මකලා තියෙනවා නම්, දෙන්න තියෙන උපරිම දඬුවම් ටික දෙන්න ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයත්, රජයත් සූදානම් කියලා මේ වෙලාවෙදි මම මතක් කරනවා," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන පැවසුවාය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ,
 
"මේ දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ කියන එක තමයි අපගේ මූලික නිරීක්ෂණයට ලක් වුණේ. බැකප් එකක් පවත්වාගෙන යාමට අදාළ මූලධර්ම පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ කියන එක තමයි අපගේ නිරීක්ෂණය," යනුවෙනි.
 
මන්ත්‍රීවරු විවිධ අදහස් දක්වමින් දත්ත මැකීයාම යහපාලන රජයේ නොසැලකිල්ලක් ලෙස පෙන්වා දෙන අතර, සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් නැඟුනේ තවත් විරෝධයකි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කරන අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවැනි අධීක්ෂණයක් කරන්නේ කෙසේදැයි? වෘත්තීය සමිති රජයෙන් ප්‍රශ්න කරති.
 
"ඒගොල්ලො මොකටද එතැනට යන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය වහන්න ද මේ රටට ගිහිල්ලා බොරු කරන්න හදන්නේ. එක ඖෂධයක් ගෙන්නන්නේ එක සමාගමක් විතරක් නම් ඒ සමාගමේ ඒකාධිකාරියට යටවෙන්න අපිට සිද්ධ වෙනවා.
 
සමාගම් කීපයක් ඉල්ලීම් කළොත්, ඒ අයට ලියාපදිංචිය දුන්නොත්, අනිවාර්යෙන්ම ඖෂධවල මිල බහිනවා. නමුත් ලියාපදිංචි කරන ලිපිගොනු මැකිලා නම් අනිවාර්යයෙන්ම අර ඒකාධිකාරයට යටත් වෙන්න තව කාලයකට අපේ රටට සිද්ධ වෙනවා. සාධාරණ පරීක්ෂණයක තොරතුරු රටට හෙළිදරව් කළ යුතුයි," රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මාධ්‍යට පැවසීය.
 
 
 
 
මොකක් ද මේ එපික් ටෙක්නොලොජිස් පෞද්ගලික සමාගම?
 
dffdfe
එපික් ටෙක්නොලොජිස් පෞද්ගලික සමාගම
 
 
එපික් ටෙක්නොලොජිස් ඔවුන්ව සිය වෙබ්අඩවියේ හඳුන්වා ඇත්තේ, 'අවිවාදයෙන්ම තමන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙනසේ ප්‍රමුඛයා' ලෙසය.
 
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, ලිපිගොනු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් 2017 වර්ෂයේ දී ආරම්භ විය. මේ සඳහා අවශ්‍ය මෘදුකාංග පද්ධතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු වූ අතර, ඉදිරිපත් වූ සමාගම් අතරින් සුදුසුම සමාගම ලෙස එපික් ටෙක්නොලොජිස් තෝරා ගෙන තිබේ.
 
අවශ්‍යතාවට සරිලන ලෙස මෘදුකාංග නිර්මාණය කරගැනීමට අදාළ උපදෙස් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික නියෝජිත ආයතනයෙන් ලැබී තිබිණි. 
 
2018 අප්‍රේල් මස වනවිට අදාළ මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීමට එපික් ටෙක්නොලජිස් ආයතනය ක්‍රියා කර ඇත. එය අවශ්‍යතාවට සරිලන ආකාරයෙන් නිර්මාණය කර ඇති බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික නියෝජිත ආයතනය සහතික කර ඇත.
 
මෘදුකාංග පද්ධතිය නඩත්තු කටයුතු ඇතුළු තාක්ෂණික ගැටළු පිළිසකර කිරීම් සිදු කිරීම බාරව සිටියේ ද එපික් ටෙක්නොලොජිස් ආයතනයමය.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2018 වසරේ දී එපික් ටෙක්නොලොජිස් සමග තම දත්ත පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර, ඉහත සඳහන් කර ඇති පරිදි එම ව්‍යාපෘති කළමනාකරණය බාරව කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයයි.
 
 
 
දත්ත මැකී ගිය සිද්ධියේ නවතම තත්වය
 
#  මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වාගෙන යන අතර ඖෂධ නියාමන අධිකාරිය මගින් මෙම දත්ත පද්ධතිය මෙහෙයවූ සැමටම විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය පැවසීය.
 
 
#  සිද්ධියට අදාළ පාර්ශවයක් වන එපික් ටෙක්නොලොජිස් ආයතනය බොහෝ කාලයක් නිහඬව සිටිය ද, එහි සභාපති ආචාර්ය නයන දෙහිගම සැප්තැම්බර් 4 සහ 5 වෙනි දිනයන්හි මාධ්‍යට කරුණු දක්වමින් පැවසුවේ, ඉංජිනේරුවෙකුගේ අත්වැරැද්දක් හේතුවෙන් දත්ත මැකී ගොස් ඇති බවය.
 
 
#  මෙහි දී සිදුව ඇත්තේ ප්‍රධාන දත්ත පද්ධතියට පිටතින් ගබඩා කර තිබූ අතිරේක ලිපිගොනු ප්‍රමාණයක් අස්ථානගත වීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.
 
 
#  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුකරන පරීක්ෂණ හේතුවෙන් මේ වන විට එම දත්ත ගබඩාවට ඇතුළු විය නොහැකි අතර, අවසර ලැබුණු වහාම අදාළ දත්ත ආපසු ලබා ගැනීමට උත්සහ කරන බව සභාපතිවරයා පැවසීය.
 
 
# අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 8 වෙනිදා එපික් ටෙක්නොලොජි නම් ආයතනයේ හිමිකරුව අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසීය.
 
 
 
මොකක් ද මේ ඖෂධ නියාමන අධිකාරිය?
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියක් වන මෙය පාර්ලිමේන්තු පනතක් මගින් 2015 දී පිහිටුවන ලදී.
 
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතෙහි දැක්වෙන පරිදි, එම අධිකාරියේ කාර්ය වන්නේ:
ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම.
 
 
# උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම.
 
 
# ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම.
 
 
# ඖෂධීය නිෂ්පාදන නිසි පරිදි නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සහතික කිරීම.
 
 
# ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම.
 
 
# ඔසුසල්, යහපත් ඔසුසල් පිළිවෙත් වලට අනුකූල බව සහතික කිරීම සඳහා ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම.
 
 
#  ඖෂධීය නිෂ්පාදන නියාමනය කිරීමට අදාළ නීතිවලට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම.
 
 
#  ප්‍රවර්ධනය සහ වෙළඳ ප්‍රචාරණය සාධාරණ, සමබර හා සාධක මත පදනම් වූ බව සහතික කිරීම.
 
 
#  ඖෂධීය නිෂ්පාදන නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම.
 
 
# පශ්චාත් අලෙවිකරණ නිරීක්ෂණ සඳහා සහාය වීම.
 
 
# සායනික අත්හදා බැලීම්වලට අදාළ සියලු කරුණු නියාමනය කිරීම.
 
 
# දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා මුලපිරීමට සහාය වීම.
 
 120418011 gettyimages 1208930121 594x594 GETTY IMAGES
 
 
 
මෘදුකාංග අක්‍රීය නිසා දැන් බලපත්‍ර ලබාගන්නේ කෙසේ ද?
 
ඖෂධ ශාලා තොග සහ සිල්ලර බලපත්‍ර ලබාදීම සඳහා 2018 දී හඳුන්වාදුන් e-NMRA මාර්ගගත ක්‍රමය මේ වන බිඳ වැටී ඇති නිසා අන්තර්කාලීන පියවරක් ලෙස, ලේඛනගත ක්‍රමය (Manual) ඔස්සේ බලපත්‍ර ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.
 
මෙය අදාළ වන්නේ පහත කාණ්ඩවලට අයත් අයදුම්කරුවන් සඳහා වේ:
 
 
#  e-NMRA මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත යොමුකර මෙතෙක් ස්ථානීය අනුමැතිය (Location Approval) නොලද නව ඖෂධශාලා අයදුම්කරුවන්ට,
 
 
#  e-NMRA මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ථානීය අනුමැතිය හිමි වී, ඖෂධශාලා බලපත්‍රයට අයදුම් කළ ද මේ වනවිටත් බලපත්‍ර නොලද නව ඖෂධශාලා අයදුම්කරුවන්ට,
 
 
#  e-NMRA මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ථානීය අනුමැතිය හිමි වී, මේ වනවිටත් ඖෂධශාලා බලපත්‍රයට අයදුම් නොකළ නව ඖෂධශාලා අයදුම්කරුවන්ට,
 
 
#  ඉදිරියේදී නව ඖෂධශාලා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට.
 
 
#  e-NMRA මාර්ගගත ක්‍රමය හෝ ලේඛනගත ක්‍රමය(Manual) ඔස්සේ ඖෂධ ශාලාවට අදාළ බලපත්‍රය හිමිවී ඉදිරි වසර සඳහා බලපත්‍ර අලුත් කිරීමට (License Renewal) නියමිත ඖෂධශාලා හිමියන්ට,
 
 
#  දැනට ඖෂධ ශාලා බලපත්‍රයක් හිමි වී එහි ව්‍යාපාර ස්ථානය, ව්‍යාපාර හිමිකාරීත්වය, ව්‍යාපාරයේ නාමය හෝ වගකිවයුතු ඖෂධවේදීයා වෙනස් වූ හෝ වෙනස් කිරීමට අදහස් කරන ඖෂධශාලා හිමියන්ට.
 
 
(දැහැමි රණවීර - බීබීසී සිංහල)
 

 


THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්!
 
 

 

ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්