සාපරාධී කටයුතු සම්බන්ධ නඩුහබවලට පැටලී සිටින රාජ්‍ය නිලධාරීන්ට ඉහල තනතුරු සහ නම්බු නාම ප්‍රදානය කිරීම මගින් නීතියටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් හරස්ව යාමේ චෝදනාවට ජනාධිපතිවරයා මුහුණ දී සිටී.

යුද සමයේ නාවික හා ගුවන් හමුදා සෙන්පති දෙපලකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තරු පන්තියේ විශේෂ නම්බු නාම ප්‍රදානය කිරීම පදනම් කරගෙන JDS (ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ) විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරන්නේ අපරාධ චෝදනා නැගී තිබෙන ඕනෑම රාජ්‍ය නිලධාරියකුට විරුද්ධ චෝදනා විභාග කොට අධිකරණය විසින් එම නිලධරයා නිදොස් කරන්නේ නම් පමණක් ඉන් පසුව එම නිලධරයාට අදාළ සියළු ප්‍රතිලාභ හා වරප්‍රසාද ලබාදීමේ පිළිවෙත “අකුරටම අනුගමනය කිරීම” මානව හිමිකම් කොමිෂන් සභාවේ පොදු ස්ථාවරය බව ය.

DeepikaUdugama 1

“නඩු විභාගය අතරතුරදී රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගත යුතු පියවර අදාළ නීති, රීති, රෙගුලාසිහි දක්වා ඇත. ඒවා අකුරටම අනුගමනය කිරීම අදාළ බලධාරීන්ගේ යුතුකම වේ,” යි කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම කියා සිටියා ය.

ජනපති නීතියට ඉහළින්ද?

ජනාධිපති සිරිසේන විසින් අගෝස්තු පස්වන දින නිකුත් කරන ලද, අංක 2135/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි දැක්වෙන්නේ අද්මිරාල් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ (2005 - 2009) සහ එයාර් චීෆ් මාර්ෂල් වෙල්ලාරච්චිගේ දොන් රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක (2006 - 2011) විසින් “ත්‍රස්තවාදය ශ්‍රි ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීත භාවය, ජාතියට පුදකල ප්‍රසංසනීය සේවය හා සිදුකළ අද්විතිය මෙහෙවර ඇගයීම උදෙසා” අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet) සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් (Marshal of the Air Force) යන නිලයන්ට උසස් කරන බවයි.

එම නිලතල ලබා දීම මගින් තමන් නීතියට ඉහලින් සිටින බවට ජනාධිපතිවරයා සංඥාවක් ලබා දෙන්නේද යන ගැටලුව මතුවී තිබේ.

අද්මිරාල් කරන්නාගොඩ සහ එයාර් චීෆ් මාර්ෂල් ගුණතිලක යන දෙදෙනාම අපරාධ චෝදනා මෙන්ම දූෂණ චෝදනාවන්ට ද ලක්ව සිටින අය බැවින්, මෙසේ නම්බු නාම ප්‍රදානය කිරීම මගින් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා නොතකා හැරීම මෙන්ම, එවැනි අපරාධ අනුමත කිරීමක්ද සිදු නොවන්නේ දැයි ජේඩීඑස් විසින් කරන ලද විමසීමට පිළිතුරු ලෙස ආචාර්ය දිපිකා උඩගම කියා සිටියේ එවැනි ක්‍රියා මඟින් “නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන” බව ය.           

karannagoda w"විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව අපරාධ චෝදනා ඇත්නම් ඒවා විභාග කොට එම පුද්ගලයින් නිදොස් යැයි අධිකරණය තීන්දු කළ පසු පමණක් උසස්වීම් හෝ ගෞරව නාම ලබාදීම කළ යුතු වේ. එසේ නොකරන විට රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙනවා පමණක් නොව, එම උසස්වීම් හෝ ගෞරව නාම පිළිබඳව ඇති ජනතා විශ්වාසය හා පිළිගැනීමද පළුදු වේ. එසේම, එවැනි ක්‍රියා පිළිවෙතකින් ඇඟවෙන්නේ යම් පුද්ගලයින් නීතියට ඉහළින් සිටිනබවයි. එය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනි වේ."

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යනු, 2008 සහ 2009 අතර කාල වකවානුවේදි කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පිය පුතුන් සිවු දෙනෙකු ද ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකි.

එම අපරාධය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුරදි තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලමින් වසන්ත කරන්නාගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබු අතර, එම පෙත්සම සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය වුයේ අද්මිරාල් කරන්නාගොඩ විසින් 'රණවිරුවකු ලෙස සිදුකර ඇති විශිෂ්ඨ සේවය' සළකා ඔහුව අත්අඩංගුවට නොගත යුතු බව ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුවට අනුව, ඉහත අපරාධය සම්බන්ධයෙන් ඉදිරියේදි අද්මිරාල් කරන්නාගොඩට එරෙහි කවර නම් තොරතුරක් හෙළිදරව් කර ගැනීමට හැකි වුවද ඔහුව අත්අඩංගුවට ගැනිමේ හැකියාවක් නොමැති බව රහස් පොලිස් නිලධාරින් මෙන්ම මූලික අයිතිවාසිකම් නඩුකර සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේද මතය විය.

නමුත් මේ වන විටත් එම විමර්ශනවලට අදාළව අධිකරණයට ලබා දී ඇති තොරතුරු අනුව වසන්ත කරන්නාගොඩ පිළිබඳව සඳහන් කෙරි ඇත්තේ ඔහු මනුෂ්‍ය ඝාතන සිදුකිරීම මෙන්ම එයට ආදාළ අනුබල ලබා දීමට වගකිව යුතු පුද්ගලයෙක් ලෙස ය.

 

Roshan gunathilakaමිග් ගනුදෙනුව:

පසුගිය යුද සමයේදි නිරායුද ජනතාව රැඳි සිටි ස්ථාන, රෝහල් ආදියට ගුවනින් බෝම්බ හෙලා ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට චෝදනා එල්ල වී ඇති අතර, එම කාල වකවානුවෙහි ගුවන් හමුදාවට අණ දුන්නේ රොෂාන් ගුණතිලක විසිනි. එසේම 2006 කූප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සම්මානයෙන් පුද ලද සෙන්පති දෙපළ, ආරක්ෂක අංශ සාමාජිකයන් දඬුවම් නොලබා ගැලවී යාම පිණිස නීති සම්පාදනය කරන මෙන් ඉල්ලා සිටින යෝජනාවක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා එක්ව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට භාරදුන් විශ්‍රාමික යුද ප්‍රධානීන් කණ්ඩායමක සාමාජිකයෝ වෙති.

හිටපු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන් වන දයා රත්නායක, රොෂාන් ගුණතිලක, මෙන්ම තිසර සමරසිංහ ද පසුගිය පෙබරවාරි 20 දින මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල සමාජිකයන් අත්අඩංගුවට ගැනීම් වළක්වාලන ලෙස ය.

පසුගිය ආණ්ඩු සමයේදි මෙන්ම වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේත් අපරාධ චූදිත ආරක්ෂක අංශ සමාජිකයන් විශාල පිරිසකට විවිධ තනතුරු, වරප්‍රසාද මෙන්ම නම්බු නාම ප්‍රදානය කෙරී ඇත.

රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ දෙපළට පෙර එවැනි නිලයක් ලැබු අනෙක් තැනැත්තා වන්නේ යුද සමයේ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාය. යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයක් ඇතුළත ඔහු ෆීල්ඩ් මාර්ෂල් ධූරයට උසස් කරනු ලැබුනි.

(jdslanka.org/s- කිත්සිරි විජේසිංහ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්