ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන වලට එරෙහිව පියවර ගන්නා විදේශීය බලවතුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තියක් වෙනුවෙන් බලයට පත්
දෙවැනි රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර බලවේග සම්බන්ධයෙන් තවදුරටත් නම්‍යශීලී ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී.
 
ආණ්ඩුව මෙම නව මගට එළැඹි ඇත්තේ විදේශීය මුදල් රට තුලට ගලා ඒම බරපතල ලෙස අවහිර වී රටේ ආර්ථිකය අසීරු තැනකට වැටී ඇති වකවානුවකය.
 
වගවීම සහතික කරනු පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හවුලේ කටයුතු කිරීමට ඇති සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජූනි මාසයේදී ප්‍රකාශ කිරීමත් සමග අනාවරණය වූ මෙම පිළිවෙත තව දුරටත් තහවුරු කෙරුනේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය විමසීම සඳහා යුරෝපීය දූත මණ්ඩලයක් පැමිණීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ප්‍රසාදය පළවීමෙනි.
 
 
යුරෝපා වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා සලසා ඇති බදු සහනය තව දුරටත් ශ්‍රී ලංකාවට ලබාදීම සුදුසුදැයි විමසීමට මේ මස අග සතියේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයක් බ්‍රසල්ස් නුවරින් පැමිණීමට නියමිතය.
 
 
සැප්තැම්බර් 27 දා සිට දිවයිනට ළඟාවන එම  එම පිරිස ඔක්තෝබර් 5 වැනිදා දක්වා රැඳී සිටිනු ඇති බව කොළඹ යුරෝපා සංගම් කාර්යාලය දැනුම් දී තිබේ.
 
ඔවුන්ගේ පැමිණීම මහත් සාදරයෙන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා පවසයි.
 
“එන්න බලන්න,” යැයි විදේශ ලේකම් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ යුරෝපා දූත මණ්ඩලයේ ලංකාගමනය පිළිබඳව මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
 
GSP+ බදු සහනය සම්බන්ධයෙන් සලකා බැලීමේදී යුරෝපා සංගමය වඩාත් උනන්දු වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරවා ගැනීමට බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
එම පනත අහෝසි කරන්නේ නැතිනම් අපනයන බදු සහනය පමණක් නොව ශ්‍රී ලංකාවට ත්‍රස්ත මර්දන කටයුතු සඳහා ලැබෙන යුරෝපා ආධාරද අහිමි වීමේ අවදානම පවතී.
 
  
“කිසිම රටකට ත්‍රස්ත විරෝධී පනතක් නැතිව බෑ. අපි යුරෝපා සංගම් නියෝජිතයන් පැමිණෙන තුරු බලාගෙන ඉන්නවා. අපි බය නෑ. අපිට හංගන්න දෙයක් නෑ,” යි අද්මිරාල් කොළඹගේ ප්‍රකාශ කළේය.
 
 
කෙසේ වෙතත්,  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා ආණ්ඩුව කැබිනට් අනුකාරක සභාවක් පත් කරන ලද බව සහතික වී ඇතැයි ජගත් මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාවක් ජිනීවා සමුළුවට ඉදිරිපත් කරමින් පැවසුවාය.
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා අතීතයේ පත් කරන ලද ජනාධිපති  කොමිසන් විසින් දෙන ලද නිර්දේශ කියවා බලා වර්තමාන ජනාධිපති වරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කොමිසම සිය අතුරු වාර්තාවෙන් නිර්දේශ කර තිබුනේ පවත්නා ත්‍රස්ත නීති දිගටම පවත්වාගෙන යායුතු බවයි.
 
 එම වාර්තාව පිළිගන්නා අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගවීම හා සංහිඳියාව වෙනුවෙන් එක්සත් ජාතීන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඇති සූදානම පල කර තිබුණි.
 
මේ වසර අගදී ප්‍රකාශයට පත් කරන බව පැවසෙන එම කොමිසමේ අවසන් වාර්තාව දැකගැනීමට ඇති උනන්දුව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ජිනීවාහිදී ප්‍රකාශ කොට සිටියාය.
 
  
GSP+ සහනය නැවත සලකා බැලීමේ යෙදී ඇති මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස ඇගයීමට ලක්කරනු ඇති අතර යුරෝපා දූත මණ්ඩලයක් මේ මස අග ලංකාවට එන්නේ ඒ සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සඳහාය.
 
 
ඔවුන් දිවයිනේ ගත කරන කාලය තුල ජනාධිපති, අගමැති, විදේශ ඇමැති ඇතුළු රජයේ නියෝජිතයන් මෙන්ම වෙනත් පාර්ශවද මුණගැසෙන බව අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසා සිටියේය.
 
මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි යන විශ්වාස කිරීම නිසාය.
 
පසුගිය ආණ්ඩු පාලන සමයේ ද නොනැවතුණු මානව හිමිකම් උල්ලංඝන වර්තමාන පාලනය යටතේ උත්සන්න වී ඇති බවට දේශීය හා විදේශීය වාර්තාවලින් චෝදනා නැගී තිබේ.
 
 
ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 520 ඉක්මවා යනු ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනකරුවෝ අනතුරු අඟවා සිටිති.
 
 
සබැඳි පුවත් :
 
 
 
 

 
 
THE LEADER TV 
 
ලොක්කෝ මෙච්චර ලොහාන්ට බය ඇයි? 
 
 
බොක්කත් හූරං කන කොරොනා මාෆියාවක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්