අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටළු නිරාකරණය කිරීමට දක්වන මැළිකම හරහා ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනය මොට කරන බවට සමගි ජනබලවේගයේ චෝදනා කර සිටියි.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධ්‍යාපන ක්ෂේත්රය මුහුණ දෙන ගැටළු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම පිළිකුලෙන් යුතුව බැහැර කරයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත්, පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඞ් මර්දන එන්නතක් කඩිනමින් ලබා දී දැනට වසර එක හමාරක පමණ කාලයක් වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දැයේ දරුවන්ගේ අහිමි වු අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පාලකයන්ට බල කරයි.
තවදුරටත් ඔහු මෙසේද සඳහන් කරයි.
''ඔබ අප සැම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්රය අද දිනයේ මුහුණ දී සිටින්නේ එහි ඉතිහාසයේ අඳුරුතම යුගයකට ය. රට පාලනය කරන ආණ්ඩුවට හා එහි නායක කාරකාදීන්ට අධ්‍යාපන අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගළවා ගැනීම පිණිස සාධනීය වැඩපිළිවෙලක් පවතින බවක් දක්නට නොමැත. මෙම අවාසනාවන්ත අධ්‍යාපන අර්බුදයේ වර්තමාන හා අනාගත ප්රතිවිපාකයන්හි බරපතලකම හා ව්‍යසනකාරි බව මෙරට පාලකයන්ට නොපෙනීම හා අවබෝධ නොවීම අතිශය පිළිකුල් සහගත ය.
ආණ්ඩුවේ අදූරදර්ශි භාවය හේතුවෙන් දශක ගණනාවක් භුක්ති විඳින ලද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් රටේ දිළිදු අසරණ දරුවන් බැහැර කෙරෙමින් පවතින අතර ආචාර්ය සී.ඩබ්.ඩබ්. කණ්නන්ගර විසින් ගොඩනැඟු හා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ පාසල් දරුවන් උදෙසා නොමිලේ නිළ ඇඳුම් ලබාදීම, පෝෂණීය ආහාර සැපයීම, මාපිය කැපකරු භාරකාර ක්‍රමය ඇතුළු විවිධ සුභසාධන වැඩසටහන් ඔස්සේ සුරක්ෂිත කරනු ලැබූ නිදහස් අධ්‍යාපනය අද දවසේ පොදු ජනතාවට, ඔවුන්ගේ දරුවන්ට අහිමි කෙරෙමින් පවතින්නේ ඉතාමත් ඛේදනීය අයුරිනි.''
දැනට මාස දෙකකට අධික කාලයක් තිස්සේ මේ රටේ පාසල් ගුරුවරු සහ විදුහල්පතිවරු තමන් කාලයක් තිස්සේ මුහුණ දෙන වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කරගැනීම සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටිති.
කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට රජය අසමත් වන විට ගුරු විදුහල්පතිවරු තම පඩිපත වැයකරමින් විශාල වෙහෙසක් දරමින් ලබාදුන් ජාලගත ඉගෙනුම පවා අද වන විට දැයේ දරුවන්ට අහිමිව ගොස් ඇත.
වැටුප් විෂමතා ගැටළුව විසදීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවක් දිස්වන අතර විසඳුම් ලබානොදී කමිටු පත් කරමින් කල් මරමින් සිටි.
මේ තත්ත්වය පිළිබඳව වහා අවධානය යොමු කොට පවතින වැටුප් විෂමතා ගැටළු විද්වත් කමිටු යෝජනා කරන පරිදි විසඳා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය සුරක්ෂිත කිරීම පාලකයන්ගේ වගකීම වන්නේය.
මේ වන විට ලක්ෂ හතලිස් තුනකට අධික වු මෙරට පාසල් සිසු දරුදැරියන්ට වසර එක හමාරකට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වි ඇත. වැටුප් විෂමතා අරගලය හා රජය එය විසඳීමට සාධනීය පියවරක් නොගන්නා පරිසරයක් තූළ මාස දෙකක පමණ කාලයක් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ද අහිමි වි ඇත.
විශ්වවිද්‍යාල හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දමා ඇත.
අධ්‍යාපනය අහිමි වීම නිසා පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් හා ඔවුන්ගේ දෙමාපියන් දැඩි කළකිරීමකට හා අපේක්ෂා භංගත්වයට පත්ව ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ මෙම කඩාවැටීම දරු දැරියන්ගේ පුද්ගල මානසික හා ශාරීරික සංවර්ධනයේ විශාල බිඳවැටීමකට හේතු වන බවත් එය මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය ආපස්සට හැරවීමට කටයුතු කරන බවත් ඉතාමත් පැහැදිලිය.
THE LEADER TV
බේබද්දෝද රාජ්‍ය ඇමතියෝය.
සන්නා මහ රෑ හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!