ජාතීන් අතර වෛරය අවුළුවා ලීමට රාජ්‍ය මාධ්‍ය යොදාගෙන ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරයෙක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට බරපතල චෝදනාවක් එල්ලකර තිබේ. 
ශ්‍රී ලංකාව තුල වෙසෙන ජාතීන් සහ ආගමිකයන් අතර වෛරය ඇවිස්සීම සඳහා රාජ්‍ය මාධ්‍ය අත්තනෝමතික ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් බලවත් සිත්වේදනාව සහ අප්‍රසාදය පලකරමින් එම චෝදනාව ඉදිරිපත්කර ඇත්තේ, කොළඹ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් ය.
 
ඔහු එම කාරණය සඳහන් කර ඇත්තේ, ඇමතිවරයා වෙත ලිපියක් යොමුකරමිනි. 
 
මන්ත්‍රීවරයා ගේ ලිපියේ මෙසේද සඳහන් වේ.
 
''පසුගිය සෙනසුරාදා (2021 සැප්තැම්බර් 18) උදෑසන 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ ආයුබෝවන් වැඩසටහනට සහභාගි වූ රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ විසින් මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් අප සහෝදර සිංහල බෞද්ධ ජනතාව අතර සැකය සහ වෛරය මතුකරන වෛරී ප්‍රකාශන ගණනාවක් නිර්බාධිතව ප්‍රචාරය කර හරින ලදී. 
 
වැඩසටහන මෙහෙයවූ ප්‍රවීණ නිවේදක අසේල බණ්ඩාරනායක මහතා විසින් එම වෛරී භාෂණ කිසිවිටෙකත් අභියෝගයට ලක් නොකිරීම අපේ මහත් කනගාටුවට හේතුවේ.
 
 Ganasara himi1
 
ඉස්ලාම් භක්තිකයන් ගණනාවකගේ ඉමහත් වේදනාවට හේතුවූ  එම අප්‍රියජනක වැඩසටහන ඔස්සේ ඥානසාර හිමියන් විසින් ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව හඳුන්වන ලද්දේ “ඇවිදින බෝම්බකාරයන්” ලෙසය.
 
 
 “මුස්ලිම් අන්තවාදීන් ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන්” යයි කියමින් සිංහල ජනතාව අතර සැක, බිය සහ වෛරය මතුකළ උන්වහන්සේ වරෙක නැගු අභූත චෝදනාවක් වූයේ “මුස්ලිම් ජනතාව සන්නද්ධ වෙමින් සිටින” බවයි. 
 
ඒ චෝදනාව එල්ල කිරීමට තරම් විශ්වසනීය සාක්ෂි තමන්වහන්සේ සතුව තිබුනේ නම්, රාජකීය පණ්ඩිත හිමියන් කළ යුතුව තිබුණේ ආරක්ෂක අංශවලට එම තොරතුරු ලබාදීම මිස රටේ බහුතරය අතර බිය සහ වෛරය පතුරුවාලීම නොවේ.
 
 නිවේදක බණ්ඩාරනායක මහතා ඒ ගැන ප්‍රශ්න කළේද නැත. ජාතික රුපවාහිනිය එය විකාශනය කළා පමණක් නොව දැන් අන්තර්ජාලය ඔස්සේද එය සංස්කරණයකින් තොරව  ප්‍රචාරය වෙමින් පවති.
 
 
 
ජනතාව සතු පොදු දේපලක් වන රූපවාහිනි ගුවන් තරංග ඔස්සේ ජාතිවාදී ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා යොදාගෙන තිබුනේ ජාතීන් අතර සංහිඳියාව සඳහා ඇප කැප වන බවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවේ සහතික වීමට දිනකට පෙර වීම සැබවින්ම විශ්මය ජනකය.
 
  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එහිදී රටේ සංහිඳියාවට දායක වීමට පැමිණෙන ලෙස දෙමළ ඩයස්පෝරාවට විවෘත ආරාධනයක්ද කර තිබීම සතුටට කරුණකි. එවන් තත්වයක් තුළ රාජ්‍ය මාධ්‍ය සුළු ජාතික ප්‍රජාවන්ට එරෙහිව නිදහසේ වෛරය පතුරුවන විට ජනාධිපතිවරයාගේ ආරාධනයේ අවංකභාවය පිළිබඳව රට තුලත්, ඉන් පිටතත් සැක මතුවීම ස්වභාවිකය.
 
ඥානසාර හිමියන් සිය මුස්ලිම් විරෝධී ප්‍රකාශ කරන්නට පෙර අගමැතිවරයා ඉතාලියේ පැවති ජාත්‍යන්තර අන්තර් ආගමික සමුළුවේදී කියා තිබුනේ විවිධ ආගම් අතර වෙනස්කම් කියාපානු වෙනුවට සෑම ආගමකම ඇති සමානතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. 
 
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එම සමුළුවේදීත්, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතා කළ දේශනයේදීත්, පොදුරාජ්‍ය මාණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සමග කළ අන්තර්ජාල සාකච්ඡාවකදීත් අවධාරණය කර තිබුණේ රටේ අනාගත සුබසිද්ධිය සඳහා ජාතීන් අතර පැවතිය යුතු සංහිඳියාවේ වැදගත්කම පිළිබඳවයි.
 
රටින් පිටතදී ආණ්ඩුවේ ඉහළම නායකයන් එසේ කියද්දී, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඥානසාර හිමියන් යොදාගෙන රට ඇතුලේ ප්‍රචාරය කළේ ජාතීන් භේද කරන වෛරයයි. ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයන්ගේ ඉහලම විද්වත් සභාව වන ජමියතුල් උලමා සභාවට අවමාන කරමින් එය තාලිබාන් සංවිධානයට සම්බන්ධ බවට කරන චෝදනා නිදහසේ ප්‍රචාරය කර හරින ලදී.
 
 
 
මීටපෙර අවස්ථා කීපයකදීම පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ මුස්ලිම්වරුන්ටත්, කතෝලික නායකත්වයටත් එරෙහිව වෛරක්කාරී කතා කියා තිබියදී නැවතත් ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ජාතික රූපවාහිනියට කැඳවා තිබීම පිළිබඳවද මෙහිදී සිහිපත් කළ යුතුය. 
 
 
 
උන්වහන්සේගේ අභූත චෝදනා වලට විරුද්ධව කතෝලික සභාව පොලිස්පතිට පැමිණිල්ලක්ද කර තිබේ. එවැනි තත්වයක් තිබියදී උන්වහන්සේ රාජ්‍ය මාධ්‍යයකට වඩම්මවා ගෙන ජාතිවාද ප්‍රකාශ කිරිමට ඉඩදීම තුළින් සුළු ජාතීන්ට විරුද්ධව සැලසුම් සහගත කුමන්ත්‍රණයකට රජයේද මාධ්‍යවේදීන් හා මාධ්‍ය ප්‍රධානීන්ද හවුල්වී ඇත්දැයි සැකයක් මතුවීම ස්වාභාවිකය. 
 
එහි සත්‍ය අසත්‍ය සෙවීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔබතුමා විසින් කළ යුතුව ඇත්තේ ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේට බාධාවකින් තොරව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිවාදය පතුරුවන්නට මග පෑදුනේ කෙසේද යන්න ගැන වහාම පරීක්ෂණයක් පවත්වා මෙම බියකරු තත්වයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් විනයානුකුලවත්, පොදු නීතිය අනුවත් පියවර ගැනීමයි. 
 
එම පරීක්ෂණයේ ප්‍රතිපල ප්‍රසිද්ධියට පත්කිරීම සංහිඳියාව පවත්වාගෙන යන සුපසන් මාධ්‍ය භාවිතාවක් සඳහා අත්පොතක් වනු නියතය. ඒ සමගම දැනට අන්තර්ජාලය ඔස්සේ පැය විසිහතරේම කෙරෙන වෛරී ප්‍රචාරය අත්හිටුවීමට පියවර ගැනිමත් ඉතාමත් වැදගත් කාර්‍යකි.
 
 
 
  ''හිතවත් ඩලස් මැතිතුමනි,image b9018d2f66
මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදුවූ හානිය පිළිබඳව සමාව ඉල්ලා සිටීමෙන් ඔබ වගවීම බාරගැනීම පිළිබඳව පුර්වාදර්ශයක් සපයා ඇත. මෙවර වරද සිදුවූයේ සමස්ත ජනප්‍රජාවකටය. ''
- පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්
 
 
 
මහත් භීෂණකාරී අවදියක ජනතා නියෝජිතයකු ලෙස ඔබ පළමු වතාවට තේරී පත්වූයේ මරණයේ දේශයට ජීවිතය රැගෙන එන බවට පොරොන්දු වෙමිනි. 
 
මේ දේශය නැවත මිණීවලට ඇදගෙන යන ජාතිවාදී වෛරය ප්‍රචාරය කිරීම නවතා සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් ජීවත් වීමට මග සලසා දෙමින් වගකිවයුතු අමාත්‍යවරයකු ලෙසින් මේ අපරාධකාරී  වරද නිවැරැදිකර ගන්නා ලෙස ඉතාමත් උවමනාවෙන් ඉල්ලා සිටිමි.''
 
 
 
THE LEADER TV 
රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 
 
 
ඇමරිකාවේ ඉන්න සිංහල කොටි නැගිටලා !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්