ඕනෑම අයෙකුට නීති සහාය ලබා දීම සඳහා නීතිඥයන්ට ඇති අයිතිය අහුරමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට
එරෙහිව පියවර ගැනීමේ සැලසුමක් පාර්ලිමේන්තුවේ දී අනාවරණය වී තිබේ.
 
මේ බව හෙළිදරව් වුයේ පාස්කු ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට නීති සහාය ලබා දුන් මානව හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන නඩු නැතුව රඳවා ගෙන දින 500 කට වැඩි කලක් ගතව තිබියදී මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකින් මගිනි.   
 
 
 
''වහාබ්, සලිෆ්, හා අයි.එස්.අයි.එස් මතවාද ප්‍රචලිත කළ, මුදල් ආධාර දුන්, මරාගෙන මැරුණු බෝම්බකරුවන් ඇසුරු කළ, හා ඒ අය වෙනුවෙන් උසාවියේ පෙනී සිටින අයට එරෙහිව පියවර ගන්නවා'' යැයි  ඇමැති සරත් වීරසේකර 22 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙසය.
 
නීතිඥ හෙජාස් මෙන්ම වසරකට වැඩි කලක් රඳවාගෙන සිටින මුස්ලිම් කිවියර අහ්නාෆ් ජසීම්ටත් නීති සහාය ලබාගැනීමට ආණ්ඩුව පමුණුවා තිබූ දැඩි බාධා ඉවත් කරගනු ලැබුවේ එක්සත් ජාතීන් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මැදිහත්වීමෙන් අනතුරුවය. 
 
''පාස්කු ප්‍රහාරය වැනිම තවත් අන්තවාදී ප්‍රහාරයක්  ඕනෑම අවස්ථාවක එල්ල වීමේ හැකියාවක් තියෙනවා, ඕනෑම වේලාවක පුපුරුවා හැරීම සඳහා ආයුධ  සූදානම්,  ප්‍රහාරය ගැන තොරතුරු සහ සාක්ෂි, ප්‍රහාරයට අදාළ කණ්ඩායම කවුද කියල, ඔවුන් සිටින ස්ථානය ගැනත් මම  දන්නා තොරතුරු ජනාධිපතිතුමාව දැනුවත් කළා'' යැයි බොදුබල සේනාවේ ප්‍රධානි ගලබොඩ අත්තේ ඥානසාර හිමි විසින්  ඉකුත් 13 වැනිදා රාජපක්‍ෂ ආණ්ඩුවට සමීප පෞද්ගලික රුපවාහිනියක වැඩසටහනකට එක් වෙමින් හෙළිදරව් කර තිබිනි. 
 
 
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ  මේ හෙළිදරව්ව ගැන ඥානසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කරුණු විමසා ඇත්ද, ප්‍රහාරයක් එල්ල කරන්නට සැරසෙන පිරිස අත්අඩංගුවට ගෙන තිබේද, ඒ ගැන විමර්ශනයක් අරඹා තිබේද යන්නය.
 
 
ඒ ගැන විමර්ශනයක් හෝ  කිසිවෙක් අත්අඩංගුවට නොගත් බව පැවසු ඇමැති සරත් වීරසේකර විසින් කරනු ලැබුවේ අල් කුරානයේ  ඇතැයි කියන පාඨ දක්වමින්, ඥානසාර  හිමියන් ලබා දුන් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කියවමින්, අත් අඩංගුවට ගෙන සිටින 'පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්' නිදහස් කරන්නයි ප්‍රකාශ කළ බවට රහුමාන් මන්ත්‍රීවරයාට චෝදනා කිරීමයි. 
 
බොදුබලසේනානායකයා අනුව යමින් පොලිස් ඇමැති පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශ අසත්‍ය බවට  විපක්ෂ මන්ත්‍රීවරයාගේ හෙලා දැකීමට ලක්විය. 
 
''ඇමැතිතුමා අල් කුරානයේ නැති දේවල් පෙන්නලා බොරු කියනවා'' යැයි කී රහුමාන් මන්ත්‍රී පෙන්වා දුන්නේ ''ඕනෑම වෙලාවක ප්‍රහාරයක් එල්ල වේ යැයි බොදු බල සේනාව කියද්දී  රටට ආයෝජකයන්, සංචාරකයන් කැඳවා ගැනීමේ ආණ්ඩුවේ  බලාපොරොත්තු බිඳ වැටෙනා'' බවය.
 
 
 
 
ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රී ගොළුවත
 
 
ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය ගැන අදහස් දැක්වූ  දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් ද  අදහස් දක්වමින් කියා සිටියේ ඥානසාර හිමියන් ජනාධිපතිගේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශක බවය. 
 
''පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අල්ලා දෙවියන් කියලා ඥානසාර හාමුදුරුවෝ කියනවා, ඒ වගේම මුස්ලිම් ආගමික නායකයෝ අත් අඩංගුවට ගන්න කියා කියනවා, මේ වගේ බරපතල ප්‍රකාශ ගැන  ආණ්ඩුවේ ඉන්න එකම මුස්ලිම් මන්ත්‍රී කෙනෙක්වත්  ප්‍රශ්න කරන්නේ නැහැ'' යැයි  රාසමානික්කම් මන්ත්‍රී චෝදනා කළේය.
 
මේ අතර බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ හෙළිදරව්ව ගැන විමර්ශනයක් අවශ්‍ය බව කතෝලික සභාව සහ  ජමියතුල් උලමා ඉස්ලාම් ආගමික සංවිධානය ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි.
 
 
 

THE LEADER TV 
 
ලොක්කා බයවෙලා ? 
 
 
 
රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image