ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (අගෝ 19) එම තනතුරට පත් කෙරුණේ මෙතෙක් එහි කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්‍රාම යාම හේතුවෙනි.
ඒ සමගින් ලුතිනන් ජෙනරාල් නිලයට ද පැමිණෙන ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරීම සම්බන්ධයෙන් සිය "දැඩි අවධානය" යොමු වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
"විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක, අදාළ පත්වීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරයි," යනුවෙන් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
කෙසේවෙතත්, මේ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
ශවේන්ද්‍ර සිල්වා, සඳුදා (අගෝස්තු 19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේ අවසාන අදියරයේදී (2009) ශවේන්ද්‍ර සිල්වා විසින් නායකත්වය දෙන ලද 58 වෙනි බලකාය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට චෝදනා එල්ල විය.
එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වන චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වුවත් චෝදනා ලත් පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සහ එක්සත් ජනපද හමුදා අතර පවතින සහයෝගීතාව පිරිහීමට හේතු විය හැකි බවට වාර්තා පළ වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති යුද්ධය 2009 වසරේ මැයි මස 18 වෙනිදා අවසන් විය.
දශක තුනක් පුරා පැවති ගැටුම්වලින් දිවයිනේ උතුරේ සහ දකුණේ ලක්ෂයක පමණ වූ මහජන ජීවිත විනාශයක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරේ.
තවත් දහස් ගණනක් තවමත් අතුරුදන් වූ මට්ටමේ සැළකේ.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව 2015 වසරේදී නිකුත් කෙරිණි.
එම වාර්තාවේ ප්‍රධාන නිගමනය වූයේ, රජයේ හමුදා සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යන දෙපාර්ශවය ම යුද අපරාධ ලෙස සැලකිය යුතු අපරාධවලට වගකිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවය.
ශ්‍රී ලංකා ආණ්ඩුව තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළ වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කරමින්, වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව නිර්දේශ කරයි.
(බීබීසී සිංහල සේවය)