ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා ඉහල පෙලේ පංච පුද්ගල විදේශීය දූත මණ්ඩලයක් දිවයිනට පැමිණ සිටී.

 
අද දිනයේ සිට ආරම්භ වීමට නියමිත එම විමර්ශනයත් සමඟ, ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 5 ක ඇඟලුම් කර්මාන්තය සඳහා ඇති විශාලතම වෙළෙඳපොළ වන යුරෝපා සංගමයට ඇති සහනදායී වෙළෙඳ ප්‍රවේශය තවදුරටත් හිමිවේදැයි යන අවදානම මතුවී තිබේ.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම්, ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද ඉවත් කර ගැනීම ගැන සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ජුනි මස මැදදි යෝජනාවක් සම්මත කළේය.
 
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුරෝපා වෙළෙඳාම සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක  නිකොලාස් සයමිස්, යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියා කලාපීය ප්‍රධානී අයෝනිස් ජියෝගරාකිස්-ආර්ජිරෝපොලෝස්, GSP වෙළෙඳ වරණය පිළිබඳ සම්බන්ධීකාරක ගුයිඩෝ ඩෝරා, රැකියා, සමාජ කටයුතු සහ අන්තර්ග්‍රහණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ලුයිස් ප්‍රාට්ස් සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ EEAS නිලධාරිනී මොනිකා බයිලයිටේ ගෙන් සමන්විත දුත පිරිස දිවයිනට ළගාවී ඇතැයි කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්‍යාලය පවසයි.
 
ඔක්තෝබර් පස්වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඔවුන් ආණ්ඩුවේ, වෘත්තීය සමිතිවල, සිවිල් සමාජයේ, සේවායෝජකයන්ගේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතනද මුණගැසීමට නියමිතය.
 
“ශ්‍රී ලංකාව එකඟ වී ඇති පරිදි මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසරය හා යහපාලනය ආවරණය කෙරෙන පරිදි GSP+ හා සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27කට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය නිරීක්ෂණයේ අරමුණ වනු ඇතැ,” යි කොළඹ යුරෝපා සංගම් දූත මණ්ඩලයේ නියෝජ්‍ය තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රේඩ රොයිටර්ස් හා පවසා තිබේ.
 
2021 වසරේ මුල් මාස හත තුළදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට 45%ක් එනම් ඩොලර් බිලියන 2.7 ක් වටිනා ඇඟලුම්, පසුගිය වසරේ බිලියන 2.2ට සාපේක්ෂව අපනයනය කර ඇත.
 
 
රටේ දෙවන වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය වන ඇගලුම් අපනයනකරුවන් ගෙන් 60% ක් පමණ, යුරෝපා කලාපයට සිදු කෙරෙන ඇඟලුම් අපනයනයන් සඳහා, යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය තුළින් ප්‍රතිලාභ ලබන අතර එය 9.5% ක පිරිවැය ප්‍රතිලාභයකි.
 
  
වසංගතය තුළ වසා දැමීම් හා අලෙවිය අඩුවීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ඇඟලුම් කර්මාන්තය, විදේශ ආයෝඡන ආකර්ෂණය කර ගැනීමට සහ 2026 වන විට ඩොලර් බිලියන 8 ක ඉපැයීම් ඉලක්කය කරා යාමට, එනම් වත්මන් මට්ටමට සාපේක්ෂව 60% ක වර්ධනයක් ලබා ගැනීම සදහා ජීඑස්පී+ ඉතා වැදගත් සහනයක් ලෙස සලකනු ලබයි.
 
කර්මාන්ත කරුවන් පවසන්නේ  GSP+ ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ කටයුතු කිරීමට රජය පොරොන්දු වී ඇති බවයි.
 
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ප්‍රධාන ලේකම් ටුලි කුරේ ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ ජීඑස්පී+ සහනය ලංකාවට අහිමි වුවහොත් වසරක් ඇතුළත ඇඟලුම් කර්මාන්තයට ඩොලර් මිලියන 500 වටිනාකම ඉක්මවන තරමේ අපනයන අවස්ථා අහිමි වීමේ අවදානමක් පවතින බවයි.
 
  
වරණීය බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වී ගියහොත් කම්හල් වසා දැමීමේ තර්ජනය ගැනත්  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) බිය පළකර සිටී. විශේෂයෙන් කුඩා හා මධ්‍යම නිෂ්පාදකයන් අතර 350,000 ක් සෘජු හා 700,000 ආශ්‍රිත කර්මාන්ත සේවකයන් සේවය කරන අතර, එයින් 80% ක් ග්‍රාමීය කාන්තාවන් ය.
 
  
“දිගටම වෙළෙඳපලේ රැඳී සිටීමටත්, තරගකාරී වීමට හා අපේ වෙළෙඳ හවුල වැඩි කරගැනීමටත් අපිට මේ වෙළෙඳ ගිවිසුම අත්‍යාවශ්‍යයි. GSP+ එක දිගටම තියේවි කියා අපි ශුභවාදීව සිටිනවා. ඒත්, ඒක නැතිවුනොත්, මේ ක්ෂේත්‍රයට ආයෝජනය කිරීම ගැන ප්‍රශ්න මතුවේවි,” යි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ සුකුමාරන් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.
 
යුරෝපා සංගමයෙන් ලැබෙන GSP+ වෙළෙඳ සහන හේතුවෙන් ඇඟලුම්, මාළු, රබර් සහ පිඟන් භාණ්ඩ යන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධාන අංශ සෘජුවම වාසි ලබයි.
 
ජීඑස්පී+ අහිමිවීමේ අවදානම ගැන අදහස් දක්වමින්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් අසිර්වාදම්  පසුගියදා අනතුරු අඟවා තිබුනේ  යුරෝපා කලාපයේ ලංකාවේ අපනයන සඳහා අහිතකර වාතාවරණයක් පවතින බවත් ඒ තත්වය  යටතේ ජීඑස්පී ප්ලස් පමණක් නොව යුරෝපා කලාපයේ අපනයන වෙළඳපොල ද ලංකාවට අහිමි වනු ඇති බවටයි.
 
ඇය එසේ අනතුරු අඟවා තිබුනේ, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ කොළඹ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “GSP+: අතීතය, වර්තමානය, අනාගතය” මැයෙන් මෑතකදී පැවැත්වූ අන්තර්ජාල සම්මන්ත්‍රණයකට සම්බන්ධ වෙමිනි.
 
නිදහස් වෙළද කලාප සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ  යුරෝපීය සංගමය GSP+  සහනයන් ඉවත් කර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් තනිකර වගකීම ආණ්ඩුව මගින් බාර ගත යුතු බවයි.
 
වෘත්තීය සමිති ලෙස තමන් ගේ කාර්යභාරය වන්නේ සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතතාවය සහතික කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්වය  උසස් කිරීම සඳහා එක්ව සටන් කිරීම බවද ඔහු සඳහන් කර තිබේ.
 
ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට GSP+ ප්‍රවේශය ලබා ගත්තේ 2005 වසරේදීය.
 
මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්  පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන විශ්වාසයෙනි.
 
 
 
යුරෝපා පාර්ලිමේන්තුවේදී
 
EU parliament 
 
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය  ජුනි මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
 
එමෙන්ම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.
 
ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමක්  මතුව පවතී.
 
GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.
 

 

 

 


 

 
THE LEADER TV 
 
 
විමල්ලා පන්නා ජාතික ආණ්ඩුවකට සුදානම් ! 
 
 
 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්