රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා

අනුරාධපුර බන්ධනාගාරයෙන් මාරු කර යවන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

 
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසයි. 
 
පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද ඔවුන්  වැඩිදුරටත් ඉල්ලා තිබේ. 
 
මෙහි වග උත්තර කරුවන්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත,අධිකරණ ඇමැති අලි සබ්රි, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී. එම්.එච්.ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.වී.එන්. උපුල්දෙනිය සහ නීතිපතිවරයායි. 
 
පූබාලසිංම් සූර්යපාලන්, එම්. සුල්කාෂන්, ගනේෂන් තර්ෂාන්, කේ. කජේන්තිරසේ, ආර්. තිරුවල්, ජී.සී. තාරෂන්, එම්. සුතාහරක්, ටී. කංකානාබරන්  පෙත්සම්කාර දෙමළ දේශාපලන සිරකරුවන් අට දෙනා රඳවාගෙන සිටින්නේ  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේය.
 
  
''සැප්තැම්බර් 12 වැනිදා සවස 6.10ට තවත් කීප දෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි ඇමැති රත්වත්තේ තමන් සිරකූඩුවලින් එළිට ගෙන දණ ගස්වා පිස්තෝලයක් ද අතේ තබා ගෙන,  බැණ තර්ජනය කළ බවත් ''ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කිරීමට හෝ වෙඩි තබා මරා දැමීමට ජනාධිපතිවරයා බලය දුන්නා'' යැයි රත්වත්තේ රාජ්‍ය ඇමති පැවසු බවත් ඔවුහු සිය පෙත්සම මගින් පෙන්වාදෙති.
 
  
අනතුරුව 8 දෙනාම පෙළ ගස්වා කළ වැරැදි මොනවාදැයි සිංහලෙන් ඇසූ අවස්ථාවේ මතියරාසන් සුලක්ෂන් නම් පෙත්සම්කරු සිංහල තේරෙන්නේ නැතැයි කී විට ඇමැතිවරයාට හොඳටම කේන්ති ගිය බවත්, ඊට පසුව ගනේෂන් තර්ෂාන් හා සුලක්ෂන් යන දෙදෙනා හැර අනිත් අය සිර කූඩුවලට ආපසු යවා පෙත්සම්කාර දේශපාලන සිරකරු  සුලක්ෂන් ගේ හිසට පිස්තෝලයක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ අවස්ථාවේ ඔහු සමග සිටි අනික් අය ඇමැති  මෙල්ල කරගෙන එතැනින් ඉවතට රැගෙන ගිය බවත්, පෙත්සමේ සඳහන් වේ.
 
ඒ අවස්ථාවේ දී තමන් දැඩි ලෙස බියට සහ තැතිගැන්මකට පත් වූ බවත් තවමත් තත්වය එසේ පවතින බවත් පෙත්සම්කාර දේශපාලන සිරකරුවෝ  කියා සිටිති.
 
මෙම සිරකරුවන් පිරිස ජිවිත ආරක්‍ෂාව සඳහා නෙල්සන් මැන්ඩෙලා රීතිය යටතේ යාපනය බන්ධනාගාරයට මාරු කර යවන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. 
 
 unnamed
සිරගෙදර මැරකමින් දින කිහිපයකට පසු අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් මුණගැසුනු අධිකරණ ඇමැති අලි සබ්රි කියා සිටියේ සිරකරුවන්ගේ ජීවිතාරක්ෂාව ගැන කිසිදු ප්‍රශ්නයක් ඔවුන්ට නොමැති බවයි. 
 
  
''මෙතන හොඳ ආරක්ෂාවක් ඔවුන්ට තියෙනවා ඒ නිසා බන්ධනාගාරය මාරු කරන්න ඕනේ නැහැ, මෙතැන ආරක්ෂාව මදි නම් අධිආරක්ෂාව තියෙන තැනකට දාන්න පුළුවන්, මෙතැන ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ'' යි  අධිකරණ ඇමතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.  
 
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, දෙමළ ජාතික ජනතා පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් ද සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්,  දොස්තර කාවින්ද ජයවර්ධන, රෝහණ බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ඒ.සුමන්තිරන් ඇතුළු පිරිස වෙන වෙනම, මරණීය තර්ජන එල්ලවූ දෙමල දේශපාලන සිරකරුවන් බැලීමට ගොස් තිබිණි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර ප්‍රාදේශීය සම්බන්ධීකාරකයන් තිදෙනෙක් ද අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි නිලධාරීන්ගෙන් සහ දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මේ ගැන පරීක්ෂණ පවත්වයි. එහෙත් චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
 

 


 

THE LEADER TV 
 
වෙන වැඩ නවත්තමු! රොකට් චිචීගේ පුසි හොයමු!
 

 
බල්ලන් කෑ රටක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්