''රට වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව හා පැවැත්ම වෙනුවෙන් එක්සිත්ව කැප වෙමු'' යයි ඉල්ලා සිටින
කරු ජයසුරිය හිටපු කතානායකවරයා,  ඊට අවස්ථාව දැන් උදාවි ඇතැයි කියා සිටියි.
 
අපේ  මව්රට ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් මහා ව්‍යසනයක් අභියස සිටින බව  සියලුදෙනා තේරුම්ගෙන ඇති කරුණක් බවද හෙතෙම සඳහන් කරයි. 
 
ඔහු එබව සඳහන් කර සිටියේ 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' විසින් ඊයේ කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.
 
රටට ආදරය කරන ජාතික නායකයින් ඇතුළු සැමදෙන බුද්ධිමත්ව දුරදිග බලා, සමගි සම්පන්නව ක්‍රියාකලහොත් මේ සියලු අභියෝගවලට විසදුම් සොයා ගතහැකි බව 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' දැඩිව විශ්වාස කරන බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.
 
අපක්ෂපාත ස්වාධීන ආයතනයක් වශයෙන් තම සංවිධානය විසින් ඉදිරිපත්කරණ කරුණු මහා සංඝරත්නය ඇතුලු සියලු ආගමික නායකයන්ගේත්, ජනාධිපති ඇතුලු බලධාරීන්ගේත්, සියලු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේත් අවධානයට සත්භාවයෙන් යොමු  කිරීමට තීරණය කළ බවද කරු ජයසුරිය මෙහිදී සඳහන් කළේය.
 
''මෙම අදහස් රජය විවේචනය කිරීමක් නොව රටේ බහුතර මතය ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක පක්ෂයේ අවධානයට යොමුකිරීම අපගේ  පරමාර්ථයයි.'' යයි පැවසු හිටපු කතානායකවරයා, තවදුරටත් මෙසේද කියා සිටියේය.
 
 
''20 වැනි සංශෝධනය තුළින් මුලු රටේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු ආකාරයත්, ජනගහනයෙන් 82% පමණ ජනතාව පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුමත නොකළ බව සමීක්ෂණවලින් පෙනීගිය බව මීට පෙර අපි සදහන් කළෙමු.  
 
  
ජනාධිපතිතුමාට උපදෙස් දෙන ගරු උත්තරීතර සංඝ සභාව නියෝජනය කරන මාහිමිපාණන් පවා මෙවැනි දැඩි පනතක් බලාපොරොත්තු නොවූ බව අපහට කීප අවස්ථාවල්වල දන්වා ඇත. ''
 
සමීක්ෂණ කණ්ඩායම සැප්තැම්බර් මස කළ අධ්‍යනයේදී 20 වැනි සංශෝධනය අනුමත නොකරන සංඛ්‍යාව 94% දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා කර ඇත.  
 
මහජනතාව දරණ මතය නම් 20 වැනි සංශෝධනය හා 2/3 බලයත්, සහල් මිල පාලනය සදහා ගැසට් 8ක් හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය සදහන් මිල පාලන ක්‍රියාත්මක කලත් ඒ සියලු උත්සාහයන් බලරහිත වූ බව  තේරුම්ගෙන ඇති හෙයිනි .''
 
එහෙයින් ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් 20 වැනි සංශෝධනයෙන් ඇති වූ අසාධාරණය නිවැරදි කරනු ඇතැයි යන්න ජනතා බලාපොරොත්තුව බවද කරු ජයසුරිය කියා සිටියේය. 
 
 un GR
අලුත් බලාපොරොත්තුවක් .....
 
 
''එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ජනාධිපතිතුමාගේ සහභාගීත්වය අපි අගය කළෙමු. 
 
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් රැකදීම, පුවත්පත් නිදහස, විරුද්ධ මතවලට කන්දීම, සිවිල් සමාජය සමග සහයෝගයෙන් වැඩකිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින බවට ජගත් මහාලේකම් ප්‍රමුඛ සියලු බලධාරීන්ටත් එතුමා සදහන් කිරීම තුළ අලුත් බලාපොරොත්තු අප තුල ඇති වි තිබේ.
 
යුරෝපියානු පාර්ලිමේන්තුවේ 600 වඩා මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දුන්නේ අප රට කෙරෙහි ඔවුන් දැරූමතය නිසයි.
 
 ජනාධිපතිතුමාගේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, කිසිම බලකදවුරකට යටත් නොවූ නිදහස්, නිවල් දේශයක් බව මේ සියලුදෙනාට ඒත්තු ගැන්වීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.''
 
 
 
සාධාරණ සමජයක් සදහා ක්‍රියාවට නැගිය යුතු අවශ්‍යම කරුණූ 15ක්.
 
වත්මන් පරපුරටත්, මතු අනාගත පරපුරටත් ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සදහා කරු ජයසුරිය හිටපු කතානායකවරයා විසින් පහත සදහන් කරුණු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානයට ලක්කරනු ලැබිය.
 
(1) නව ව්‍යවස්ථාවක් මගින් 20 වැනි සංශෝධනයෙන් ඇතිකළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම. මේ සියල්ල පලරහිත වූ බව දැන් තේරුම් ගතයුතුයි. එය නව ව්‍යවස්ථාවක් තුළින් කළහැක. 
 
 
(2)  ශ්‍රී ලංකාවාසීන්ට තමන්ට කැමැති දේශපාලන නායකත්වයක්, පක්ෂයක් හා නියෝජිතයින් තෝරාගැනීමේ නිදහස ලබාදීම රජයේ යුතුකමයි. එය මූලික මිනිස් අයිතිවාසිකමකි. 
 
එම නිසා මැතිවරණ කොමිසම ඇතුළු සියලුම කොමිෂන් සභා දේශපාලනයෙන් බැහැර ස්වාධීන සාමාජිකයින්ගෙන් සමන්විත යුතුයි. ඉතා බුද්ධිමත් මෙන්ම පිරිසිදු බොහෝ දෙනෙකුද කොමිෂන් සභාවල ඇතත් ආණ්ඩුවේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන කීපදෙනෙකු සිටීම නිසා කොමිෂන් සභා කෙරෙහි විශ්වාසය බිඳවැටී ඇතිබව සඳහන් කළයුතුයි.
 
 
(3) එමෙන්ම සාමාජිකයින් පත් කිරීමේදී විපක්ෂනායකතුමා ප්‍රමුඛ විපක්ෂ නියෝජිතයන්ගේද පූර්ණ එකඟත්වයෙන් පත්කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. පසුගිය රජයෙන් සියලු පත්වීම් කළේ ඒ ආකාරයෙන් දෙපාර්ශවයේ එකඟත්වයෙනි. වර්තමාන පත්වීම් කර ඇත්තේ ආණ්ඩුවේ තනි මතයටමයි. එහි දැඩි අසාධාරණයක් තිබේ. 
 
 e5734cc7d6743ec4284769bf55978a75 XL
රන්ජන් රාමනායක හිර අඩස්සියේ රඳවා තැබීම ඉතා අසාධාරණයි
 
 
(4) එක් රටක් එක් නීතියක් සංකල්පය ඉදිරියේදී අනුගමනය කරන බවට ගරු ජනාධිපතිතුමා සනිටුහන් කරඇත. ඉහතදී මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු භයානක අපරාධවලට සහභාගී වූ අයට සමාව ලබාදී ඇතිහෙයින් කිසිම අපරාධයකට සහභාගී නොවූ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක තවමත් අත්අඩංගුවේ තබාගැනීම ඉතා අසාධාරණ බවත් එය සමාජය අනුමත නොකරන බවත් පෙන්වාදීම අපේ යුතුකමයි. 
 
අනුරාධපුර බන්ධනාගාර සිද්ධියේ මෙන්ම කුරුණෑගල බුවනෙකබාහු මණ්ඩපය කඩා දැමූ තැනැත්තාගෙන් ප්‍රශ්ණ කිරීමක් පවා නොකර ඔහු නිර්පද්දිතව සිටීම දකින විට ජනතාව මෙසේ සිටීම සාධාරණයි. 
 
එහෙයින් මනුෂත්වයේ හා සාධාරණයේ නාමයෙන් රන්ජන්ට ඉක්මන් සමාවක් දෙනලෙස ඉල්ලා සිටිමු. මේ තීරණය නිසා ලෝක සම්ප්‍රදාය අනුව අධිකරණයටද කලු ලපයක් ඇතිවූ බව සඳහන් කරන්නේ කණගාටුවෙනි. 
 
 
(5) ආරක්ෂක සේවා සම්පූර්ණයෙන් ස්වාධීන වියයුතු බව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකි. අපගේ පොලිස් සේවාව අතිදක්ෂ නිළධාරීන්ගෙන් සමන්විත ගෞරවනීය සේවාවකි. ඕනෑකමින් විපක්ෂයේ මතධාරීන්ට හිරිහැර කරමින් නමුත් රජයේ වැරදි නොපෙනෙන උසස්වීම් සඳහා විපක්ෂයට හිරිහැර කරමින් ඔවුන් පසුපස එලවමින් පොලිස් සේවයට නින්දා කරන කීපදෙනෙකු නිසා පොලිස් ගෞරවයට හානීවී ඇත. මේ කරුණ ගරු ඇමතිතුමාගේ හා පොලිස්පතිතුමාගේ අවධානයට යොමු වේවා! 
 
අපට ඇත්තේ කීර්තිමත් අභීත යුධ හමුදාවකි. අපි ඔවුන් ගැන ආඩම්බර වියයුතුයි. කොවිඩ් වසංගත පාලනයේදී යුධ හමුදාවෙන් ලබාදෙන කැපවීම අපි අගය කරමු. 
  
එසේ වුවත් යුධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන් සාමුහිකව මිනිස් ඝාතනයකට සහභාගීවීම තුළ ඇතිවූ අපකීර්තිය නිවැරදි කිරීමට ගරු ආරක්ෂක අමාත්‍යතුමා හා හමුදාපතිතුමා අවශ්‍ය පියවර ගනු ඇතැයි අප විශ්වාස කරමු.
  
 
(6) අවුරුදු 73 නිදහස ලැබූ අප ජාතිවාදී හා ආගම්වාදී බෙදීම් හා අරගල නිසා ආපස්සට ගිය රටකි. ඒ ගිනි දැල් නැවතත් ඇතිනොවීමට වගබලාගැනීම රාජ්‍ය නායකයන්ගේ දැඩි යුතුකමක් ලෙස සලකමු.
 
සිංහලයින් බෞද්ධ හා ක්‍රිස්තියානි, කතෝලික පාර්ශවය වශයෙන් බෙදී ඇත. සිංහල මුස්ලිම් භේදයක් ඇති කිරීමට දරණ උත්සාහයක්ද අපි දකිමු. මංතීරු නිසා සංඝයා වහන්සේද බෙදී ඇත. මේ ප්‍රශ්න  ඉතා ඉක්මනින් නොවිසදුනොත්  රට නැවතත් ගිනි ජාලාවක් වනුඇත. මංතීරු රටට හදිසි අවශ්‍යතාවයක්ද යන්න ගරු ජනාධිපතිතුමා විසින් තීරණය කිරීම වැදගත් බව අපේ හැඟීමයි. 
 
  
(7) පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් අතර බලවත් වේදනාවක් ඇතිබව පෙනේ. මේ සැකය දුරු කිරීමටත්, විශ්වාසය ගොඩනැගීමත් පරීක්ෂණයට අදාල සියලු විස්තර හා වාර්තා ඉක්මනින් මුදාහැරීම ජාතික එකමුතුවකට ඉතාමත්ම අවශ්‍ය බව අපේ හැඟීමයි. 
 
දැන් පවතින අවිශ්වාසය රටට ජාතික සමඟියට හානිකරයි. අන්තර් ජාතික ප්‍රශ්ණයක්වීමට ඉඩනොදී මෙය විසදාගැනීමට වහා පියවර ගන්නා ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. 
 
  
(8) කොම්පොස්ට් පොහොර පාවිච්චිය පිළිබඳ රජය දැඩි මතයක සිටීම නිසා කෘෂි කර්මාන්තයට බලපෑමක් ඇතිබව සනාථ වී ඇත. ගොවීන්, වැවිලිකරුවන් ඇතුළු බොහෝ දෙනෙකු කෘතිම පොහොර ඉල්ලා සිටී. මේ ගැන දැඩි සමාජ අසනයක් ඇති හෙයින් ඒ ගැනද රජයේ අවධානය යොමු කිරීම අපි වැදගත් බව අපි සලකමු. 
 
 
සමහර ගොවීන් දැඩි කෝපයෙන් සිටින බව දැන් පෙනේ. වැවිලිකරුවන්ගේ සංගමය මඟින් කළ සමීක්ෂණයේදී 2022 තේ නිෂ්පාදනය 40% හා රබර් නිපදවීම 20% අඩුවන බව පෙන්වා දී ඇත. මෙය භයානක සංඥාවකි.  
 
  
(9) කීර්තිමත් රට පිළිගත් පුවත්පත් කතුවරුන් රහස් පොලීසියට කැඳවීම අපි කිසිවිටෙකවත් අනුමත නොකරමු. නිදහස් මාධ්‍යයක් නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නිරන්තරයෙන් පොලීසියට කැඳවීම පාර්ලිමේන්තු ගෞරවයටද හානිකර බව පෙන්වා දියයුතුව ඇත.  
 
  
(10) ලෝකයේ බොහෝ රටවල් සිවිල් සමාජ සංවර්ධනයේ හවුල්කරුවන් වශයෙන් සලකා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය අපි දැක ඇත. ගරු ජනාධිපතිතුමාද ජගත් මහාලේකම්වරයාට මේ ගැන ප්‍රකාශ කර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරකම් රජයට ශක්තියක් වනබව අපගේ විශ්වාසයයි. 
 
අවාසනාවකට ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සතුරන් හා රාජද්‍රෝහීන් වශයෙන් තවමත් දකින නිසා අදාල බළධාරීන්ට මේ ආයතන සමඟ සහයෝගයෙන් වැඩකිරීමේ වැදගත්කම පෙන්නා දෙන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. 
 
 
(11) උපාලි අබේරත්න දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ පවතින තාක් රජයට හා අධිකරණයේ කීර්ති නාමයට විශාල හානිකර බව නැවත නැවතත් පෙන්වා දීමට කැමැත්තෙමු.  
  
 
(12) රාජ්‍ය නිළධාරීන් ඉවත් කර ඒ වෙනුවට උසස් පදවි සඳහා විශ්‍රාමික හමුදා නිළධාරීන් යෙදවීම නිසා රාජ්‍ය සේවයේ විශාල අප්‍රසාදයක් පවතී. විනය රැකයුතු අවස්ථාවල විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවූවත් අත්දැකීම් ඇති පරිපාලන සේවයේ නිළධාරීන් කොන්කිරීම රටේ රාජ්‍යකරණයට අහිතකර බව පෙන්වාදීමට කැමැත්තෙමු. රාජ්‍යකරණයේදී පරිපාලන සේවාව ප්‍රයෝජනයට නොගත් නිසා රජයට අහිතකර වූ අවස්ථා අප දැක ඇත.  
 
  
(13) පාසැල් වසාදැමීම නිසා දරුවන් හා දෙමාපියන් විශාල වශයෙන් අසනයට පත්ව ඇති ආකාරය අපි දකිමු. 
 
 
දරුවන්ට ළමාවිය, පාසැල් ඇසුර අහිමි කිරීම මහා පාප කර්මයකි. එම නිසා ඉතා ඉක්මනින් පාසැල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අපි ආයාචනා කරමු. ළමාවිය නැවතත් ලැබෙන්නේ නැත. 
 
  
(14) යුරෝපීය සංගමයේ නියෝජිත පිරිසක් මේ දිනවල ලංකාවට පැමිණ ඇත. දැනට පැවැති සාකච්ඡා ඉතා සාර්ථක වූ බව ගරු විදේශ ඇමතිතුමාද සඳහන් කරඇත. අප ඉල්ලා සිටින්නේ දැඩි මතයක සිට GSP සහනය අහිමි නොකරගන්නා ලෙසයි. එසේ වුවහොත් එය රටට ආර්ථික වශයෙන් ඉතා හානිකර බව සඳහන් කළයුතුයි.
 
 
(15) විදේශ ආයෝජන අපි හැකිතාක් ලබා ගතයුතු අතර, රාජ්‍ය සම්පත්පැවරීමේදී විනිවිද පේන ආකාරයට සිදුකිරීම සාමාන්‍ය සිරිතවේ. 2018 ඉදිරිපත් කළ ප්‍රසම්පාදන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අහෝසි නොකලේ නම් දැනට පැන නැගෙන විවිධ දූෂණ චෝදනා එම කොමිසමේ අධ්‍යයනය තුළින් නවතා ගතහැකිව තිබිණ. බොහෝ බලගතු කොටස් මෙම පනත එළිදැකීම වැලැක්වීමට දැඩිව ක්‍රියාකළ බව සඳහන් කරන්නේ බලවත් කනගාටුවෙනි. 
 
දූෂණ නවතා රුපියල් බිලියන ගනනින් මහජනතා මුදල් ඉතුරු කරගැනීමට කමිටුව ක්‍රියාත්මක වූයේ නම් හැකිව තිබිණ. ජනතාවගේ නාමයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක කරන ලෙස ගරු ජනාධිපතිතුමාට ආයාචනා  කරමු. ලෝකයේ දියුණු වූ රටවල් මේ ක්‍රමවේදය අනුගමනය කරන බව පෙන්වාදීමට කැමැත්තෙමු. අද රටේ මහදවල් වංචා සිදුවන බවට ගරු ජනාධිපතිතුමාද දැනුවත්ව ඇති හෙයින් මේ කරුණ ගැන නැවතත් සිතා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු. 
 
 srtwert
යුගදනව්/නිව්ප්‍රෝට්‍රස් ගණුදෙනුව කළ ආකාරය ගැන ජනතා විරෝධයක්.
 
  
මේ දිනවල රාජ්‍ය සම්පත් විදේශ සමාගම්වලට පැවරීම ගැන ජනතාව හා වෘත්තීය සමිති අතර විශාල ආන්දෝලනයක් පවතී. යුගදනව්/නිව්ප්‍රෝට්‍රස් ගණුදෙනුව කළ ආකාරයත්, එය සිදුවූයේ විනිවිද නොපෙනෙන ආකාරයටත්,  නිව් පෝට්‍රස් ආයතනයට දීර්ඝ කාලීන ඒකාධිකාරයක් ලබාදීම ගැනත් දැඩි ජනතා විරෝධයක් ඇතිබවත්, එය සාධාරණ බවත් අපගේ හැඟීමය. 
 
හදිසි නීතිය ඉවත් කිරීමත්, විදේශ සංචාරයේදී ආදර්ශමත් අන්දමින් සිය නියෝජිත පිරිස තෝරාගැනීමත්, පවුලේ සාමාජිකයින්ට මහජන මුදල් වැය නොකිරීමත් ගරු ජනාධිපතිතුමා ගත් පියවර ජනතාව අගයකරන බවද දැන්වීමට කැමැත්තෙමු. මේ පියවර අනාගත නායකයින්ට ආදර්ශයක් වේවා.
 
කොවිඩ් වසංගතය මර්දනය  කිරීම සදහා ගෙනයන වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කරගැනීමට නම් විශේෂඥ මතයට ප්‍රමුඛ අවධානයක් යොමුකරවීම අත්‍යාවශ්‍යය.එන්නත්කරණය අතින් මේ වනවිට යම් සාර්ථක අදියරකට යොමුව තිබීම පිළිබඳව සතුටුවිය හැක. 
 
විනිවිදභාවයෙන් යුතු,සැලසුම් සහගතව සිදුවිය යුතු එන්නත්කරණ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම මගින් මේ වනවිටත් සිදුව ඇති අඩුපාඩු සපුරාගත හැකි වනු ඇත.ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවනු ඇතයි අපේක්ෂා කරන්නෙමු.
 
එමෙන්ම මේ දුෂ්කර  අවස්තාවේ අපරටේ ජනතාවගේ යහපත උදෙසා ඉදිරිපත් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයට,එමෙන්ම අප මිත්‍ර රටවලට අපගේ ගෞරවය  පුදකරන්නෙමු.''

 

 

 


 

THE LEADER TV 
 
 
 
විමල්ට හොඳ වැඩේ 
 
 
 
මම ඕවට නෑ' - චිචී දස අතේ දිවුරයි ! 
 
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්