1200 x 80 DMirror
 
 

රටේ ආර්ථික මර්මස්ථාන ලෙස සැළකෙන රාජ්‍ය ව්‍යාපාරවලට අයත් වටිනා දේපළ විකුණා දැමීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගයන්ට විරුද්ධත්වය පළ කරන ජාතික කම්කරු උපදේශක
සභාවේ සාමාජික වෘත්තිය සමිති, එම ක්‍රියාවලියට අදාල සියලු ලේඛන නොපමාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් වෘත්තිය සමිති අවධාරණය කර ඇත්තේ, රටේ ආර්ථික මර්මස්ථාන ලෙස සැළකෙන රාජ්‍ය ව්‍යාපාරවලට අයත් වටිනා දේපළ විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියාකරන බව මාධ්‍යවලින් වාර්තාවන අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු ද එවැන්නක් සිදුවන බව සනාථ කර ඇති බවයි.
 
 
 
ආණ්ඩුවේ මෙම ජනතා විරෝධී වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික වෘත්තීය සමිති ජනාධිපතිවරයාට අනතුරු අගවමින් දැනුම් දී ඇත්තේ, එම ආයතන වල පිහිටි වෘත්තීය සමිති ගෙන යන්නාවූ විරෝධතාවයට සහාය දැක්වීමටද තීන්දු කර ඇති බවයි.
 
 
 
 
"එවගේම, ඇමෙරිකානු සමාගම සමග වත්මන් ආණ්ඩුව අත්සන්කර ඇති ගිවිසුම සහ රටේ පුරවැසියන්ගේ අගතියට බලපාන්නාවූ ඉහතින් සඳහන් කාරණාවලට අදාල සියලු ලිපි ලේඛන, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් නොපමාව ප්‍රසිද්ධියට පත්කරන මෙන්ද, ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලු පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙන් එම කොමිසන් සභාවට ජනාධිපතිගේ විශේෂ තීන්දුවක් ලෙස වහා දැනුම් දෙන මෙන්ද ඉතා ඕනෑකමින් අපි ඉල්ලා සිටිමු."
 
 
 
විකුණා දැමීමට ක්‍රියාකරමින් සිටින රාජ්‍ය දේපල:
 
 
 
 
වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන පරිදි ආණ්ඩුව විකුණා දැමීමට ක්‍රියාකරමින් සිටින රාජ්‍ය දේපල පහත පරිදිය.
 
 
01. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක ප්‍රමාණයක් කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුමක් අත්සන් කිරීම සහ එම ගිවිසුම මාර්ගයෙන් අනාගතයේ දී අප රටේ ෆොසිල ඉන්ධන  වෙනුවට භාවිතා කිරීමට නියමිත ස්වභාවික දියරගත වායුව (LNG) මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීමේ ඒකාධිකාරී අයිතිය ද එම ඇමෙරිකානු සමාගමට ලබා දීම.
 
 
 
02. වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම් ප්‍රමාණයක් සහ එහි ඇති ගුදම් චීන (CICT)  සමාගමට විකුණා දැමීම තුලින් දැනට වරායට ලැබෙන ඩොලර් මිලියන 100 ක පමණ වාර්ෂික ආදායම අහිමි විය හැක. තවද, මෙම ඉඩමේ වටිනාකම ඩොලර් මිලියන 150 ක් පමණ ඉතා අඩු මුදලකට තක්සේරු කිරීම.
 
 
 
03. මෙතෙක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ඉන්ධන ගෙන්වීම සහ පිරිපහදුව වගකීමක් ලෙස පවත්වාගෙන යාමේ කාර්යභාරයෙන් ඉවත්ව වෙනත් තරඟකාරී ආයතනයක් පිහිටුවීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම වෙනුවෙන් නීති කෙටුම්පත් කිරීම. 
 
ඒ සමගින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය දැනට ඉන්දියාවට ලබා දී ඇති බදු ගිවිසුම ඉදිරියටත් පවත්වා ගෙන යාම සහ මෙම තෙල් ටැංකි සමූහයේ බහුතර සංඛ්‍යාවක් ඉන්දියානු සමාගමේ පාලනයට අයිති වන ලෙස පිඹුරුපත් සකස් කිරීම.
 
 
 
 
ඉහත කී ආයතන වලට සම්බන්ධ වෘත්තීය සමිති රටේ ස්වෛරීභාවයට අනතුරක් මෙන්ම රටේ දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනි මේ ක්‍රියාවලියට විරුද්ධ වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර ඒ බව ඔවුන් දැනටමත් ආණ්ඩුවට දැනුම් දී ඇති බවත් එම ලිපිය මගින් වෘත්තිය සමිති නායකයන් ජනාධිපතිට  සිහිපත් කර දී තිබේ.
 
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය,  ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය, විසින් ජනාධිපති වෙත එම ලිපිය යොමු කර ඇත.
 

 

THE LEADER TV 
 
 
 

ගුරු සටන ගැන "ස"ට කේළමක්  

 

 

විමල්ට හොඳ වැඩේ 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58