බන්ධනාගාර රැදවියන් දෙදෙනකුට මාරාන්තික පහරදීම් සිදු කර ඉතාමත් දරුණු වධ හිංසාවට ලක් කළ බවට අඟුණකොලපැලැස්ස බන්ධනාගාර
නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.
 
සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පෙන්වා දෙන්නේ පහරකෑමට ලක්වුවන් දෙදෙනා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර සිටියත් පහරදීම සිදු කළ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි.
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසන පරිදි මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, අඟුණකොළපැලැස්ස නගරයේ පදිංචි ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ සහ දුලන්ත රාජපක්ෂ දෙදෙනාය.
 
  
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ බන්ධනාගාරයේදි සිදු කළ අමානුෂික පහර දිම හේතුවෙන් දුලන්ත රාජපක්ෂ මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙනි.
 
 
ඔක්තෝබර් 12 වැනි අගහරුවාදා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා සදහන් කළේ, බීමත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතදී ඇතිකරගත් ගැටුමක ප්‍රතිළුලයක් ලෙස බන්ධනාගාරය තුලදී මෙම පහරදීම සිදු කර ඇති බවයි.
 
ඔහු  පවසන පරිදි ඉකුත් 8 වැනිදා අලුයම් කාලයේදී බීමත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අඟුණකොලපැලැස්ස පිහිටි අවන්හලකට ගොස් නොමිලේ මත්පැන් ඉල්ලා තිබේ.
 
පළාත් බද වාර්තාකරුවන්ට අනුව එම අවහන්හලේ හිමිකරු වන්නේ වධහිංසාවට ලක්වූ අයකු වන අමිල කුමාරසිංහයි.
 
මුදල් නොමැතිව මත් පැන් ලබා දීම අවන්හලේ සේවකයා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව බීමත් බන්ධනාගාර නිලධාරීන් සේවකයාට පහර දී ඔහුට අයත් යතුරු පැදියක යතුර රැගෙන ගොස් තිබේ.
 
පසුදා උදෑසන එම බන්ධනාගාර නිලධාරීන් පිරිස සහ අවන්හලේ පිරිස අතර අඟුණකොලපෑලැස්ස නගරයේදී ගැටුමක් සිදුව ඇත.
 
සුදේශ් නන්දිමාල් සිල්වා පවසන්නේ එම ගැටුමේදී දෙපාර්ශවයේම පිරිස් පහරකෑමට ලක් ව ඇති බවයි.
 
ගැටුමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් අවන්හලේ පිරිසට එරෙහිව කර තිබෙන පැමිණිල්ලක් අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහ සහ  දුලන්ත රාජපක්ෂ යන දෙදෙනා ඔක්තෝබර් 9 වැනිදා පොලීසියට කැදවා තිබේ.
 
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර තිබේ. එහිදි අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනා ඔක්තෝබර්  22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
 
පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්නගෙන් විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි සහ නීතිඥ ප්‍රදීප් රාජපක්ෂ එහිදී  ඉල්ලා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්  සමඟ ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් තම සේවා දායකයන් දෙදෙනාට චෝදනා ඉදිරිපත් කොට ඇති බැවින් බන්ධනාගාර ගත කිරීමේදී ඔවුන් ගේ ආරක්ෂාව සලසන ලෙසයි.
 
නීතිඥ වරුන්ගේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය සැකකරුවන් දෙදෙනාට ආරක්ෂාව සලසන ලෙසට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාට  නියෝග කර ඇත.
 
  
සැකකරුවන් ගේ ආරක්ෂාව සදහා ඔවුන් මාතර බන්ධනාගාරයේ රදවා තබන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ නමුත් එදින මෙම රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගෙන ගොස් පහර දී ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා පවසන්නේ එහිදී සැකකරුවන් දෙදෙනා අමානුෂික ලෙස පහරදීමට ලක් කර තිබෙන බවයි.
 
"මාරාන්තික පහරදීම් වලට මේ ගොල්ලන්ව ලක් කරනවා. ඉතාමත් දරුණු වධ හිංසන වලට ලක් කරලා මේ දෙදෙනාව මේ වෙනකොට ඉතාමත්ම මරණාසන්න තත්වයට ලත් වෙලා රෝහල් ගත කරලා ඉන්නවා.  "
 
ඔහු වැඩි දුරටත් සදහන් කළේ දුලන්ත රාජපක්ෂ මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අමිල කුමාරසිංහ මාතර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
 
 
අමිලට සහ දුලන්තට ඇප
 
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ රැඳවියන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින  නීතිඥ කණ්ඩායම මෝසමක් මඟින් යළි නඩුව  ඔක්තෝබර් 11 වෙනිදා  කැඳවා  බන්ධනාගාරය තුලදී  සිදුවු පහරදීම සම්බන්ධයෙන්  අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළ බවයි.
 
එසේම ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම පරික්ෂණ අඟුණකොළපැලැස්ස බන්ධණාගාරයෙන් ඉවත් කරන ලෙසයි.
 
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් එම පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළ බව ඔවුන් වැඩි දුරටත් වාර්තා කර තිබේ.
 
 

 
THE LEADER TV 
 
උකුස්සා දෙක සූදානම් | මොණරවිලගේ ලියමන 
 
 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්