කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාටත්,
රජයේ ප්‍රධාන නීති නිලධාරියාටත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
 
 හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත්ව ඇති අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින්, පැහැර ගෙන ගොස් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින්  ගොනුකර තිබෙන රිට් පෙත්සම අද (15) වැනිදා සලකා බැලු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකාර නීතිපති සංජය ජයරත්නම්ට හා හිටපු නාවික හමුදාපතිට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසයි.
 
''මේ එකොලොස් දෙනා පැහැරගෙන ගිහින් අතුරු දහන් කිරීම ගැන නඩුවේ විත්තිකරු වසන්ත කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කරගන්න නීතිපතිතුමා ගත්තු තීරණයට වාරණ නියෝගයක් නිකුත් කරන්න කියලත්, මේ නඩුවේ අධි චෝදනා වලින් හා විත්තිකරුවෙක් ලෙස නම් කිරීමෙන්  නිදහස් කරන ලෙස කරන්නාගොඩ  කර ඇති ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්, සෙසු විත්තිකරුවන් ද සමගින් කිසිදු බාධා කිරීමකින් තොරව යුක්තියක් ඉටුවන තෙක්  නඩුව ඉදිරියට  ගෙන යන්න කියලා අපි මේ රිට් පෙත්සමෙන් ඉල්ලා සිටිනවා,'' යැයි අතුරුදහන් කළවුන්ගේ ඥාතින්වෙනුවෙන් රිට් පෙත්සම ගොනු කළ 'ජනතා නීතිඥයෝ සංවිධානයේ' විධායක සභික අචලා සෙනෙවිරත්න සඳහන් කළාය.
 
තවත් චුදිතයකු වන රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක නාවික හමුදාවේ කිසිදු පරීක්ෂණයකින් තොරව සියලු ගෞරව සම්මාන සහිතව විශ්‍රාම ගොස් තිබේ. 1987 සේවයට බැඳුනු හිටපු නාවික හමුදා ප්‍රකාශක දසනායක විශ්‍රාම ගැනීම වෙනුවෙන් සම්මාන ආචාර මුරයක්ද පැවැත්වුණු බව නාවික හමුදාව නිවේදනය කරයි.  
 
 
 
 
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට නීතිපති ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ ගොනු කළ පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ 13 වැනිදා කැඳවූ විට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා පැවසුවේ හිටපු නාවික හමුදාපතිට එරෙහිව ඇති අධි චෝදනා ඉවත් කරගන්නා බවය.
 
 යුද්ධය උත්සන්නව පැවති 2008-2009 වසර වල කොළඹ පදිංචි දරුවන් සහ ස්වාමි පුරුෂයන් ඇතුළු පිරිමින් 11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම් ගැනීම සහ අතුරුදන් කිරීම ගැන වසර 13ක විමර්ශනයෙන් අනතුරුව  චෝදනා 667 ක් සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව විත්තිකරුවන්  14 දෙනකුට එරෙහිව අධි චෝදනා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපති විසින් ගොනු කරනු ලැබුණි.
 
 
 
විත්තිකාර නාවිකයෝ
 
 
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 14 වැනි විත්තිකරුවා වන මෙම නඩුවේ නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය පූකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කොමදෝරු දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක, විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී, ප්‍රධාන සුළු නිලධාරි මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ සෙසු විත්තිකරුවෝ වෙති.
 
 Dehiwala Navy
 
 
 
කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබේ. 
 
අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක් කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී මරා දමා ඇති බවය.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
  

THE LEADER TV 
 
චිචීට ගහන්නේ බැසිල් බාප්පා ද? | The Leader TV | Gossip
 
 
 
 
අන්තිම ජාතිය ඇමතීම | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්