කෘෂිකර්මාන්තයේ වත්මන් අර්බුදය විසදා ගැනීමට එක්වන ලෙස හිටපු ආණ්ඩුකාරවරයකු කෘෂිකර්ම රසායන විද්‍යා කේෂ්ත්‍රයේ නිරත සියළු දෙනා වෙත
විවෘත ආයාචනයක් කර සිටියි.
 
'කාබනික කෘෂිකර්මයෙන් - හරිත කෘෂිකර්මයට පීල්ල මාරු කිරීම' යන ශීර්ෂයෙන් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම ආයාචනය සිදුකර ඇත්තේ, දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ය. 
 
රසායන පොහොර, කෘෂි රසායන පිළිබඳ තවමත් අවධානය යොමු කර නැති දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ කෘෂිකර්මයට, රසායන විද්‍යාව, පරිසරයට ආදරය කරන සියළුම ශ්‍රී ලංකා පුරවැසියන් වෙත යොමු කර ඇති එම  ආයාචනයේ මෙසේ සඳහන් වේ.
 
 
ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඊයේ ‘කාබනික කෘෂිකර්මන්තයේ‘ සිටි ‘හරිත කෘෂිකර්මාන්තය‘ දක්වා පීල්ල මාරුකර ඇත. ඒ අතර, කාබනික පොහොර හෙවත් චීන අශුචි පොහොර නැවත ලංකාව වෙත රැගෙන ඒමට කෘෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයුමක් සිදු කරමින් ඇත.  
 
 
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රමුඛ අමාත්‍යවරුන් ද, කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ද එක්ව ‘කාබනික වගාව‘ නාමයෙන් ඔබගේ දැනුම, අධ්‍යාපනය, වෘත්තීය, තාක්ෂණය හා ආත්ම ගරුත්වය බල්ලාට දමා ඇත.  කලිසමක්, සාරියක්, ගවුමක් ඇඳගෙන රස්සාව කළ නොහැකි තැනකට පත් කර ඇත.  
 
කිසිදු රසායනාගාර පරීක්ෂාවකින් තොරව, කාබනික ලේබල් ගැසූ ‘රතු කැට‘ පොහොර තොගයක් රට පුරා බෙදා හරිමින් ඇත. 
 
ලංකාවේ කෘෂිකර්ම නීතිය, රේගු නීතිය, නිරෝධායන නීතිය බල්ලාට දමා අත්තනෝමතිකව ක්‍රියාකර ඇත. ඒ තුලින්, ශ්‍රී ලංකා දූපතේ ජෛව විවිධත්වය අනතුරේ හෙලා ඇත.
 
 ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර‘ නාටකය ඔබ හොදින්ම දන්නේය. ලොව විශාලතම පොටෑසියම් රසායනික පොහොර නිෂ්පාදකයෙකු වන බෙලරූස් හි නිෂ්පාදන අපනයන සිදුවන්නේ ලිතුවේනියාව ය. තර්ක ජය ගත හැකි නමුත්, ජාවාරම්කාරී අත්හදාබැලීම් ආපසු හැරවිය නොහැකිය.    
 
 ඇමති සාලින්ද දිසානායක කාබනික වගාව පටන්ගත්තේ තමන්ගේ කුඹුරෙනි.   ඉතිහාසය පූරා කෘෂිකර්ම අමාත්‍ය ධූරය දරා ඇත්තේ ජනපති, අගමැති ධූරයන්ට පත් වූ පතාක යෝධයින්ය.   
 
ඩී.එස්.සේනානායක, කෘෂි විද්‍යා උපාධිධාරී ඩඩ්ලි සේනානායක, ජේ.ආර්.ජයවර්ධන, ඩී.බී.විජේතුංග, දී.මු.ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, මෛත්‍රිපාල සිරිසේන ඒ දැවැන්තයින් ය. මින්නේරිය දෙවියන් යැයි නින්දගම් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනා සී.පී.ද සිල්වා , සර් ඔලිව්ර් ගුණතිලක, කුඹුරු පනත ගෙනා පිලිප් ගුණවර්ධන, විශිෂ්ඨ කළමනාකරුවෙකු, 1970 මහා මැතිවරණයෙන් පැරදී, පොල්ගහවෙලින් උදේ කොච්චියේ උදැල්ලක් අරගෙන  තමන්ගේ කුඹුරේ වැඩට ගිය එම්.ඩී. බණඩා ඒ අතර වූවේය. 
 
ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනා නීතිඥ හෙක්ටර් කොබ්බෑකඩුව, ජේ.ආර්. ට දෙවැනි වූ ජනාධිපති අපේක්ෂකයා ය. 
 
සිරිමා රජයේ ඔටුණු නොපලන් රජු ෆීලික්ස් ඩයස් (1963), වප් මඟුල් කළ ඊ.එල්. සේනානායක, ඇමතිකමට වඩා හෘර්ද සාක්ෂිය උතුම් වූ ගාමිණී ජයසූරිය, ලලිත් ඇතුලත්මුදලි ඔටුනු නොපන් රාජ්‍ය නායකයින්ය.  
 
  
නිදහසින් පසු එදා මෙදා තුර කෘෂිකර්ම රැදුණේ එවැනි අගමැති, ජනපතිවරුන් වූ විශිෂ්ඨයන් නැතිනම්, ඔටුණු නොපැලදි රාජ්‍ය නායකයින් අතය. එබැවින්  කෘෂිකර්ම බැබලුණු අතර, ඉතිහාසයේ කවර කලෙකවත් මෙවැනි ව්‍යසනයකට මුහුණ දුන්නේ නැත. ඒ ඔවුන් බුද්ධිමතුන් වූ නිසා පමණක් නෙවා, දැනුමට බුද්ධියට, විද්‍යාවට, ස්වභාවිකත්වයට, ජෛව විවිධත්වය කළමනාකරණය කළ නායකයින් වූ නිසාය.
 
 
ඔවුන්ට මඟ පෙන්වූවේ කෘෂිකර්ම, විද්‍යා, රසායන විද්‍යා කේෂ්ත්‍ර යේ දැවැන්ත පෞර්ෂයන් වූ රාජ්‍ය නිලධාරීන් ය. අදටත්, කෘෂිකර්මයේ ගල් පිළිම ඒ දක්ෂ පරිපාලකයින්ය. සමාගම් ඒජන්තවරුන් නොව පරිපාලකයින් වූ නිසාය.  අවසන් කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාර, හෘර්ද සාක්ෂියට එකඟව අස්වීමේ ලිපිය ලියා පූල් එකට ගියේය.  
 
වසර 72 ක් ගොඩනැගුනු මේ සියල්ල අද, කෘෂිකර්මය ද සමඟ විනාශ වී යයි.  පොහොර වලට කලින් වල්නාශක අවශ්‍ය බවත්, කෘමි නාශක - දීලීර නාශක මිත්‍යව විසින් සිදු කර ඇති විනාශය කාටත් වඩා දන්නේ ඔබය.  තව මාස දෙක තුනකින් රට සාගතයට ලක්වීම වැලැක්විය හැක්කේ ඔබටමය.
 
  
වසරකට අඩු කාලයක් තුල ‘කාබනික කෘෂිකර්මය‘ – ‘හරිත කෘෂිකර්මය‘ ට පීල්ල මාරුකරන්නේ ප්‍රාදේශීය ලේකම් වරුන්ට කෘෂි නිලධාරීන්ට කන්න රැස්වීමක් තියා ගත නොහැකි පරිසරයක් නිර්මාණය වීමෙන් පසුවය.
 
 
කෘෂි වෘත්තිකයින්ට, අධ්‍යාපනඥයින්, කථිකාචාර්යවරුන්, උපාධිධාරීන් ලෙස ඔබ මුහුණ දෙමින් ඇති අර්බුදය පිළිබඳ ජනතාවට අවබෝධයක් ඇත. මෙවන් ඛෙදවාචකයක් කිසිදු උගතෙකු, බුද්ධිමතෙකු, වෘත්තිකයෙකුට හිමි නොවිය යුතුව ඇත. තර්කයෙන් ඛෙදවාචකය වසා ගත නොහැකිය.
 
ලංකා කෘෂිකර්මාන්තයේ මරණ සහතිකය ලියන්නට කිසිවෙකුට ඉඩ ලබා නොදීම අප සැමගේ වගකීමකි.  පරිසර යුක්ති කෙන්ද්‍රය විසින් කාබනික ලේබලයෙන් චීන අශුචි රටට ගෙනඒමට විරුද්ධව අභියාචනාධිකාරණයේ රිට් නඩුවක් (CA WRT 476/21) පවරා ඇත.   
 
සිහි බුද්ධියක් ඇති සියළු දෙනා මේ ව්‍යසනය හදුණාගෙන ඇති බවත්, එයට එරෙහිව හඬ නගන බව පැහැදිලිය.  අපි සැම එක්ව එම වගකීම ඉටු කරමු.  
 
නමුත්, එයට රැකියාව ලෙස මුහුණ දෙන,  කෘෂිකර්මය, රසායන විද්‍යා, ජීව විද්‍යා විෂයානුබද්ධ දැනුමෙන් සන්නද්ධ පිරිස ඔබලා වෙති.  මේ විෂය සම්බන්ධයෙන් විෂයානුබද්ධ අදහස් දැක්වීමකට, විකල්ප ඉදිරිපත් කිරීමේ හැකියාව ද, වගකීම ඇත්තේ ඔබ අතේය.
 
අද කෘෂිකර්මාන්තය ගිලගනිමින් සිටින ව්‍යසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත්, විෂයානු බද්ධ කරුණු ඉදිරිපත් කිරීම තුලින් ද, වැරදි පෙන්වා දෙමින් සාධාරණ විවේචනයකට යොමු වන ලෙසත් ඔබට ඇරයුම් කරමි. ආයාචනා කරමි.
 
  
ඉතිහාසය පුරා කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ අර්බුද ජයගත් ලෙසම රටක් ලෙස අප මේ අවසනාවන්ත, අභාග්‍ය සම්පන්න යුගය ජයගැනීමට එක්වෙමු.
 
 
1. කාබනික ලේබලයෙන් සාමන්‍ය වෙළෙඳපොල මිලට වඩා දෙගුණයකට වැඩි මිලකට රසායන පොහොර/කෘෂි රසායන ගෙන්වීම.
 
2. සිව්වන වරටත් රසායනාගාර පරීක්ෂණය අසමත්, චීන අශුචි පොහොර නැව රටට ගොඩබෑමට දරණ උත්සාහය
 
3. ගජමිතුරු සමාගමකට කෘෂි රසායන ගෙන්වීමේ ඒකාධිකාරය ලබාදීමේ උත්සාහය,
 
4. නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන කළු කඩ වෙළදාම වැලැක්වීම
 
5. නිදහස් වෙළදාම වලක්වා පොලීම් ඇති කිරීම තුලින් ගොවියා කෘෂිකර්මයෙන් ඉවත් කිරීම ඒ අතර ප්‍රමුඛ වේ.
 
6. කිසිදු ප්‍රමිතියකින් තොර, පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතියක් නැති ‘කාබනික ලේබලය සහිත‘ දේශීය නිෂ්පාදන රට පුරා සංසරණය වීම
 
7. නීති විරෝධී කෘෂි රසායන රට පුරා රහසේ අලෙවි කිරීම
 
8. එයට අමතරව කෘෂිකර්ම ව්‍යාප්ති සේවයේ බිඳ වැටීම, පර්යේෂණ ආයතන වෙත පහසුකම් ලබා නොදීම, විශේඥ උපදෙස් නොතකා හැරීම, හරිතාගාර ඇතුළු නූතන කෘෂිකර්ම ව්‍යවහාරයන් අකර්මන්‍ය කිරීම, අධි තාක්ෂණික කෘෂිකර්මය විනාශ කිරීම ඇතුළු ප්‍රශ්න දිනෙන් දින උත්සන්න වෙමින් තිබේ.
 
 
 
මේ සියල්ල පිළිබඳ සංවාදයක් ඇති කිරීම සහ විකල්ප යෝජනා කිරීම තුලින් කෘෂිකර්මාන්තයේ වත්මන් අර්බුදය විසදා ගැනීමට එක්වන ලෙස ඔබට ආයාචනා කරමි.  ‘කාබනික කෘෂිකර්මය‘ හෝ ‘හරිත කෘෂිකර්මය‘ ලේබලනයන් ව්‍යවසනය පරාජය කළ හැක්කේ එවිට පමණී.
 
 
ස්තුතියි,
 
Rajithරජිත් කීර්ති තෙන්නකෝන්
දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්