තවත් ඉන්දියානු ධීවරයකු මරා දමමින්, ධීවර ජීවිත සමඟ සෙල්ලම් කරන බවට චෝදනා එල්ල වන

ශ්‍රී ලංකා නාවික හමුදාව හෙලා දකිමින් තමිල්නාඩු ධීවර ජනතාව විරෝධතා පවත්වා තිබේ. 

rajikaranශ්‍රී ලංකා නාවික හමුදා බෝට්ටුවක් ඉන්දීය ධීවර යාත්‍රාවක හැප්පීම නිසා එහි ගමන් ගත් තරුණ වෘත්තීය සගයකු මේ සතිය මුලදී මිය ගොස් ඇති බව පවසන තමිල්නාඩු ධීවර සංගම් ඉන්දීය රජය මෙම ප්‍රහාර වැලක්වීමට මැදිහත් විය යුතු බවට බලකර සිටී.
 
 “ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන්ට නීති විරෝධී විදියට පහර දීලා මරාදාන්න හදනවා,” යි තමිල්නාඩු යාන්ත්‍රික බෝට්ටු ධීවර සංගමයේ සභාපති එම් අසාන් මොහිදීන් පවසයි.
 
“මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. දැන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙඩි තියන්නේ නැතිව අපේ ධීවරයන් මරන්න වෙන ක්‍රම පාවිච්චි කරනවා. මහ ආණ්ඩුවයි, තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවයි මේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉහල මට්ටමින්ම ප්‍රශ්න කරන්න ඕනේ.”
 ධීවරයෝ තමිල්නාඩුවේ පුදුකෝට්ටෙයි දිස්ත්‍රික්කයේ කෝට්ටේයිපට්ටනම් හි අඟහරුවාදා පෙළපාලි යමින් පාර හරස් කරමින් තම කෝපය පලකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
  
මරණයට පත්ව ඇත්තේ ධීවර යාත්‍රාවේ හිමිකරු 30 හැවිරිදි රජීකරන් ය.
 
 ඔහු සමග මුහුදට වැටුණු 32 හැවිරිදි ආරෝක්‍යා ක්ෂේවියර් සහ සුගන්තන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩගෙන මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගෙන තිබේ. 
 
 RS
ආරෝක්‍යා ක්ෂේවියර් සහ සුගන්තන්
 
 
 
රජීකරන්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කන්කසන්තුරේට යවා ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇති බව තමිල්නාඩුවේ, පුදුකෝට්ටෙයි සහකාර ධීවර අධ්‍යක්ෂ එම්. චින්නකුප්පන් ඉන්දීය මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
 
කයිට්ස් මහේස්ත්‍රාත්වරිය විසින් ඔක්තෝබර් 20 දහවල් කන්කසන්තුරය වරායේදී මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර, එම ස්ථානයට යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී හා යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරල් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගී වී සිටින ලදැයි නාවික හමුදාව පවසයි.
 
“හදිසි මරණ පරීක්‍ෂණයෙන් පසුව, අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘත දේහය යාපනය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදාව විසින් සිදුකළ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම මෘත දේහය සොයා ගැනීමෙන් පසු මේ වන විට අවසන් කර ඇත,” යි නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
 
 indian
 තමිල්නාඩු ධිවරයින් විරෝධතාවයේ...
  
අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් යාත්‍රාව අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ලංකා මුහුදු සීමාවට ඇතුල් වී තිබෙන බව පෙන්වා දෙන තමිල්නාඩු ධීවර නායකයෝ ශ්‍රී ලංකා නාවික හමුදාව “චන්ඩි රැලක්” ලෙස  හැසිරෙන බවට චෝදනා කරති.
 
“පසුගිය දවස් කීපයේම කුනාටු තත්වයක් නිසා මුහුද වෙනදාට වැඩිය රළුයි. ඒ හින්දා අපේ ධීවරයෝ නොදැනුවත්වම ලංකා මුහුදට ගහගෙන ගිහින්. ඒක තේරුම් ගියාම ආපහු හරවාගෙන එනකොට නේවි බෝට්ටුව මාළු බෝට්ටුවේ හප්පලා ගිල්ලුවා. එන්න එන්නම ශ්‍රී ලංකා නාවික හමුදාවේ හැසිරීම දරුණු වේගෙන එනවා. ඒගොල්ලෝ හැසිරෙන්නේ චන්ඩි රැලක් වගේ මිසක් ශිෂ්ට සම්පන්න නිල හමුදාවක් වගේ නොවේ,” යි  තමිල්නාඩු ධීවර සමිති නායක බෙන්සින්ලාස් ජේසුරාජා මෙම මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව හෙලා දකිමින් පවසයි.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ ලංකා සාගර කලාපයට ඇතුල්වූ ඉන්දීය යාත්‍රාව නාවික හමුදා යාත්‍රා දැකීමෙන් බියපත්ව පලා යාමේදී කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ දී නාවික හමුදා යාත්‍රාවේ හප්පා ගිලී ගිය බවයි.
 
“මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා නාවික හමුදා යාත්‍රා මඟහැරීමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් මුහුදේ පැවති රළු මුහුදු ස්වාභාවය ද හේතුකොටගෙන සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇත,” යි නාවික හමුදාව නිවේදනය කර ඇත.
 
 
ලංකා මුහුදු සීමාවට පැමිණි ඉන්දීය ධීවර බෝට්ටුවකට නාවික හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ධීවරයන් සිව් දෙනෙකු ඉකුත් ජනවාරියේදී මිය ගොස් තිබේ. 
 
  
“ඒ වෙලාවේ ලංකාවේ ආණ්ඩුව පොරොන්දු උනා විභාගයක් තියලා වෙච්චි දේ ගැන අපිටයි ඉන්දීය ආණ්ඩුවටයි විස්තර දෙනවා කියලා. අද වෙනතුරු මුකුත් වෙලා නෑ. අපි ඉන්දියන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ගැනත් පරීක්ෂණයක් පවත්වන්න කියලා දැඩි පණිවිඩයක් යවන්න කියලා. බඩවියත රැකගන්න සටනක යෙදී ඉන්න අපේ ධීවරයන් මරා දැමීම කිසිසේත් අනුමත කරන්න බෑ,” යි තමිල්නාඩු ධීවර නායක ජෙසුරාජා සඳහන් කරයි.
 
මේ අතර ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා මසුන් මැරීමට යන විට ලංකාවට අයත් මුහුදේ දී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තමිල් නාඩු පොලිසිය මීට ඉහතදී ඉන්දීය ධීවරයන්ට අනතුරු ඇඟවීම් කර ඇත. 
 
ට්‍රෝලර් යාත්‍රා කිරීම නිසා `තලෙයි මන්නාරම් හා රාමේස්වරම් අතර මුහුදු තීරයේ බහුලව වෙසෙන ඩොල්පින්, නිල් තල්මසුන් හා කැස්බෑවන් වැනි මුහුදු ජීවින්ට හානි විය හැකි බවටද` පොලිසිය අවවාද කර තිබේ. 
 
 
තමිල්නාඩු දේශපාලනඥයින් පෙන්වා දී ඇත්තේ ඉන්දීය හා උතුරේ ධීවරයන් අතර නිරන්තරෙන්ම ගැටුම් ඇතිවන කච්චතිව් දිවයින ශ්‍රී ලංකාවට පවරා දීමෙන් පසුව බවයි.
  
1974 පැවැති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් කච්චතිව් දුපත ශ්‍රී ලංකාව යටතට පවරා ගැනීමට පෙර දෙරටේම ධීවරයන්ගේ දැල් වියලීම ඇතුළු සෙසු දෑ වෙනුවෙන් යොදා ගත්තද, අද වන විට ඉන්දීය ධීවරයන්ට එම පහසුකම් අහිමි වීම නිසා `කච්චතිව් නැවත පවරා ගන්නා ලෙස` තමිල්නාඩු දේශපාලඥයන් ඉල්ලා සිටින බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
 
පසුගිය 13 වැනිදා පේදුරුතුඩුවේ දී  `ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ රඳවා සිටින ධීවරයින් 23 දෙනා නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වන්නැයි`  සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සම්බන්ධීකාරක සහ තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති ඕ. පන්නිර්සෙල්වම් ලිපියක් මගින් අගමැති මෝදිගේ අවධානය යොමු කර තිබේ.
 
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයන් වෙත එල්ල වන ප්‍රහාරයන් මෙන්ම ඉන්දීය ධීවරයන් විසින් උතුරේ ධීවරයන්ට එරෙහිව පහර දීම් හා දැල් ආම්පන්න විනාශ කිරීම් රැසක් ගැන ඉකුත් කාලය තුල වාර්තා වී තිබේ.
 
 
ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණෙන ඉන්දීය ධීවරයන් තම මුහුදු සම්පත් කොල්ලකන බවට චෝදනා කරමින්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවට බල කරමින් ඉකුත් 17 වැනිදා  උතුරේ ධීවරයන් විරෝධතා දැක්වුයේ මුලතිව් සිට බෝට්ටු පෙළපාලියකින් පේදුරුතුඩුව දක්වා යාත්‍රා කරමින්ය.
 
  
විරෝධතාවය සංවිධානය කරනු ලැබූ දෙමළ ජාතික සංධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පේදුරුතුඩුවේ පැවැති ජන හමුවේදී කියා සිටියේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණීම වැලක්වීමට පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පනත ක්‍රියාත්මක කරන ලෙසයි.
 
 ``ලංකාවේ ආණ්ඩුවේ ධීවර ඇමතිවරයා මේ ට්‍රෝලර් තහනම් කරන්න පියවර ගන්නේ නැහැ. අපිට ආරංචි විදිහට මේ නීති විරෝධී ට්‍රෝලර් යාත්‍රා වලින් දවසකට රුපියල් 5000ක් ගන්නවා කියලා, මේ වගේ හොර වැඩ කරන්න එපා. අපේ ධීවරයන් වෙනුවෙන් පනත ක්‍රියාත්මක කරන්න,`` යැයි ද මන්ත්‍රීවරයා එහිදී ඉල්ලා සිටියේය.
 
ලංකා මුහුදේ ට්‍රෝලර් යාත්‍රා මගින් මසුන් මැරීම තහනම් කරමින් 2016 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකඟතාවක් ගොඩ නැගුනු අතර 2017 වසරේ ඒ සම්බන්ධයෙන් පනතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
 

 
 
 
සබැඳි පුවත :
 

 


 

THE LEADER TV 
 
 
ලොන්තපෝල් ඩීල් ලාන් | මොණරවිලගේ ලියමන
 
 
 
ජනාධිපතිගේ විශේෂඥ වෛද්‍යවරයාට වෙච්ච දෙයක් !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්