1200 x 80 DMirror
 
 

 රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා ඒ බව පැවසූවේ වසර 16කට පෙර ආරම්භ කළ කාබනික ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ  (23) පැමිණ සිටි අවස්ථාවේදීය.
 
“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. 
 
මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්වය වැඩි කරන්න.” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගිය කාලයේ සහල් අලෙවි සැල්වෙත යමින් සහල්වල මිල විමසමින් සහල්වල පාලනයට යැයි පවසමින් විවිධ පාලන මිල ගණන් සඳහන් කරමින් ගැසට් නිවේදන නිකුත් කළේය. 
 
කෙසේ වෙතත් මේ වනවිට සියලුම සහල් වර්ගවල මිල පාලනයද ඉවත් කර ඇත. 
 
එමෙන්ම ජනාධිපතිවරයා වරෙක ජාතිය අමතමින් පරිප්පුවල මිල අඩු කළ අතර පසුව දින කිහිපයකදී යළිත් එම මිල සංශෝධනය කරමින් පරිප්පු මිල ඉහළ දමන ලදී.
 
 
 

 

 
 
ජනාධිපතිවරයාගේ 'වෙනස' ගැන අනුර කියන කතාව :
 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ ඊයේ  (23) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියේ, ජනාධිපතිවරයාගේ වෙනස රට විනාශකාරීත්වය වෙත රැගෙන යන බවයි. 
 
“ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ඔහු බලය ගත්තේ වෙනසක් සඳහා කියලා. යහපත සඳහා වෙනස්කම් කළ හැකියි. ඒ වගේම විනාශයක් සඳහා වෙනසක් කළ හැකියි. ජනාධිපතිවරයා කරමින් තිබෙන වෙනස විනාශකාරිත්වයක් සඳහායි. එහි විශාලතම බලපෑම විනාශකාරීම ප්‍රවේශය අත්පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට සහ රටේ ආහාර සුරක්ෂිතභාවයටයි. 
 
 
''පහුගිය අප්‍රේල් 28වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළා රසායනික යෙදවුම් නතර කරන්න. මැයි මාසයේ 06වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළත් කිසිදු වැඩපිළිවෙළක් සැලැස්මක්, ඇතිවිය හැකි විනාශය ගැන කිසිදු සොයාබැලීමක් නොකර තමයි මේ තීන්දු ගත්තේ. ඒ නිසා ගොවියෝ ගොවිතැන අත්හැරදමලා.''
 
 පහුගිය දිනවල ගොවි ජනපද වල කන්න රැස්වීම් කළහකාරී තත්වයන් ඇති වුනා. ගොවියෝ දහස් ගණනක් මෙම ප්‍රශ්නය කේන්ද්‍රකරගෙන උද්ඝෝෂණ කරමින් ඉන්නවා.” යැයි අනුර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 
 
 
''එක කන්නයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි''
 
 
 
“ආණ්ඩුව මේ තීරණය ගන්නකොට කිව්වේ රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කරනවා කියලයි. මැයි මාසයේ තීරණය කරලා ඔක්තෝබර් වනවිට 100%ක් කාබනික වගාවන් සඳහා පොහොර දෙනවා කියන්නේම අසාර්ථක උත්සහයක්. 
 
මොකද රසායනික යෙදවුම්වල සිට කාබනික යෙදවුම් දක්වා වෙනස් වීමේදී සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එය එක කන්නයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි නිතරම කිව්වා. ඒ අතර රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත්වුනා. මිලදී ගත් කාබනික පොහොරවල අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු නැති බවත් ගල්කැට, පස් අඩංගු බවත් ගොවියෝ මැසිවිලි නගනවා.”
 
 
 
කාබනික පොහොර ආනයනය:
 
“ඉන්පසුව ආණ්ඩුව තීරණය කළා කාබනික පොහොර ආනයනය කරන්න. රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. 
 
ඒ අනුව තමයි පහුගියදා මෙ.ටො. 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.
 
 
අපේ රට දූපතක්. ඒ නිසා අපේ රටට ආක්‍රමණකාරී ශාඛ සහ සතුන් ඇතුල්වීම වළක්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් 1999 සංශෝධනය කරන ලද ශාඛ නිරෝධායන පනත තිබෙනවා. ශාඛ නිරෝධායන ආයතන මගින් චීනයෙන් ගෙන්වීමට තිබූ කාබනික පොහොර තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර ජීවීන් සිටින බැවින් ආනයනය නතර කළා.
 
 
 නමුත් අමාත්‍යවරයා පෙනී සිටියේ තමන්ගේ දැනුම ඥාණය භාවිතා කර පරීක්ෂණ සිදුකළ ආයතනය හෝ නිලධාරීන් වෙනුවෙන් නොව චීන සමාගම වෙනුවෙන්. 
 
සාම්පල පරීක්ෂාවටත් පෙර නැව චීනයෙන් පිටත් වුනා. ඉන්පසුව නැව ආපසු හැරවූ බව ආන්දෝලනයකට ලක්වුනා. නමුත් ඔක්තෝබර් 22 කින්ඩාවෝ සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, චීනයේ සහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට ඇතුළු කණ්ඩායමකට ලිපියක් යොමුකර කියනවා කොළඹ වරායට 22වෙනිදා වනවිට නැව ළඟාවෙනවා කියලා. 
 
''මෙය බලහත්කාරී කඩාපැනීමක්. අපේ රටට භාණ්ඩ ආනයනය තීරණය කරන්නේ අපේ රටේ බලාධිකාරිය. චීන සමාගමට එය තීරණය කරන්න බැහැ. අපේ රටේ ශාඛ නිරෝධායන සේවාව වගකියන්නේ චීන සමාගමට නෙවෙයි.''
 
ඒ වගේම මේ කාබනික පොහොර පරීක්ෂාව ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරිදි සිදුවෙලා නැහැ කියලා චෝදනා කරනවා. අපේ රටේ ශාඛ නිරෝධායන සේවාව වගකියන්නේ අපේ රටට මිස චීන සමාගමට නෙවෙයි. 
ඇමතිවරු ජනාධිපති චීන සමාගමට වගකියනවා. තුන්වෙනි පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ යුතුයි කියලා එකඟතාවයට ආ බව කියනවා. එවැනි එකඟතාවයකට ආවේ කවුරු සමඟද කියලා කින්ඩාවෝ සමාගම සහ චීන තානාපති කාර්යාලය රටට කියන්න ඕනෑ. 
 
 
 ඒ වගේම එම සමාගම එවන ලද ලිපියේ මහ කන්නය සඳහා පොහොර හිගයක් ඇති නිසා මෙම පොහොර තොගය බාරගන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. අපේ රටේ ප්‍රශ්න රටේ පාලනාධිකාරිය විසඳිය යුතුයි. චීන සමාගම ඒ ප්‍රශ්න විසඳන්න මැදිහත්විය යුතු නැහැ. ඒ නිසා අපේ රටේ නීති නොසලකා චීන නෞකාය කොළඹ වරායට ඇතුළුවීමට දරණ උත්සාහය වහා නතර කළ යුතුයි.”
 
 
 
''අපි ඔහුට ස්තුතිය පළකරනවා''
  
“මෙම නෞකාව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා ලෙසත් ඒ අවට නැංගුරම්ලා තබා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට ඇති බලතල අනුව වරාය සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පළකරනවා. 
 
වරායේ හාබර් මාස්ටර් ලිඛිතය දැනුම් දී තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නැව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා බව. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගත් තීන්දුව ආපසු හැරවීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා.
 
 මොකද මේ පාලනය විසින් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවට අත්කර දී ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්. විනාශකාරී ක්ෂද්‍ර ජීවීන් අපේ රටට ඇතුප්වීමෙන් අපේ රටේ ජෛව පද්ධතියම කඩාවැටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා චීන තානාපති කාර්යාලයත් කින්ඩාවෝ සමාගමත් මේ කරන බලපෑම් නතර කළ යුතුයි.”
 
 
නැනෝ යූරියා ආනයනය:
 
 
 
“අනතුරුව ආණ්ඩුව තීරණය කළා නැනෝ යූරියා ආනයනය කරන්න. ඒ වගේම පළමු වතාට ගුවන් යානයක් මගින් නැනෝ යූරියා ලංකාවට ගෙනාවා. එය පිළිගැනීමට ඇමතිවරු ගණනාවක් ගුවන්තොටුපලට ගියා. මෙය ලංකාවේ මීට පෙර භාවිතා නොකරන ලද නිසා දේශගුණික කළාප සහ බෝග වර්ග යොදාගෙන සාම්පල පරීක්ෂාවක් කළ යුතුව තිබෙනවා.
 
 අපිට ලැබී තිබෙන වාර්තා අනුව මෙය ජූනි මාසයේ තමයි පරීක්ෂණ අවසන් කර ඉන්දියාවේදී වගාවලට යොදවා තිබෙන්නේ. අගෝස්තු මාසයේ ඉන්දියාවෙන් අපනයනයට අවසර ලැබී තිබෙන්නේ.
 
 ඒ නිසා නැනෝ යූරියා ගෙන්වීම විශාල ව්‍යාකූලත්වයක් ඇතිකර තිබෙනවා. එනිසා මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය, ගොවි ජනතාවගේ ආදායම් මාර්ග සහ අපනයන ආදායමෙන් 25%ක ප්‍රතිශතයක් දෙන ක්ෂේත්‍රයක් සමගයි.” ජවිපෙ නායකයා වැඩිදුරටත් කියා සිටියේය. 
 
 

 
 
THE LEADER TV 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58