චීන කාබනික පොහොර රැගත් නැව චීනයෙන් පිටත්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වාණිජ්‍ය බලපත්‍රයක් ලබා නොගෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (ඔක්. 27) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ ය.
 
ලංකා පොහොර සමාගම චීන සමාගමට මේ පිළිබඳව ඊමේල් මඟින් දැනුම් දී ඇති බව ඔහු පවසයි.
 
මෙම පොහොර සමාගමට අසාධාරණයක් වී ඇතැයි චීන තානාපතිවරයා ලියුමකින් දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේ ය. තමා තානාපතිවරයා හමුවට ගියේ සිදුව ඇති දෙය පැහැදිලි කිරීමට බව අමාත්‍යවරයා පවසයි.
 
"පැහැදිලි කරාට පස්සේ අපි දෙපාර්ශවය අතර ආපු එකඟතාවය තමයි, අපි කිව්වේ නැවතත් මේ නෞකාව ආපහු මවු සමාගමට ගිහිල්ලා, අවශ්‍ය [වෙනස්කම්] ටික හදලා, හරි නියමයකට අනුව තියනවා නම් ඒගොල්ලන්ට පුළුවන් මධ්‍යස්ථ, ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දීලා ටෙස්ට් කරලා, හැබැයි අපි අපේ ලැබ්ස් වලත් ටෙස්ට් කරලා, නැවත අපට අවශ්‍ය පොහොර ටික එනවා නම් අපට ගන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
 
මෙරට නිර්ණායකවලට අදාළ නොවන පොහොරක් තමන් ලබා නොගන්නා බව ඔහු කියා සිටියේ ය. 
 
එසේම, මහජන බැංකුව අසාධු ලේඛනගත කිරීමට බලපෑම් කිරීමේ හැකියාවක් කින්ඩාඕ සමාගමට නැතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
 
"මෙතන වෙලා තියෙන්නේ, තේරුම්ගන්න, එයාලා ප්‍රධාන සමාගමක්. ඒගොල්ලන්ට විශ්වසනීයත්වය ගැන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉතින් විශ්වසනීයත්වය රැකගන්න ඕනේ වචන ඒගොල්ලෝ පාවිච්චි කරයි. ඒ නිසා මට දෙන්න පුළුවන් සහතිකේ, අපි මේ නැව ගන්නේ නෑ! මේ පොහොර නැව ගන්නේ නෑ, එච්චරයි!" ඔහු පැවසුවේ ය.
 
 
 
 
ඒ අතරේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ, දැනට මෙරටට ගොඩ බෑම වළක්වා ඇති හානිකර බැක්ටීරියා අඩංගු බව කියන චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර යළි පරික්ෂා කිරීමට එකඟ වූ බව ය.
 
ඒ අනුව පොහොර පරීක්ෂා කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට බාර දී, ඉන්පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකදී ඔක්තෝම්බර් 26 වනදා පැවසීය.
 
 
චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd)' නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරන ලදී.
 
 
 
 
එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇත.
 
චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගමට මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබිණ.
 
චීන සමාගමෙන් මිලදී ගැනීමට නියමිත කාබනික පොහොර සාම්පලයන්හි අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම නිසා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ස්ථාවරය වී තිබුණේ නැවට මෙරට වරායකට ඇතුළුවීමට හෝ පොහොර රට තුළට ගෙනඒමට ඉඩ නොදිය යුතු බවය.
 
නමුත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද, අමාත්‍යාංශ ලේකම්වරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් හමුවී සාකච්ඡාකර පවත්වා ඇත.
 
සාකච්ඡාවේදී එකඟතාව පළවී ඇත්තේ දෙපාර්ශ්වය එකඟවන පාර්ශ්වයකින් යළිත් පොහොර සාම්පල පරීක්ෂා කිරීමටය.
 
"ඒගොල්ලන් ඉල්ලීමක් කළේ, අපේ රටේ තියන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බැහැ, මොකද ඇක්‍රෙඩිටට් ඒවා නෙවෙයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය.
 
"එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි, ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා මෙහේ බාන්නත් එපා, මෙහේ ගේන්නත් බෑ කියලා ඉල්ලීමක් කළා. මේක ලෝකයේ රටවල් ප්‍රධාන ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16 කට පොහොර ගෙනියන පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව අපට අවබෝධයක් ගන්න කියලා. අපි කිව්වා. අපි දෙගොල්ලොම කැමති වෙන තුන් වෙනි පාර්ශ්වකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා ඊට පස්සේ අපි තීරණයක් ගමු කියලා."
 
 
 
 

රජයේ ස්ථාවරය:
 
මේ අතර කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට රජය සූදානම් නොමැති බව පැහැදිලිව දැනුම් දී ඇති බවය.
 
"ප්‍රමිතියෙන් අඩු මෙම තාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුළු කිරීම වලක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා, නිහාල් කැප්පිටිපොල මහතා දැනුම්දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුළත් කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර බාරගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිව මේ වන විට අපි දැනුම් දීලා තියෙනවා."
 
චීන සමාගම ප්‍රකාශයක් නිකුත් කරයි:
 
 
 
මේ අතරේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම නිවේදනය කරන්නේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස් සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවය.
 
 
ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන ලදී.
 
සාම්පලවලත් අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත්, සැපයුම්කරු පොහොර තොගය කොන්දේසි විරහිතව ආපසු රැගෙන යන බව චීන සමාගම පවසයි. අර්වීනියා නැතැයි තහවුරු වුවහොත්, කොන්දේසි විරහිතව මුදල් ගෙවා පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද කින්ඩාඕ සමාගම අවධාරණය කරයි.
 
මේ පිළිබඳව මාධ්‍ය හරහා පළ වී ඇති අසත්‍ය හා අපහාසාත්මක වාර්තා හා විවේචන විමර්ශනය කිරීමටත්, ඒවාගේ නීතිමය වගකීම සොයා බැලීමටත් සැපයුම්කරු ලෙස තමන්ට හිමිකමක් ඇති බව ද එම සමාගම ප්‍රකාශ කර ඇත.
 
චීන පොහොර සමාගම තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ටෙන්ඩර ලියකියවිලිවල යම් යම් තාක්ෂණික දෝෂ ඇති අතර තමන් පැනනැගී ඇති ප්‍රශ්නය විසදාගැනීම සඳහා සාකච්චා කිරීමට කැමති බවය.
 
 
ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය:
 
 
ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායනය සේවය සියලු ආකාරයේ විද්‍යානුකූල පරීක්ෂණ මඟින් අර්වීනියා වර්ගයේ හානිකර බැක්ටීරියා සහ බැසිලස් විශේෂ මෙම පොහොර සාම්පලවල ඇති බව හඳුනාගෙන ඇති බවය.
 
ප්‍රශ්නගත චීන කාබනික පොහොර රැගත් නෞකාවේ පොහොර සාම්පල පරීක්ෂාව පිළිබඳ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේ ය.
 
මෙම පරීක්ෂණ වාර්තා කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි බව ඔහු අවධාරණය කළේ ය.
 
 
 
කින්ඩාඕ චීන සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්...
 
 
 
සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට, සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් ඔක්තෝබර් 26 වැනිදා තවත් වාරණ නියෝගයක් ගනු ලැබිණ.
 
කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු නොවන ලෙස අදාළ වාරණ නියෝගය නිකුත් කෙරිනි.
 
 
 
 Screenshot 2021 10 27 at 7.50.12 PM
 
 
ලංකාවේ චීන තානාපති කාර්යයාලය කින්ඩාඕ සමාගමෙන් නිකුත්කළ ලිපිය පළකර ඇත.
 
චීන සමාගම සහ එහි දේශීය නියෝජිතයා ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබාගැනීම ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කළේ ය.
 
පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් විය.
 
ආචාර්ය චාරුක ඒකනායක, රජයේ අධි නීතිඥ ශෙහාන් සොයිසා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විශ්නේෂ්වරන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි යන නිලධාරීහු පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.
 
ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද, නැව්ගත කළ තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස් වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා සිටින ලදී.
 
 
 
ජාතික ශාක නිරෝධායන සේවය තමා වෙත ලැබුණු නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබේ. මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසකි.
 
 
පොහොර තොගය ආනයනය කෙරෙන්නේ කොටස් වශයෙන් වන අතර මේ වන විට එහි නැව් ගතකර ඇති පළවෙනි පොහොර තොගයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9.1ක් වන අතර, එම තොගය චීනයෙන් නැව්ගත කළ විට එහි වටිනාකමෙන් 75%ක් ගෙවීමට ණයවර ලිපියේ කොදේසි වල සඳහන බැවින් මේ වන විටත් ශ්‍රී ලංකා රජය එම කොටස සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.83ක් ගෙවා තිබේ. ඉතිරි 25% පොහොර තොගය ගොඩබෑ විට ගෙවීමට නියමිත ය.
 
 
 
 
 121238942 248642159 882966042612316 839239437968396786 n
                සමාජ මාධ්‍ය ජාලවල පළවූවකි.
 
 
 
පොහොර අර්බුදය හා මහාචාර්ය බුද්ධි මාරඹේ
 
 
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කළ බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.
 
නිවේදනයට අනුව, මහාචාර්ය බුද්ධි මාරඹේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන්, සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කර ඇත.
 
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය: "ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.
 
"මහාචාර්ය මාරඹේ රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි.
 
මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
 
"මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබිණ. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මාරඹේ මහතා දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇත. මීට අදාළ අමාත්‍යවරයාගේ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත."
 
කෙසේ වෙතත් මහාචාර්ය බුද්ධි මාරඹේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් තමාව ලිඛිතව දැනුවත් කර නොමැති බවය.
 
"මම කෘෂිකර්ම අමාත්‍යංශය හා සම්බන්ධ කිසිදු ආයතනයක රැකියාවක නිරත වන නිලධාරියෙක් නෙවෙයි. ගිය වසරේ දෙසැම්බර් මාසය වනකොට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මට ආරාධනයක් ලැබුණා ඇත්තටම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නිර්මාණයක් කරලා තියෙන වෙලාවේ, ඒ කමිටුවේ සාමාජිකයෙක් හැටියට සේවය කරන්න කියලා."
 
"ඉතින් අපිට භාර දීලා තියෙන රාජකාරිය වන්නේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවශ්‍යය කරන කෙටුම්පත සම්පාදනය කරලා ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා කිසිදු ලිඛිත ලියවිල්ලක් ලැබිලා නෑ ඒ සම්බන්ධව මාව කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා. ඇත්තටම මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන කමිටුව ගිය මාසයෙන් ඉවරයි. එතකොට මේ මාසේ මාව ඉවත් කරනවාද නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නෑ."
 
ගොවි විරෝධතා අඛන්ඩව:
 
 
 
චීන කාබනික පොහොර ගෙන්වීම පිළිබඳ අර්බුදය මෙලෙස පවතිමින් තිබියදී මහ කන්නයේ ගොවි බිමේ සිටිය යුතු ගොවීයෝ තවමත් උද්ඝෝෂණවල නිරත වෙති.
 
පොළොන්නරුව ඇළහැර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 41ක ගොවීන් ආරම්භ කළ උපවාසයේ සිව්වන දිනය අදයි (ඔක්තෝම්බර් 27). බකමූණ මංසන්ධිය අසල අට්ටාලයක ඔවුන් උපවාසයේ නිරත වේ.
 
පොහොර ගැටලුව නිසා මේ දිනවල වගා කටයුතු සිදු නොවන බැවින් ජලය අපතේ යන බව ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
 
 
(BBC සිංහල සේවය)
 
 
                              THE LEADER TV 
 
 
හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්