ජනාධිපතිවරයා විසින් “එක් රටක් එක් නීතියක් සඳහා” යනුවෙන් පත් කර ඇති කාර්ය සාධක බළකාය දෙමළ ජනතාවට
ඊළම කරා යන්නට පාර කැපීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පෙන්වා දී තිබේ.
 
'' බොදු බල සේනා ප්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් දහ තුන් දෙනා අතරට එකදු දෙමළ ජාතිකයෙකුවත් පත් නොකිරීම මගින් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයා මෙරට පුරවැසියන් නොවන බවට ආණ්ඩුවේ ආකල්පය බව,'' යැයි දෙමළ ජනතා පක්ෂයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්. කේ. සිවාජිලිංගම් පවසයි. 
 
එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බළකාය පිහිටුවීමේ අති විශේෂ ගැසට් නිවේදනය
නිකුත් කිරීමෙන් අනතුරුව පසුගිය දා වැල්වැටිතුරේ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් ''මේ කාර්ය සාධක බළකාය මගින් අපි මේ රටේ පුරවැසියන් නොවේ කියලා පෙන්නලා අපිට මේ ගොල්ලෝ කියන්නේ ඊළමක් හදා ගන්න කියලද?'' යැයි ප්‍රශ්න කර සිටියේය.
 
''මේ කාර්ය සාධක බළකාය හකුලා දමා අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න ඕනෑ,'' යැයි ද සිවාජිලිංගම් පැවසීය.   
 
 
මේ අතර එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුර සඳහා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාවද  සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.
 
  
 නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, ''මේ පත්කිරීම නිසා තමන් විවිධ ආකාරයෙන් පීඩාවන්ට පත්වේ යන බියක්'' මුස්ලිම් ජනතාව තුළ මතුව තිබෙන බවයි.
 
''විවිධ ආගම්වලට ගරු කරන ආගමික නායකයන් රැසක් ජීවත් වන මෙරට තුළ ආගම් අපහාසයට ලක් කරන සහ
මුස්ලිම්වරුන්ගේ ධාර්මික හැඟීම් රිදවන ආන්දෝලනාත්මක කෙනෙකු වගකීම් සහගත තනතුරකට පත්කිරීම පිළිබඳ අප කනස්සල්ලට හා අතෘප්තියට පත්ව සිටින්නෙමු,'' යි සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාව සඳහන් කරයි.
 
නීති සාම්පාදනයේ බලයද සහිත නව කාර්ය සාධක බලකාය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එහි නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇත්තේ අධිකරණයෙන් දඬුවම් ලබා සිටින ඔහු ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ පමණක් නොව, ආණ්ඩුකරණයේ කිසිදු කාර්යයක් ඉටු කිරීමට සම්පුර්ණයෙන් ම නුසුදුස්සෙක් බව පෙන්වා දෙමිනි.
 
''ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් යනු, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වාර්ගික ජාතිකවාදී වාචාලකම් සහ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව දිය නොහැකි ප්‍ර‍ධානියකු බව සහ ඔහු පිළිබඳව කිසිදු ස්වාධීන පරීක්ෂණයක් හෝ ඔහු වගවීමට යටත් කිරීමට කිසිදු පියවරක්හෝ ගෙන නැති බව යි,''යනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
 
 
මේ අතර බොදු බල සේනානායක හිමියන් පවසන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වී ඉන්නා බොහෝ දෙනාද උසාවියෙන් දඬුවම් ලැබූ අය බවයි.
 
   

''දක්ෂයෝ නම් දෙමළද, සිංහලද, මුස්ලිම්ද අදාල නෑ, ඒ ගොල්ලන්ට අවස්ථාව දීමයි විය යුතු'' යැයි කාර්ය සාධක බලකාය තුළ දමිළ නියෝජනයක් නොමැති වීම යුක්ති සහගත කරමින් ඥාණසාර හිමියෝ පවසති.
 
'' රටේ එක් පාර්ශවයකට පමණක් විශේෂ නිතියක් තිබෙන්න බෑ. ඒ වගේමයි එක් එක් ප්‍රදේශවලට නීති වෙනස් වෙන්න බැහැ. අපි මේ සියලු පාර්ශව සමග සාකච්ජා කරලා අපේ අවසන් නිගමනය ජනාධිපතිතුමාට භාර දෙනවා''  ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් සමග ජනාධීපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ හමුවකදී කියා සිටියහ.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු කතානායක කරු ජයසූරියද කාර්ය සාධක බලකායේ සංයුතියේ නියෝජනයේ ඇති දෝෂය විවේචනයට ලක් කොට ඇතත් එහි නායකත්වය ගැන අදහස් පලකොට නොමැත. 

 

 

 


 

THE LEADER TV 
 
 
 
 
ළගින් ගියොත් ගහක් නෑ ජාත්‍යන්තර දේශනය | මොණරවිලගේ ලියමන | The Leader TV 
 
 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්