'එක රටක් එක නීතියක් සඳහා' ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුර සඳහා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර
හිමියන් පත්කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි දැනුවත්ව සිටි බවට පලවන වාර්තා නිසා ඇමතිවරයා මුස්ලිම් ප්‍රජාව අතර සැකයට භාජනය වී ඇති බවත්, එම තත්ත්වය තුළ ඔහු බලවත් අපහසුතාවයකට පත්ව සිටින බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ. 
 
එවැනි වාර්තාවලට පදනම්ව ඇත්තේ, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක විසින් කර ඇති  ප්‍රකාශයක්.
 
ජනාධීපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ හමුවකදී කිංස්ලි රත්නායක ප්‍රකාශකර සිටියේ, අදාල කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අධිකරණය ඇමතිවරයා දැනුවත්කර ඇති බවක්.  ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා හමුවූ බවක්ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවදාරණය කර සිටියේය. 
 
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ සහභාගිත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවට තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් කැඳවා තිබු අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඉහත කාරණය සඳහන් කලේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක සේවය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමල් ජයසිංහ මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
 
 
 
ඊයේ (02) පැවති පොහොට්ටු පක්ෂ සංවත්සරයට පැමිණ සිටි අධිකරණ ඇමතිවරයාගෙන් ඇතැම් මැති ඇමතිවරු මේ පිළිබඳව විමසද්දී ඔහු පවසා ඇත්තේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවයි. 
 
වත්මන් දේශපාලන වාතාවරණය ගැන තමා දැඩි කනස්සල්ලකින් පසුවන බව එහිදී සඳහන් කර ඇති ඇමතිවරයා,  ''මම දේශපාලනේට ආවේ මුස්ලිම් ප්‍රජාවට සේවයක් කරන්න. ජාතින් අතර තියන සැකය නැතිකරලා මේ රටේ අයෙත් බයක් සැකයක් නැතුව ඉන්න පුළුවන් රටක් හදන්න ජනාධිපති තුමාට උදව් කරන්න . එත් තත්ත්වේ එන්න එන්නම නරක අතට යනවා. ජනාධිපතිතුමා ආවට පස්සේ මම තීරණයක් ගන්නවා ..'' යයි ද දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා තිබේ.
 
 
කෙසේවෙතත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක අවදාරණය කළ කාරණය සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මෙතෙක් ප්‍රසිද්ධියේ කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.
 
 
කෙසේවුවත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පසුගිය සති අන්තයේ 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් “එක රටක්, එක නීතියක්” ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදැන සිටි බව යි.
 
අදාළ කාර්ය සාධන බලකාය පිහිටුවීමේදී අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බවත් එම පුවත්පත වාර්තාවේ සඳහන් වේ.
 
ඒ පිළිබද තමා සතුටු නොවන බව ද අමාත්‍යවරයා 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතට පවසා තිබේ.
 
 
සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාව කනස්සල්ලෙන් :
 
 
මේ අතර එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුර සඳහා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කිරිම සම්බන්ධයෙන් සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාවද සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇත. 
 
 නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, ''මේ පත්කිරීම නිසා තමන් විවිධ ආකාරයෙන් පීඩාවන්ට පත්වේ යන බියක්'' මුස්ලිම් ජනතාව තුළ මතුව තිබෙන බවයි.
 
''විවිධ ආගම්වලට ගරු කරන ආගමික නායකයන් රැසක් ජීවත් වන මෙරට තුළ ආගම් අපහාසයට ලක් කරන සහ මුස්ලිම්වරුන්ගේ ධාර්මික හැඟීම් රිදවන ආන්දෝලනාත්මක කෙනෙකු වගකීම් සහගත තනතුරකට පත්කිරීම පිළිබඳ අප කනස්සල්ලට හා අතෘප්තියට පත්ව සිටින්නෙමු,'' යි සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සභාව සඳහන් කරයි.
 
නීති සාම්පාදනයේ බලයද සහිත නව කාර්ය සාධක බලකාය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එහි නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇත්තේ අධිකරණයෙන් දඬුවම් ලබා සිටින ඔහු ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ පමණක් නොව, ආණ්ඩුකරණයේ කිසිදු කාර්යයක් ඉටු කිරීමට සම්පුර්ණයෙන් ම නුසුදුස්සෙක් බව පෙන්වා දෙමිනි.
 
''ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් යනු, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වාර්ගික ජාතිකවාදී වාචාලකම් සහ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව දිය නොහැකි ප්‍ර‍ධානියකු බව සහ ඔහු පිළිබඳව කිසිදු ස්වාධීන පරීක්ෂණයක් හෝ ඔහු වගවීමට යටත් කිරීමට කිසිදු පියවරක්හෝ ගෙන නැති බව යි,''යනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
 
 
මේ අතර බොදු බල සේනානායක හිමියන් පවසන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වී ඉන්නා බොහෝ දෙනාද උසාවියෙන් දඬුවම් ලැබූ අය බවයි.
 
 
''දක්ෂයෝ නම් දෙමළද, සිංහලද, මුස්ලිම්ද අදාල නෑ, ඒ ගොල්ලන්ට අවස්ථාව දීමයි විය යුතු'' යැයි කාර්ය සාධක බලකාය තුළ දමිළ නියෝජනයක් නොමැති වීම යුක්ති සහගත කරමින් ඥාණසාර හිමියෝ පවසති.
 
'' රටේ එක් පාර්ශවයකට පමණක් විශේෂ නිතියක් තිබෙන්න බෑ. ඒ වගේමයි එක් එක් ප්‍රදේශවලට නීති වෙනස් වෙන්න බැහැ. අපි මේ සියලු පාර්ශව සමග සාකච්ජා කරලා අපේ අවසන් නිගමනය ජනාධිපතිතුමාට භාර දෙනවා''  ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ ජනාධීපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ හමුවේ දී කියා සිටියහ.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්