මාස 3ක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID ) තුළ රඳවා ගෙන සිටින 'ලංකා ඊ නිව්ස්' මාධ්‍යවේදී කීර්ති රත්නායක

රුපියල් මිලයන 100 ක වන්දියක් ඉල්ලා පොලිස් ඇමැති ඇතුළු 20 කට එරෙහිව සිය නීතිඥවරුන් හරහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබේ.

''උඹ දැනගනින් උඹ ඉන්නේ දැන් අපේ ගෙදර, අපේ ගෙදර නඩු විසඳන්නේ අපිට ඕනෑ විදිහට'' යයි කියමින් අත් අඩංගුවේ දී පොලිසිය තමන්ට තර්ජනය කළ බවත්, පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පිළිබඳ තමන් ලංකා ඊ නිව්ස් වෙත ලියන ලද ලිපි සම්බන්ධයෙන් තමන් බිය ගන්වන බවත් සඳහන් කරමින් මේ වන විට මාස 3 ක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සීඅයිඩිය තුල රඳවාගෙන සිටින කීර්ති රත්නායක සිය පෙත්සම මගින් දැනුම් දී ඇත.

අංක SCFR 363/2021 දරණ කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නීතිපතිවරයා, පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර, එම අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, සීඅයිඩිය බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න, සීඅයිඩී අධ්‍යක්ෂ එස්එස්පී රොහාන් ප්‍රේමරත්න, තවත් සීඅයිඩී අධ්‍යක්ෂ වරයෙක් වන එස්පී රන්දෙනිය, සීසීඩීය බාර නියෝජ්‍ය පොලිස්පති, සීසීඩී අධ්‍යක්ෂ එස්එස්පී නන්දන කුමාර ඇතුළු 20 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.  



ගත්තේ එකකට ප්‍රශ්න කරන්නේ වෙන දේවල් !

මාධ්‍යවේදී කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමට පාදක කරත්තේ ඔහු විසින් ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන භානු ප්‍රකාශ් මෙනවියට ඉන්දීය නිදහස් දිනය දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි යයි වට්ස්ඇප් හරහා කරන ලද අනතුරු ඇඟවීමකි.  

නමුත් යවන ලද වට්ස්ඇප් පණිවිඩය පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් මුලින් ප්‍රශ්න කළ නමුත් මේ වන විට ප්‍රශ්න කිරීම් මාලාවම සිදු කරන්නේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු විසින් ලියා පළ කළ ලිපි සහ එම ලිපිවල මූලාශ්‍ර පිළිබඳව බව පෙත්සමේ සඳහන් වේ.  

15 වැනි වග උත්තරකරු වන ජ්‍යෙ.නි.පො. දේශබන්ධු තෙන්නකෝන් සහ 19 වැනි වගඋත්තරකරු වන ඇමැති සරත් වීරසේකරගේ හැසිරීම් විවේචනය කර සහ හෙළිදරව් කරමින් කීර්ති ලියා ඇති ලිපි සම්බන්ධයෙන් ඔහු බිය ගන්වන ආකාරයෙන් මේ වන විට ප්‍රශ්න කරන බව ද පෙත්සමේ සඳහන් වේ.



''සාක්කි නෑ, චෝදනා නෑ...''


මේ දක්වා කීර්ති රත්නායක නිසි අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති අතර ඔහු රඳවා ගැනීමට අදාල රැඳවුම් නියෝගය හෝ ඔහුට පෙන්වා නොමැත.

එපමණක් නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටීනම් එම පනත උල්ලංඝනය කරමින් සිදු කර ඇති යම් ක්‍රියාවක් කර ඇති බවට සාක්කියක් හෝ වෙනත් ආකාරයකින් විශ්වාස කළ හැකි ද්‍රව්‍යයක් හෝ නොමැති බවද පෙත්සමේ සඳහන් ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට නම් එවැනි සාක්ෂියක් අවශ්‍ය නමුත් එවැන්නක් මේ දක්වා ඉදිරිපත් කර නැත.



'ලිපි වල මූලාශ්‍ර ඉල්ලා තර්ජනය'

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ලිපි සහ තොරතුරු මූලාශ්‍ර පිළිබඳව ඔහුව දැඩි ලෙස ප්‍රශ්න කරන බවත්, ලිපිවල තොරතුරු මූලාශ්‍ර හෙළි කරන ලෙස තර්ජනය කරන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, රැඳවුම් නියෝගය අවලංගු කර තමන් නිදහස් කරන ලෙසත්, තමන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් ලබා දෙන ලෙසත් කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ උපදෙස් මත, නීතිඥ ෂෙලොමි ගුණරත්න, නීතිඥ ඕෂිනී රුබේරු, නීතිඥ මංජුල බාලසූරිය ඇතුළු නීතිඥ පිරිසක් කීර්තිගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටිති.

පසුගිය අගොස්තු මස 14දා අත්අඩංඟුව ගත් 'ලංකා ඊ නිව්ස්' මාධ්‍යවේදී කීර්ති රත්නායක දින පහකට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට සිරගත කිරීම නපුරු පූර්වාදර්ශයක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිනිස වන 'අන්තර් ජාතික ජාලය' (INSD) ප්‍රකාශ කරයි.

ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක අත්අඩංඟුවට ගන්නා ලද්දේ ඔහු කොල්ලුපිටිය පොලිසියට ප්‍රකාශයක් ලබා දී ආපසු යන අතරතුර පැහැර ගැනීමක් සිහි ගන්වමිනි.





සබැඳි ලිපි :


මාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්ත පනත යටතේ රැඳවීම නපුරු පූර්වාදර්ශයකි.


'ඊ නිව්ස්'  මාධ්‍යවේදී කීර්ති මහනුවරට ගෙන යන සැළැස්ම මරණ වරෙන්තුවක්ද?

'ලංකා ඊ නිව්ස්' දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදියා අත්අඩංගුවට
 

 

 

 


 

The Leader TV  

 

මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

   

 

සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්