සිය ඥාති දියණියට සහ ඇගේ සැමියාට එල්ල වී තිබෙන මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර මසක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස

ජනාධිපතිවරයා කළ නියෝගය ඉටු කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අසමත් වී තිබේ.

ජනපති, අගමැති ඥාති දියණි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ ධන සම්භාරයක් යොදාගත් බව ලෝකයේ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් අනතුරුව එළි දැක්වූ පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය කොට ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති විසින් නියෝග කර තිබුනි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එම දැනුම් දීම කර ඇත්තේ ඔක්තෝබර් 6 වැනි  දිනයි.

එම දැනුම් දීමෙන් අනතුරුව අඩුම වශයෙන් දෙවතාවක් තිරුකුමාර් නඩේසන් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි.

ජනාධිපති නියෝගයෙන් මසක් ගත වු පසු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී විජේරත්න 2021 නොවැම්බර් 8 දින වාර්තාවක් යොමු කර තිබේ.



බැංකු ගිණුම් වාර්තා :

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ අදාල විමර්ශන තවමත් අවසන්ව නැති බවයි. අවසන් වාර්තාව ලබා දෙන දිනයක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇති බවක් එහි සඳහන් නොවේ.

"තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිනුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මුල්‍ය ආයතන මගින් කැදවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී. විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැදවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බව එමගින් වැඩිදුරටත් දන්වා ඇත."

කොමිසමේ ලේකම් මේ මස ආරම්භයේ අප්සරා කල්දේරා ජනමාධ්‍ය සමගින් පවසා තිබුනේ පරීක්ෂණ පවතින්නේ මූලික අදියරේ බවයි.

පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) යනුවෙන් හැඳින්වෙන එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න ලියවිලි ගොන්නේ දත්ත සමුදාය ලබාගෙන තිබුනේ  වොෂින්ටනය මුලස්ථාන කොටගත් ICIJ නමින් ප්‍රකට  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (International Consortium of Investigative Journalists) විසිනි.



පාස්කරලිංගම් :


paskara lingamපාස්කරලිංගම්


එක්සත් ජාතික පක්ෂයේ ජනපති, අගමැති උපදේශකයකුව සිටි බ්‍රිතාන්‍ය වාසී රාමලිංගම් පාස්කරලිංගම්ටද මේ මාසය මුලදී ICIJ විසින් මුල්‍ය වංචා චෝදනා නගා තිබුණි.

ඔහු විසින් බ්‍රිටිෂ් වර්ජින් දුපත්වල පිහිටුවන ලද භාරයන් හා සමාගම්වල ඩොලර් කෝටි ගණනක් මාලබේ පිහිටි HCBT නමින් ප්‍රසිද්ධ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ටෙක්නොලොජි පුද්ගලික විශ්ව විද්‍යාලයේ ආයෝජනයටත් බ්‍රිතාන්‍යයේ දේපල මිලදී ගැනීමටත් යෙදවූ බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කෙරිණි.

HCBT සභාපති උපුල් දරණාගම විසින් ICIJ හා පවසා තිබුනේ පාස්කරලිංගම් විසින් “තමන්ගේම ධනය යොදවා” විද්‍යාලය පිහිටුවන ලද්දේ ආණ්ඩුවේ කිසිදු නිලයක් නොදැරූ 2008 දී බවයි.

තමන්ට එරෙහිව නැගෙන මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් කළ විමසීම්වලට රාමලිංගම් පාස්කරලිංගම් කිසිදූ පිළිතුරක් දී නැති බව ICIJ පවසයි.




රණසිංහ ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිවරුන්ගේද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේද උපදේශක තනතුරු දැරූ 'පාස්කි' නමින් ප්‍රකට පාස්කරලිංගම් සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රිකා කරන අනාවරණ ගැන වර්තමාන රජය කිසිදු විමර්ශනයක් කරන බවක් දැනගන්නට නැත.




පැන්ඩෝරා හෙළිදරව්ව:

රටවල් 90ක රාජ්‍ය නායකයන්, ලෝකයේ බලවතුන් හා පෝසතුන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු රැගත් ලිපිගොනු කන්දරාවක් විමර්ශනය කළ රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට වැඩි පිරිසක් හවුල් කොටගෙන ICIJ විසින් අනාවරණය කරගත් තොරතුරු ඔස්සේ හෙලි කර තිබුනේ නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ ධන සම්භාරයක් යොදාගත් බවයි.

ලියවිලි වලින් අනාවරණය වූ තොරතුරු අනුව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරුපමා රාජපක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික නඩේසන් විසින් කඩදාසියේ පමණක් පවත්වාගෙන යන ලද සමාගමක නමින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන තිබේ.

“නීතියෙන් සැඟවුණු රටවල වෙනත් ව්‍යාජ සමාගම් සහ භාරයන් පිහිටුවාගත් නඩේසන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමග ව්‍යාපාර කරන සමාගම් වලින් වාසිදායක උපදේශක කොන්ත්‍රාත් ලබාගැනීමටත්, කලා නිර්මාණ මිලදී ගැනීමටත් එම සමාගම් යොදා ගත්තේය,” යි ICIJ පවසයි.

“ඉන් එක සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් (Pacific Commodities) විසින් දේපල සඳහා අයබදු හෝ තීරුබදු ගෙවන්නට සිදු නොවන අධි ආරක්ෂක  ජිනීවා ෆ්‍රීපෝර්ට් (Geneva Freeport) ගුදමට චිත්‍ර 31 ක් ඇතුළු තවත් දකුණු ආසියානු කලා නිර්මාණ යවා තිබේ.”

තිරුකුමාර් නඩේසන් ගේ දීර්ඝකාලීන ගණකාධිකාරී ආයතනය වන සිංගප්පුරුවේ පිහිටි ඒෂියාසිටි ට්‍රස්ට් (Asiaciti Trust) සමාගමේ රහස්‍ය ඊමේල් අනුව 2011 වනවිට ඔහුගේ සමස්ත ධන සම්භාරයේ වටිනාකම ඩොලර් මිලියන 160කට වැඩි වෙතැයි ගණන් බලා තිබුනත්, ඒ බව ස්වාධීනව තහවුරු කරන්නට ගවේෂක මාධ්‍යවේදී සමූහය සමත් වී නැත. නඩේසන්ගේ අක්වෙරළ සමාගම් සහ අරමුදල්වලින් ඒෂියාසිටි විසින් කළමනාකරණය කරන ලද සම්පත් ප්‍රමාණය ඩොලර් එක්කෝටි අසුලක්ෂයක් පමණ වෙතැයි ICIJ ගණන් බලා තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා ඔස්සේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් තමන් සහ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ නිර්දෝෂී බව තිරුකුමාර් නඩේසන් පවසයි.

එමෙන්ම එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇති ව්‍යාපාරික නඩේසන් ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු පත් කිරීම යෝග්‍ය යයිද යෝජනා කොට තිබේ.

 

 


 

THE LEADER TV

මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන 

 

"ගෝ " ගෙන් "ම" ට පිළිතුරක් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
බැසිල්ගෙ ලන්සාට වියත්මග ගොඩහේවගෙන් සැර රිටන් එකක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්