කොතලාවල පනතට එරෙහිවත් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත් කළ උද්ඝෝෂණයකට පසුව අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන අයුතු
ලෙස සිරගත කර සිටි චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි ඇතුළු සිසුජන නායකයන් පස් දෙනාට ඊයේ (11) හෝමාගම මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබූ අතර එම නියෝගය අද (12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබිණි.
ඒ අනුව අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන සඳුදා එම සිසුජන නායකයන් පස් දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය.
ඡායාරූපවලින් දැක්වෙන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සිසුජන නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් උසාවි භූමියෙන් පිටතට එන අයුරු සහ නීතිඥ කමල් විජේසිරි මාධ්‍ය වෙත අදහස් දක්වන අයුරුය.
කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 3 වනදා පැවති විරෝධතාවයේදී පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන සිසු ජන ක්‍රියාකාරීන් පස්දෙනා දින 100ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
මෙයින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටින ලදී. කෝෂිලා හංසමාලිගේ නම පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් නොවීමේ තත්වයක්ද තිබුණි.
මීට අමතරව අදාළ විරෝධතාව සංවිධානය කළ ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයන් ලෙස අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ සිදුකළ බව කියන පොදු දේපල අලාභය රු. 179,000ක් බව පොලිසිය පවසා ඇති නමුත් ඒ මුදලට අදාළ අලාභය ගණනය කළ ආකාරය ඔප්පු කිරීමට පොලිසියට නොහැකි තත්වයක් පැවතුනි.
THE LEADER TV
මොළ හතේ සාගතේ හෙට සිට! | මොණරවිලගේ ලියමන