දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් විසින් සංවිධානය කරනු ලබන

පෞද්ගලික සහ පොදු කාර්යයන් රාශියකින් සැදුම්ලත් "මතක මංගල" වැඩසටහන 2021 නොවැම්බර් මස 23 වැනිදා සිට 26 දක්වා සිව්දිනක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

රටම අගුලු දමා දැඩි වසංගත තහංචි ක්‍රියාත්මක වූ මොහොතක පසුගිය අගෝස්තු 24 වෙනිදා හදිසියේ සිදුවූ ඛේදජනක අවසන් සමුගැනීම හේතුවෙන් මංගල සමරවීර මහතාගේ ජීවන ගමනේ විවිධ කාලවලදී ඔහු සමඟ එක්ව කටයුතු කල සැමට ඔහු ගේ මෘත දේහය දැකබලා ගැනීමට හෝ තම අවසන් ගෞරව පුද කිරීමට පවා නොහැකි විය.

ඔහුගේ අකල් වියෝව සම්බන්ධයෙන් ශෝකය පළකරමින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පමණක් නොව ලෝකයේ විවිධ රටවලින් පණිවුඩ, ලිපි, සමාජ මාධ්‍ය ලිපි, චිත්‍ර සහ කවි ගී තවමත් ගලා ඒම හරහා ඒ වේදනාබර කම්පාව තවදුරටත් කියාපාන බව 'සමරවීර පදනම' පවසයි.  

ඒ අනුව “මතක මංගල” වැඩසටහන මගින් මංගල හඳුනන සෑම අයෙකුටම, ඔහුව සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ගෞරවය දැක්වීම පිණිස අවස්ථාවක් ලබා දීමට 'සමරවීර පදනම' කටයුතු යොදා ඇත.

 

"මතක මංගල" වැඩසටහන් මාලාව සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රයෙන් අනුව නොවැම්බර් 20 වැනි සෙනසුරාදා මාතර බෝධියේ දී රාත්‍රී  07.00 සිට  08.00 දක්වා පැවැත්වෙන මතක බණ ධර්ම දේශනාවකින් ආරම්භ වේ.


පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ ධර්ම දේශනය සමාජ මාධ්‍ය ඔස්සේ


නොවැම්බර් 23 වැනි අඟහරුවාදා රාත්‍රී කොළඹදී වල්පොල රාහුල ආයතනාධිපති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට ආරම්භ වන ධර්ම දේශනාව Facebook සහ Youtube ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

නොවැම්බර් 24 වැනි බදාදා මංගල සමරවීර මහතාගේ පවුලේ අය ඔහු සිහි කිරීම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට දානමය පින්කමක් පවත්වන අතර මෙය ඔහු සිහි කිරීම පිණිස පවුලේ අයට හා සමීපතයින්ට වෙන්වූ අවස්ථාවක් වනු ඇත.

 

නොවැම්බර් 25 වැනි බ්‍රහස්පතින්දා මංගල සමරවීර මහතාගේ භස්මාවශේෂ පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ද රෙස්ට්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරේ. ඔහුට ගෞරව දැක්වීමට කැමති සියලු දෙනාට එදින අවස්ථාව හිමි වනු ඇත.

 

නොවැම්බර් 26 වැනි සිකුරාදා මාතර


නොවැම්බර් 26 වැනි සිකුරාදා උදෑසන මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ සීමිත වාහන පෙරහැරකින් ඔහුගේ පවුලේ අය සහ හිතමිතුරන් විසින් මාතරට රැගෙන යනු ඇත.

පසුව මංගල සමරවීර මහතාගේ මග පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රජා මධ්‍යස්ථානයක් වන නූපේ ඕලන්ද වෙළඳපොළ ශාලාවේ දී ජනතා ගෞරවය සදහා ඔහුගේ භෂ්මාවශේෂ පස්වරු 2 - 4 දක්වා තැන්පත් කිරීමට නියමිතය.

පස්වරු 4 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සම්ප්‍රදායන් නියෝජනය කරන පූජකවරුන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලබන අතර, පසුව සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කිරීම සඳහා භෂ්මාවශේෂ පෙරහැරකින් මාතර සුසාන භූමියට රැගෙන යනු ඇත.

මංගල සමරවීර මහතාට ගෞරව දැක්වීමට පෞද්ගලිකව පැමිණ සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම දෙනාගෙන් COVID-19 සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කාරුණික වන ලෙස සංවිධායක කමිටුව හෘදයාංගමව ඉල්ලා සිටියි.

සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සලකන, ප්‍රජාතන්ත්‍රවාදයෙන්, සංහිඳියාවෙන් පිරි සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් කැපවුණු මංගල, ඒ වෙනුවෙන් ඉටු කල කාර්යයන් සහ ඔහුගේ නොනිමුණු සිහින පිළිබඳ විස්තර ඇතුළත් මංගල අනුස්මරණ වෙබ් අඩවියක් ඉදිරි කාලයේ දී
දියත් කිරීමට අදහස් කර සිටින බව 'සමරවීර පදනම' පවසයි.

ඒ මගින් ශ්‍රී ලංකාව සඳහා මංගලගේ ප්‍රගතිශීලී දැක්ම ඉටු කිරීම සඳහා සියලු වයස් කාණ්ඩවල සමාන අදහස් ඇති පුද්ගලයින්ට එකට වැඩ කිරීමට අනාගත වැඩසටහන් සහ අවස්ථා පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට බලාපොරොත්තු වන බව 'සමරවීර පදනම' වෙනුවෙන් ජයන්ති සමරවීර ගුණවර්ධන සහ පවුලේ සැම දන්වා සිටියි.

Mathaka Mangala 2021.11.18 1

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්