දේශපාලන උපහාසය මෙරට පුවත්පත් කලාවේ ප්‍රධානතම අංගයක් බවට පත් කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, උපහාස කාව්‍ය රචකයකු හා  සාහිත්‍යකරුවකු වූ සිරිලාල් කොඩිකාර අභාවයට පත් විය.

මියයන විට ඒ මහතා 94 වන වියෙහි පසුවිය.

සිංහල ජාතිය පුවත්පතේ සෝදුපත් බලන්නකු ලෙස පුවත්පත් ලොවට පිවිසෙන සිරිලාල් කොඩිකාර ගේ පුවත්පත් දිවිය’ ‘ජාතිය’, ‘ස්වභාෂා සටන’, ‘ජනහඬ’, ‘සවස’, ‘දවස’ ආදී පුවත්පත්  ඔස්සේ ‘ඇත්ත’ වෙත පැමිණ එහිදී සටන්කාමී දේශපාලනයෙන් ප්‍රභාමත් විය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ද වූ කොඩිකාර මහතාගේ වෘත්තීය ජීවිතය සහ දේශපාලන ජීවිතය යනු එකක්ම විය.

‘දවස’ ආයතනයෙන් ඉවත්ව ‘ඇත්ත’ පුවත්පතට එක්වූ කොඩිකාර මහතා 'ඇත්ත' ඇරඹූ සටන්කාමී පුවත්පත් කලාව දේශපාලන උපහාසයෙන් රසගන්වා, ‘ඇත්ත’ දේශපාලන සාක්ෂරතාවයෙන් තොර සාමාන්‍ය ජනයා අතර පවා මහත් ජනප්‍රිය පුවත්පතක් බවට පත් කිරීමට මුල් විය.

‘රංචාගොඩ ළමයා’, ‘හත් හවුල් කවි මඩුව’, ‘රඟදෙන බයිලා’ ‘ගැටස් සන්දේශය’, ‘සකෝ බලලෝ’ ‘කෝසල සිහින’ ආදී නම්වලින් සිරිලාල් කොඩිකාර මහතා එකල ඇත්ත පුවත්පතට ලියන ලද උපහාස කාව්‍ය සහ විශේෂාංග පැවති ආණ්ඩුවලට මෙන්ම ඒවායේ නායක කාරකාදීන් වෙත ද එල්ල කළ උපහාසය බරපතළ විය.



අනේ සුසානෝ මම කොළඹ යන ගමන්
ඩාලි පාර පහු කරගෙන යන කලට
බල්ලෙක් ඉඳ බුරපි කියලා ලභුං ලභුං
එතකොට බලන කොට දිනකර බෝඩ් එක


රෝහණ විජේවීරයි කොටියයි හමුවී
සංවාදයක් විය ඝාතන පිළිබඳව
කොටියා හිනා වී භක භක භක  ගාලා
කීවා විජේවීරට මේ වචන ටික


බලපං මචං හිටියා නම් උඹ තාම
දැන්මේ ටිකට විකුණන්නෙත් උඹේ නම
උඹ නැති නිසා කොහොමද දැන් කතන්දරේ
ඒකත් කොටියාය මේකත් කොටියාය


දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නේ ඩෝල්ටන්



‘ දියවැලක් ඔස්සේ’, ‘නොනෙළූ මල’ ‘මානස විල සහ කනේරු මල්’ ‘මගේ සාක්කිය’, ‘කැලිස්ටාගේ සවාරිය’, ‘ටයර් සෑය’, ‘මා දුටු කෝසල සිහින’, ‘ලෙයින් ලියූ කවි’, ‘නොරජුන්ගේ අන්තහ්පුරය’, ‘ගහෙන් වැටුණු ගැහැනිය’, ‘නයිල් ගඟේ කෙස් ගස’, ‘විශ්වය තුළ විශ්ව’ ආදී කාව්‍ය කෙටි කථා සහ පුවත්පත් දිවියේ විත්ති කතා අඩංගු කෘතීන් ලියා පළ කර ඇති සිරිලාල් කොඩිකාර මහතා, පාලි සහ සංස්කෘත භාෂා මැනවින් හදාළ විද්වතෙකි.

(yournews.lk)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්