රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල මගින්

රෝගීන් සදහා ප්‍රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කර තිබේ.


 අක්කර 16ක වපසරියක මාස 30ක කාලයක් ඇතුළත රුපියල් බිලියන 12ක් වැය කරමින් පොළොන්නරුවේ ඉදිකරන ලද ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පසුගිය ජූනි 11 වැනිදා විවෘත කර තිබුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

 හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මෙම රෝහල ඉදිකිරීම සඳහා දැක්වූ දායකත්වයද ගෞරව පූර්වකව සිහිපත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු  පවසන්නේ, පොළොන්නරුව ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල විවෘත කර මාස 5ක කාලයක් ගත වුවද ඒ  තුළින් වකුගඩු රෝගීන් සඳහා ප්‍රශස්ත ලෙස සේවාව ලබාදීමට නොහැකි වූ පහත හේතු වෙත සිය අවධානය යොමුකර ඇති බවයි.

 
"1. වැඩිහිටි සහ ළමා වකුගඩු රෝගී ප්‍රතිකාර සඳහා ඇඳන් 201ක ධාරිතාවක් පැවතියද විශේෂඥ වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ප්‍රමාණවත් නොමැති බැවින් 25%ක ඇඳන් ධාරිතාවක් පමණක් මේ වනවිට ක්‍රියාත්මක වේ. තවද වකුගඩු රෝග සහ මුත්‍රමාර්ග ආශ්‍රිත ශල්‍යරෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, වකුගඩු බද්ධ කිරීම සම්බන්ධ විශේෂ පුහුණුව සහිත විශේෂඥ වෛද්‍යවරුන්, විකිරණවේදය පිලිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකුගේ පුරප්පාඩු තිබුණද, මේ වනවිට මෙම රෝහලේ සේවය කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණි.

 
2. මෙම රෝහල සතු රුධිර කාන්දුකරණ (Hemodialysis) යන්ත්‍ර 100 ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොමැති බැවින් මේ වනවිට ක්‍රියාත්මක වනුයේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර 30ක් පමණි.

 
3. ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අධ්‍යක්ෂකවරයකු ඇතුලු සේවක සංඛ්‍යාව සඳහා අනුමැතිය ලැබී තිබුණද සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් එම රෝහල් පරිපාලනය සඳහා රෝහල් අධ්‍යක්ෂකවරයකු පත්කිරීමට අපොහොසත් වී ඇත.

 
4. වකුගඩු බද්ධ කිරීම ඇතුලු මුත්‍රමාර්ග ආශ්‍රිත ශල්‍යකර්මය සඳහා අවශ්‍ය නවීන උපකරණ සහිත ශල්‍යාගාර 6කින් සමන්විත වුවද මෙතෙක් ඉන් එක් ශල්‍යාගාරයක්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ඉතා අවාසනාවන්ත තත්වයකි. තවද මෙම තත්වය බැරෑරුම් වනුයේ එම නවීන රසායනාගාර සහ ශල්‍යාගාර යන්ත්‍ර සූත්‍ර කිසිදු භාවිතයකින් තොරවම එම යන්ත්‍ර සූත්‍ර වල වගකීම් සහතික කාලය ඉකුත් වන දිනය අවසන් වීමට නියමිත බැවින් වගකීම් සහතික කාලය ඉකුත් වූ පසු එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළ විට යම් තාක්ෂණික ගැටලුවක් උද්ගත වුවහොත් එම යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීමයි.

 
5. රසායනාගාර, X- කිරණ සහ විද්‍යුත් කන්තුක රේඛන (ECG) ඇතුලු පරික්ෂණ සඳහා අවශ්‍ය සියලු පහසුකම් එම රෝහල තුළ පැවතියද එම පරික්ෂණ පහසුකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සේවක සංඛ්‍යාව නොමැති බැවින් ගිලන් රථ මඟින් රෝගීන් පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ඒමට සහ යාමට සිදුවීම නිසා රෝගී ප්‍රතිකාර ප්‍රමාද වීමද බරපතල ගැටලුවක් වී ඇත."

 

විශාල පිරිවැයක් දරමින් පොළොන්නරුවේ ඉදිකළ ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉහත ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය කඩිනමින් යොමුකර එම ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් යුත්   නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලාපොරොත්තු පළ කර තිබේ.

 


 

THE  LEADER  TV



පිස්සෝ තුන් දෙනෙක්.! | මොණරවිලගේ ලියමන



කඩුව වඳුරට දෙන්නෙ බලාගෙන! |

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්