උතුරේ සුළං හා සූර්ය බල විදුලි ව්‍යාපෘතීන් ඉන්දීය අදානි සමාගමට පැවරීමේ සූදානමක් ඇතැ යි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනාවරණය කළේ ය.
මීට පෙර උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණේ චීන සමාගමකි.
අදානි සමාගමට උතුරේ සුළං බල විදුලි ව්‍යාපෘති පැවරීම පිළිබඳ කතිකාවක් නිර්මාණය වන්නේ, චීනය අදාල දෙමුහුන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ගත් තීරණයත් සමග ය.
මේ පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විචාරකයින්ගේ අදහස වන්නේ වත්මන් රජය චීනය, ඉන්දියාව, සහ ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ වරප්‍රසාද ලබා දෙමින්, විදේශ ප්‍රතිපත්තිය දෝලනය කරමින් සිටින නමුත් චීනයට ශ්‍රී ලංකාවේ තිබුණු බලය මේ වන විට ගිලිහෙමින් පවතින බව යි. ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘති ඉන්දියාවට කොතරම් ලාභදායී ද? මේ විමසා බැලීම ඒ පිළිබඳව යි.
චීනය ගෙනා බලශක්තිය මාලදිවයිනට යැවූ 'තුන්වැනි පාර්ශවය' කවුද?
ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන දෙමුහුන් විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ චීන තානාපති කාර්යයාලය පසුගිය දා නිවේදනය කළේ ය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යයාලය සඳහන් කළේ, "තුන්වන පාර්ශ්වයකින් ඉදිරිපත් වූ 'ආරක්ෂාව පිළිබඳ ගැටලු' හේතුවෙන්" එම පියවර ගත් බව යි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අතරතුර චීන තානාපති කාර්යයාලය මේ බව නිවේදනය කළේ ය.
මේ යෝජිත චීන විදුලි ව්‍යාපෘති අත්හිටුවීමත් සමග, මාලදිවයින් දූපත්වල සූර්ය බලාගාර 12ක් පිහිටුවීම සඳහා නොවැම්බර් 29 වැනි දා එරට රජය සමග ගිවිසුමකට අත්සන් කළ බව ද එම කාර්යයාලය අනාවරණය කළේ ය.
චීන පාර්ශවයෙන් මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ "සයිනෝ සෝ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි" නම් සමාගම යි.
ඉන්දියාවෙන් බලපෑම්?
2021 වසරේ මුල් භාගයේ දී ඩෙල්ෆ්, නාගදීපය, සහ අනලතිව් දූපත්වල පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමට විරුද්ධව ඉන්දියාව, ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළ කළේ ය.
කෙසේ නමුත් මෙවසරේ ජනවාරි මාසයේ දී, යාපනය වෙරළට ඔබ්බෙන් වූ මෙම දූපත් ත්‍රිත්වයේ දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව චීනයට ලබා දෙන ලදී.
මෙම කොන්ත්‍රාත්තුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරෙන, ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අරමුදල් සැපයෙන ආධාරක විදුලි සැපයුම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොටසකි.
ඉන්දීය බලපෑම පිළිබඳ අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත් කන්දඋඩහේවා මෙසේ පැවසිය:
"මුලින්ම මේ යෝජනාව දුන්නේ චීනයට. මේක චීනයට දුන්නට පස්සේ ලංකාවට විශාල බලපෑමක් ආවා ඉන්දියාවෙන්. මොකද මේ දූපත් තුන කච්චතිව් දූපතට ආසන්නයෙන් හා ඉන්දීය සහ ශ්‍රී ලංකා අතර දේශසීමාවේ තියෙන්නේ. මෙවැනි විදේශීය මැදිහත්වීමක්, නැත්නම් විදේශ රටකින් බලශක්ති ව්‍යාපෘතියක් ඉන්දියාවට ආසන්නයේ සිද්ධ කිරීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා. මේ අනුව තමා ඉන්දියාව දිගින් දිගටම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක වගේ ඉහළ මට්ටමේ නිලධාරීන් ලංකාවට එවලා මේ ගැන පවත්නා වූ රජයට කරුණු ඉදිරිපත් කිරීම සහ බලපෑම් කිරීම් සිද්ධ වුණේ."
වැනෙන විදේශ ප්‍රතිපත්තිය
"අපි කලිනුත් දැකලා තියෙනවා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ යටතේ ඉන්දියාව, අමෙරිකාව, සහ චීනය තුලනය කරමින් තමා 2015ට පෙරත් ඔහු කටයුතු කළේ. විශේෂයෙන්ම ඉන්දියාව සහ ඇමෙරිකාව තුලනය කරමින්. ඉතින් නව මුදල් අමාත්‍යවරයා පත්වීමත් සමග චීනය යම් විදිහකින් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබ්බ බලාධිකාරය ගොඩනගා ගැනීම වෙනුවට, ලංකාව අර තුන්කට්ටුවට චීනය, ඉන්දියාව, සහ ඇමෙරිකාවට වරප්‍රසාද ලබා දෙමින් එක්තරා ආකාරයකට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දෝලනය කරන්න සිද්ධ කරනවා, මේ රටවල් තුන අතර. අපි පෙන්නනවා මේ රටවල් තුනටම අපි සලකනවා කියලා, නැත්නම් විශේෂිත වරප්‍රසාද දෙනවා කියලා. මෙන්ම මේ තත්ත්වය අනුව තමා අදානිගේ සංචාරයත් එක්ම ලංකාව තීරණය කළේ, ඉන්දියාවට මේ උතුරු දූපත් ලබා දෙන්න," ආචාර්ය කන්දඋඩහේවා සඳහන් කර සිටියේ ය.
"එතකොට ඉන්දියාවට එක පැත්තකින් හැකිවෙනවා චීනය තමන්ගේ දේශ සීමාවට ආසන්නව කරන කියාකාරකම් නවත්ත ගන්න. අනික් පැත්තෙන් ඉන්දියාවට හැකියාව ලැබෙනවා උතුරු ප්‍රදේශය තුළ විශේෂ ව්‍යාපෘති තුළ ඔවුන්ගේ 'ප්‍රසන්ස්' එක තියෙනවා කියලා පෙන්වන්න. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ලංකාව තුළ සිද්ධ වෙනවා කියන එක පෙන්වීමට තමයි ඔවුන් මේ කටයුත්ත කරන්නේ. ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘති ඉන්දියාවට කොතරම් ප්රතිලාභික ද කියන එක ගැන ගැටලුවක් තියනෙවා."
"ගොඩක් වෙලාවට මේක ඉන්දියාවේ සිකියුරිටි ඩිලෙමා එක, ආරක්ෂක උභතෝකෝටිකය ස්ථාපිත කරගන්න කරන දෙයක් මිසක්, ඇත්තටම ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නවත්, ලංකාවේ පවත්නා වූ ආර්ථික ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නවත් කරපු දෙයක් නොවෙයි. හුදෙක්ම ඔවුන්ගේ ආරක්ෂක සහ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වන්න කරන දෙයක් තමයි මේ ව්‍යාපෘති," ඔහු පැවසිය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අනාවරණය
දෙසැම්බර් 06 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ "විදුලි බල මණ්ඩලයේ සභාපති නොවැම්බර් මාසේ 25 වැනිදා ලියුමක් ලියනවා මුදල් අමාත්‍යංශ ලේකම්ට. ඒ මුදල් ලේකම්ට යවන ලිපියේ තුන්වන වගන්තියෙ තියෙනවා උතුරු පළාතේ, ඒ කියන්නේ මන්නාරමේ සිට පුනගරී ප්‍රදේශය දක්වා මෙගා වොට් 500ක් සුළං සහ සූර්ය බලය අදානි සමාගමට වහාම පවරන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා."
අදානිගේ පතල් සමාගමට ඕස්ට්‍රේලියාවෙන් විරෝධය
"මතක තබා ගන්න ඕනේ මේ රටේ පුරවැසියන්, මේ රටේ සමස්ත ඉල්ලුම රාත්‍රියේ තමයි වැඩි. ඒ ඉල්ලුම මෙගාවොට් 3000ට වඩා අඩු යි. මුළු රටටම සුළං බලයෙන් හා සූර්ය බලයෙන් විදුලිය ලබා දෙන්න පුළුවන් ධාරිතාවක් මේ මන්නාරම පුනගරී කලාපයේ තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒ සඳහා විශාල පිරිසක් ඉදිරිපත් වුණා. ඒ සියලුම දෙනා ඉවත් කරලා දැන් මේ අදානි සමාගමට මේක දෙන්න යනවා," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
අදානි නියෝජිතයින් මන්නාරමේ සංචාරයක
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති වන, ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් පසුගිය ඔක්තෝබර් 25 වැනිදා මන්නාරමේ සංචාරයක නිරත විය.
මේ පිරිස ඔක්තොම්බර් 24 වැනිදා රත්‍රියේ දිවයිනට පැමිණ තිබුණි.
බටහිර පර්යන්ත ව්‍යපෘතිය, සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී ඔහු ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබුණු බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ දෙසැම්බර් 07 දා පැවති කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේ දී පැවසුවේ අදාල විදුලි ව්‍යාපෘති ඉන්දියාවට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණයකර නොමැති බව යි.
"ඒ හා සම්බන්ධ තීන්දුව අදාල පර්ශව අතර ගනුදෙනුවක් හැටියට තමා ක්‍රියාත්මක වන්නේ. දෙරට අතර සම්බන්ධතාවලට කිසිදු කිසිම බාධාවක් නැහැ. කැබිනට් තීන්දුවක් අරගෙනත් නැහැ," ඔහු ප්‍රකාශ කළේ ය.
චීනයට රාජ්‍යතාන්ත්‍රික පසුබෑමක් ද?
ආචාර්ය කන්දඋඩහේවාට අනුව මෙය එක්තරා ලෙසකට චීනයට රාජ්‍යතාන්ත්‍රික පසුබෑමකි.
"මේක චීනයට ඔවුන්ගේ ව්‍යාපෘතියක් අහිමි වීමක් ලංකාව තුළ. නමුත් චීනය මීට වඩා දෙයක් බොහෝ විට උතුරු ප්‍රදේශයේ හෝ වරායක් ආශ්රිත ප්‍රදේශයකින් - හම්බන්තොට හැරෙන්න වරායක් ආශ්රිත ප්‍රදේශයෙන් - යම් කිසි ව්‍යාපෘතියක් පටන් ගනියි, බොහෝ විට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව. මොකද ඉන්දියානු ත්‍රිකුණාමලය සංවර්ධන ව්‍යාපෘතියත් එක්ම චීනය ත්‍රිකුණාමලය දිසාවත් බලන්න අරන් තියෙනවා. බොහෝ විට ඔවුන් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා දෙන්න කටයුතු කරයි," කන්දඋඩහේවා පැවසීය.
මාලදිවයින තුළ සිය ව්‍යාපෘති ස්ථාපිත කිරීම තුළින් චීනය පෙන්වා ඇත්තේ තමන්ට ශ්‍රී ලංකාව නොමැති වුවත්, කලාපය තුළ ඉන්දියාවට ප්‍රතිරෝධයක් එල්ල කළ හැකි තවත් රටක් සමග සබඳතාවයන් පවතින බවයැ යි ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
( BBC සිංහල සේවය)
සබැඳි පුවත් :
චීනය ගෙනා බලශක්තිය මාලදිවයිනට යැවූ 'තුන්වැනි පාර්ශවය' කවුද?
නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්!
බුදු දහම වළලන කොන්ත්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන