සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව තිබේ.
බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය. බොරතෙල් ඇණවුම් කර මෙරටට ගෙන්වීමට සාමාන්‍යයෙන් ගතවන කාලය දින 90 කි.
පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව දැනට ඇණවුම් කර ඇති බොරතෙල් ලබන ජනවාරි 25 වැනිදා වනවිට පමණ මෙරටට ලැබීමට නියමිත ය.
එම තත්ත්වය තුළ බොරතෙල් මෙරටට ලැබෙන තුරු ජනවාරි මුල් සතියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඉන්දන ආනයනය සඳහා වූ ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීමට අනුමැතිය ලබා දෙන්නැයි බලශක්ති අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ගෙන් පසුගිය සති කිහිපයේ ඉල්ලීම් කර තිබුනද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස්ගත වනතෙක් ම ඒ සඳහා කිසිඳු පියවරක් ගෙන නොතිබිණ.
කෙසේ වෙතත් තෙල් පිරිපහදුව සඳහා දැනට යොදා ගන්නා බොරතෙල් වර්ගයට සමාන වෙනත් බොරතෙල් වර්ග 02ක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර එම බොරතෙල් ලබා ගැනීමට හැකි වුවහොත් පිරිහපදුව වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය .
මේ අතර ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඩොලර් මිලියන 420 ක මුදලක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම මත තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
අවසන්වරට පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම මුදල මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.
තෙල් සංස්ථාවට රුපියල් උපයාගත හැකි නමුත් ඩොලර් උපයාගත නොහැකි බව ද පවසා ඇති අමාත්‍යවරයා මෙම තත්ත්වය මත ඉන්ධන ගෙන්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ද පෙන්වා දී ඇත.
ඉන්ධන නිකුත් කිරීම සඳහා කූපන් ක්‍රමයක්!
මේ අතර අඩුආදායම්ලාභීන් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයකට ලබාදෙන ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
"ආණ්ඩුව අමාරු කාලයකට මුහුණ දී තිබෙන්නේ. ඒ නිසා මජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණදෙන්න වෙලා තිබෙනවා. ඔවුන්ගේ කලකිරීම ඉවත්කර ගැනීමට අවශ්‍ය විශ්වාසයක් ලබාදෙන්න අපි ලෑස්ති. අපි යෝජනාකරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුආදායම්ලාභී ජනතාවට අඩුමිලකට කූපන් ක්‍රමයකට ලබාදෙන්න කියලා. ඒ වගේම තෙල් භාවිතය කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට ක්‍රියාකරන්න. එමගින් තෙල් භාවිතය අඩුකරගන්න පිළිවෙළක් බලන්න."