පවතින ආර්ථික තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමත සමග රජය සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළේ ය.



මේ සම්බන්ධයෙන් විද්වතුන් මතුකරන පැනයන් අතරේ, මෙම සහන ලබාදීමට මුදල් ලැබෙන්නේ කොහෙන්ද, මුදල් මුද්‍රණය කරන්නට සිදුවෙයිද, රටේ පවතින උද්ධමනය තවත් ඉහළ යයි ද ආදී ගැටලු වේ.

ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ, රුපියල් 5000ක දීමනාවක් හෝ රුපියල් 1000ක දීමනාවක් සමෘද්ධිලාභීන් ඉල්ලා නොසිටි අවස්ථාවක රජය මෙම දීමනාව ලබා දී ඇති බව යි.



රජයේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත්, ආණ්ඩුව මීට පෙර පැවති ගැටලු සඳහා ලබාදුන් විසඳුම් හේතුවෙන් ද ප්‍රශ්න ගණනාවක් අලුතින් නිර්මාණය වූ බවත් ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති. ඔවුන් කියා සිටියේ මෙම සහන රාජ්‍ය සේවකයින්ට පමණක් ලබාදීමත් සමග, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ද වැටුප් වැඩිවීමක් ඉල්ලා පාරට බැසීමේ අවදානමක් ඇති බව යි.



මොනවා ද මේ සහන?

# රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5000ක් වූ මාසික දීමනාවක් ජනවාරි මස සිට ලබාදීම.

# පෞද්ගලික අංශයේ සේවායෝජකයින් සමග සාකච්ඡා කර එම සහනය පෞද්ගලික අංශයේ සේවයකයින්ට ද ලබාදීමට පියවර ගැනීම.

# රුපියල් 3500ක මාසික දීමනාවක් හිමි සමෘද්ධිලාභීන්ට රුපියල් 1000ක අමතර දීමනාවක් ලබාදීම සහ එම දීමනාව අනෙකුත් සමෘද්ධිලාභීන්ට ද ලබාදීම.

# ඉදිරි කන්නයේ වී ඇස්වැන්න මිලදී ගැනීමේදී දැනට වී කිලෝග්‍රෑමයකට ගෙවනු ලබන රුපියල් 50ක සහතික මිලට අමතරව වී කිලෝග්‍රෑමයකට රුපියල් 25ක අතිරේක මුදලක් ගෙවීම.

# වෙළෙඳපොළේ සහල් මිලට බලපෑමක් නොවන පරිදි, එලෙස ගෙවනු ලබන අතිරේක මුදල රජය විසින් දරා ගැනීම.

# තම පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු හා පළතුරු වගා කිරීම දිරිමත් කිරීම සඳහා ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සහ ඊට අවශ්‍ය වන භූමිය සකස් කිරීම, බීජ ලබා ගැනීම වැනි යෙදවුම් සඳහා ඉඩමේ ප්‍රමාණය අනුව ඉඩම් අක්කරයක් දක්වා රුපියල් 10000ක උපරිමයකට යටත්ව දිරිගැන්වීමේ දීමනාවක් ලබා දීම.

# වතු කම්කරු පවුලක් සඳහා කිලෝග්‍රෑමය රුපියල් 80 බැගින් තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 15ක් සහන මිලට ලබාදීම.

# අවශ්‍ය අවස්ථාවන්වල දී දේශීය ගොවීන් හා නිශ්පාදකයින් ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සියලුම අත්‍යාවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම.



"5000ක් ඉස්සරහා සාක්කුවට දාලා 15,000ක් පිටිපස්සේ සාක්කුවෙන් අදිනවා වගේ වැඩක්"

23145645

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියා සිටියේ රජයේ සහන වැඩපිළිවෙලේ ආර්ථික විද්‍යාත්මක ගැටලුවක් ඇති බව යි.



"රජය හඳුන්වාදුන් සහන පැකේජ් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක ජනතාවට හොඳයි. හැබැයි ආර්ථික විද්‍යාත්මක ගැටලුව තියෙන්නේ, ශ්‍රී ලංකාවේ 2022 අවුරුද්දේ මුළු ආදායම සහ වියදම අතර පරතරය තියෙනවා රුපියල් බිලියන 3200ක්."



"2022 පුරෝකථන ආදායම පෙර වර්ෂයට වඩා 46%ක් වැඩි කරලා තියෙනවා. ඔය කියන ආදායමට යන්න බැහැ, බිලියන 1800ක විතර උපරිමයකට තමා යන්න පුළුවන් වෙන්නේ. රජයට බලාපොරොත්තු වන ආදායමට යන්න බැහැ, බිලියන 500ක විතර පරතරයක් තියෙනවා. දළ වශයෙන් මේ වසරේ ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් බිලියන 3700ක්. මේ 226ත් එකතු කළොත් බිලියන 3926ක් වෙනවා," ඔහු පවසයි.

මහාචාර්යවරයා මතුකළ කාරණයක් වූයේ, මෙම තත්ත්වය අනුව රජයට ඇති පහසුම විකල්පය මුදල් මුද්‍රණය කිරීම බව යි.

"ප්‍රශ්නය තියෙන්නේ රුපියල් බිලියන 3926ක් අපිට ණය ගන්න පුළුවන් ද? රේටින් ඒජන්සිවලින් මුළුමනින්ම වැටිලා. අපිට ජාත්‍යන්තර වශයෙන් ණය ගන්න බැහැ. විදේශීය වෙළෙඳපොලෙන් ණය ගන්න බැරි නම් රජයට කරන්න පුළුවන් එකම විකල්පය තමා දේශීය වෙළෙඳපොලෙන් ණය ගන්න එක. දේශීය වෙළෙඳපොලෙන් ණය ගන්නවා කියන්නේ සරලව කිව්වොත් මුදල් මුද්‍රණය කරන්න තමා රජයට වෙන්නේ.

දැනට තියෙන සංඛ්‍යා ලේඛන අනුව 2021 මුල් මාස 11 තුළ ට්‍රිලියන 1.1ක් සල්ලි ප්‍රින්ට් කරලා තියෙනවා. ඒකත් එක්ක තමා හිතාගන්න බැරි විදිහට උද්ධමනයක් රට තුළ නිර්මාණය වෙළා තියෙන්නේ.

ඉතිහාසයේ කවදාත් ජනවාරි 01 වැනිදා මිල වැඩි කරන්නේ නැහැ. හැබැයි මේ පාර ජනවාරි 01 වැනිදා සිමෙන්ති මිල වැඩි කළා රුපියල්100කින්. ඒ කියන්නේ රජයට ඔරොත්තු දෙන්නේ නැහැ. පාලනය කර ගන්න බැහැ.




අපි දේශීය වෙළෙඳපොලෙන් අපි මුදල් ප්‍රින්ට් කරලා ණය ගන්න හැදුවොත් 2022 හිතාගන්න බැරිතරම් විශාල උද්ධමනයක් ඇති වෙන්න පුළුවන්. මම මේක දකින්නේ රුපියල් 5000ක් ඉස්සරහා සාක්කුවට දාලා පිටිපස්සේ සාක්කුවෙන් රුපියල් 15, 000ක් අදිනවා වගේ වැඩක් මේක."




බදු වැඩි කරයි ද?

මිට පෙර අවස්ථාවක, රාජ්‍ය අංශය රටට බරක් බවත්, සහන දිය නොහැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

රටේ වැඩකරන ජනතාව අසූ ලක්ෂයක් සිටින නමුත් මෙම සහන ලබා දී ඇත්තේ ලක්ෂ 15ක පමණ පිරිසකට පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

මන්ත්‍රීවරයා පවසන්නේ, මේ අසූ ලක්ෂයෙන් රාජ්‍ය අංශයේ නොවන පෞද්ගලික අංශයේ සේවය කරන අය හා, අවිධිමත් ක්ෂේත්‍රවලත්, සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ක්ෂේත්‍රවලත් නියැලී සිටින සේවකයින් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටිනබව යි.

"අද බඩගින්නට, කුසගින්නට, අසහනයට ලක්වෙලා ඉන්න ඒ අයට කිසිදු සහනයක් ලැබිලා නැහැ," මන්ත්‍රීවරයා කියා සිටියේ ය. මෙම සහන ලබාදීම සඳහා මේ මුදල් සොයාගන්නේ කෙසේ ද යන්නත් මන්ත්‍රී රණවක ප්‍රශ්න කළේ ය.

dfgdfgf

"එක්කෝ ආණ්ඩුව බදු වැඩි කරන්න ඕනේ. දැන් රාවයක් පැතිර යනවා අයවැයෙන් යෝජිත ඒ බදු වැඩි කිරීමට අමතරව වැට්බදු ආදිය වැඩි කරන්න යන බව.  අවසානයේ මෙම වැටුප් වර්ධනයට අවශ්‍ය ධනය උත්පාදනය කරන්නේ, ඒ ජන කණ්ඩායම හා වැටුප් වර්ධනයට යටත් නොවෙච්ච අවශේෂ ජන කණ්ඩායම් කියන සියලු දෙනාගේම බදු වැඩි කිරීමකින්. එකෙන් මේ සමාජ පීඩනය තවත් පුළුල් වෙනවා විතර යි.

"දෙවන විකල්පය තමයි මේක බියගම කොම්පැනියට භාරදෙන එක. ඒ කියන්නේ සල්ලි අච්චු ගහන එක. ඒක තමා මේ ආණ්ඩුවේ ප්‍රියතම විෂය. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද, උද්ධමනය වැඩි වෙලා මේ වැඩිකරපු බිලියන 229 බර බඩුමිල වැඩිවීමක් හැටියට සමාජයට නැවත දැරීම. රුපියල් 54 මාලු මිරිස් කරල රුපියල් 70 කරලා බැසිල් මහත්තයා මේ පඩිවැඩි කිරීම කළා කියලා කියන්න පුළුවන්.

"මේ අයවැය කියන්නේ විහිළුවක් කියලා පෙන්නලා දීලා ඉවරයි. සැලසුමක් නැතිකම, විධිමත්භාවයක් නැතිකම, මාසයක්වත් ඉදිරියට දකින්න බැරිකම තමා මේ මුදල් ඇමතිවරයාගේ සහ ආණ්ඩුවේ පෙනෙන්න තියෙන්නේ. දෙසැම්බර් 10 අයවැයක් අනුමත කරගෙන ජනවාරි 10 වෙනකොට මේ තීරණ ගන්නවා. මාසයක් ඉදිරියට දකින්න බැරි අය කෙහොමද රට කරන්නේ?" මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ය.



කෙසේ වෙතත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විමසා සිටියේ, "පාරට බැහැල වැටුප් වැඩි කිරීමක් ඉල්ලනකොට උද්ධමනය වැඩි වෙන්නෙ නැද්ද?" යනුවෙනි. "විපක්ෂයට මේ ලබා දීපු මේ සහන පැකේජය දැන් දිරෝගන්න බැරිවෙලා තියෙනවා," අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ ය.




ආර්ථික අර්බූදය හා උද්ධමනය

grtrt

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති 9.9%හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී මෙතෙක් වාර්තාවී ඇති ඉහළම අගය වන 12.1% දක්වා ඉහළ ගියේ ය.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති 5.3% සිට 2021 දෙසැම්බර් මාසයේ දී 6.0% දක්වා ඉහළ ගියේ ය.

මහ බැංකුව පවසන්නේ, ගැඹුරු විශ්ලේෂණයකින් අනතුරුව පෙනී යන පරිදි වත්මන් උද්ධමනය සදහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බව යි.



උද්ධමනය සඳහා 'ආහාර' සහ 'ආහාර නොවන' කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් ද හේතු ඇතැ යි මහ බැංකුව කියයි. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති 17.5% සිට 2021 දෙසැම්බර් මාසයේ දී 22.1% දක්වා ඉහළ ගොස් ඇත.



ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති 6.4% සිට 2021 දෙසැම්බර් මාසයේ දී 7.5% දක්වා ඉහළ ගියේ ය.

වෙරටි රිසර්ච් ආයතනයේ සුභාෂිනි අභේසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ මෙම සනහ පැකේජයේ සඳහන් සහන ලබාදීමට රජයට මුදල් නොමැති බවත් මේ සහන පැකේජ ක්‍රියාත්මක කිරීම තුලින් රටේ දැනට පවතින මුල්‍ය හා ආර්ථික අර්බුධය තව දුරටත් තිව්‍රර වනු ඇති බවත්ය.

dyertyre

"අපි මේ දැන් තියෙන ප්‍රශ්නෙට විසඳුම්ක්නේ හොයන්න ඕනේ. ඒත් මේ සහන් පැකේජය ලබා දෙන්න රජයට සල්ලිත් තියෙනවාදද කියන එක තමයි ප්‍රශ්නය. දැනටමත් රජයේ ආදායම විශාල වශයෙන් පහත වැටිල තියෙන්නෙ. මේ සහන පැකේජය ක්‍රියාත්මක කරන්න නම් රජයේට දේශීය වශයෙන් ණය ගන්න වෙනවා එහෙම නැත්තං මුදල් අච්චු ගහන්න සිද්ධ වෙනවා ඒකෙන් වෙන්නේ අද පවතින උද්ධමනය තවත් වැඩි වෙන එකයි," යනුවෙන් ඇය පැවසිය.

ඇය තාවදුරටත් පැවසුවේ මෙවැනි පැලැස්තර මගන් නියම ප්‍රශ්නයට පිළිතුරු නොලැබෙන බවත් රටේ ඇති නියම ප්‍රශ්නය නම රාජ්‍ය ආදායම විශාල ලෙස අඩුවීමයි එයට පිළියම් යොදන්නේ නැතිව මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නොහැකි බවයි.

2019යෙදි ලබාදුන් බදු සහන ආපසු හරවා රාජ්‍ය ආදායම වර්ධය කරගැනීමට කටයුතු කළ යුතු බවට ඇය පැවසිය.



ආර්ථික විශේෂඥයින් පවසන්නේ රටේ පවතින අඩු පොලී අනුපාතයත් පවතින මුල්‍ය අර්බුදයට හේතුවී ඇති බැවින් පොලී අනුපාත ඉහළ දැමීමද පවතින මුල්‍ය අර්බුදයට එක් විසඳුමක් බවයි.




"IMF යෑම හැර විකල්පයක් නැහැ"

මහාචාර්ය පෙරේරා කියා සිටින අන්දමට, පවතින තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හැර වෙනත් විකල්පයක් රජයට නොමැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත්, එම අරමුදල විසින් පනවනු ඇති කොන්දේසි දැනටමත් අප පනවාගෙන අවසන් බව ද ඔහු කියා සිටියේ ය. මිල පාලනයෙන් ඉවත්වීම හා සහනාධාරවලින් ඉවත්වීම දැනටමත් රජය ඉටුකර ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන්, "ඉතාම ලේසියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තිබුණත්, දැන් මේ සහන පැකේජයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මීට වඩා කොන්දේසි දැමීමේ හැකියාව ඇතැ"යි ඔහු සඳහන් කළේ ය.



"ඉන්දියාවෙන් ලද බිලියන 1.5ක ණය මුදලින් බස් සහ ජීප් මිලදී ගන්න යනවා. මේකද මේ රටේ ප්‍රශ්නය තියෙන්නේ? අඩු ගානේ මේ සල්ලි ටික ඉදිරි මාසයේ හාල් ටික, මිරිස් ටික, පරිප්පු ටික ගෙන්වගන්න තියා ගන්න තිබුණා. මිනිස්සුන්ට කන්න නැතිව පොලීසියට ජීප් දීලා වැඩක් නැහැ. රජය මේ ගැටලුවේ ගැඹුර තේරුම් අරන් නැහැ," මහාචාර්යවරයා කියා සිටියේ ය.



(BBC සිංහල සේවය)

 

 

Leader Whats app

 
 
 
 
මහින්ද එලවීම පවුලේම කුමන්ත්‍රණයක්!
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්