(වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පුරවැසියන්ගේ අවධානයට)
රජයේ සියලු සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ක විශේෂ මාසික දීමනාවක් ඇතුළත් ගොවීනට හා ග්‍රාමීය ගෙවතු වගාවටද ආර්ථික සහන සමග ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ සහන මල්ලේ එකම තේරුම, මේ වනවිට සීඝ්‍රයෙන් උග්‍රවන ආර්ථික අර්බූදයේ බර ජනතාවට දැරිය නොහැකි බව ආණ්ඩුව පිළිගත් බව ය.
මේ ආර්ථික අර්බූදයේ උග්‍රවන බර ජනතාව මත පැටවෙන බව පිළිගන්නා ආණ්ඩුවේ ප්‍රධානම වගකීම විය යුත්තේ ඒ බර කර ගැසීමට නොහැකි, එය කර ගැසීමට ඉතා අපහසු සියලු පුරවැසියනට එක හා සමාන ලෙස සැළකීමය.
ඒ බර වඩාත් බරපතල ලෙස කර ගසන්නට සිදුවන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, අවිධිමත් ක්ෂේත්‍රයේ දෛනික ආදායම්ලාභීන් හා මුහුදු යන සාමාන්‍ය ධීවරයින් එනමුත් ආණ්ඩුවේ මේ සහන මල්ලට ඇතුළත්ව නැත. ඔවුන්ට හිමි වන්නේ අනෙක් සියල්ලන්ට මෙන් ඖෂධ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා බදු ඉවත් කිරීමේ වක්‍ර සහනයක් දෙකක් පමණි.
නමුත් රජයේ සේවකයින්ට වැඩි කළ රුපියල් 5,000, ගණන් නැතුව ලක්ෂ ගණන් මාසයකට හම්බ කරන වෘත්තිකයින්ටත් එක්ක බෙදා දීම අතිශය අසාධරණ හා ආණ්ඩුව අනවශ්‍ය බරක් අනවශ්‍ය ලෙස දැරීමකි.
නිදසුනක් ලෙස රජයේ වෛද්‍ය නිලධරයින්ට එය ලබාදීම ඉතාම අසික්කිත තීන්දුවකි. ලෝකේ කොහේවත් නැති සේවා වාර්තා නොකර අතිකාල වැටුප් ලබා ගන්නා, “ඩැට්” (DAT) දීමනාව යැයි හදිසි කැඳවීම් සඳහා මාසිකව රුපියල් 50,000 ක අපභ්‍රන්ස දීමනාවක් රෝගීන් බිල්ලට තියා ආණ්ඩු වලින් ලබා ගන්නා සහ පෞද්ගලික සේවයටද හිමිකම් කියන රජයේ වෛද්‍යවරුන්ට මේ රුපියල් 5,000 දීම අනවශ්‍ය ය. රජයේ එවැනි ඉහළ ආදායම්ලාභී වෘත්තිකයින් හා පරිපාලකයින් විශාල සංඛ්‍යාවක් ඇත.
ඒ තත්ත්වය හමුවේ ආණ්ඩුවේ පොදු සහන මල්ලට මගේ සංශෝධන වන්නේ, මූලික ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ සේවය යැයි විශේෂයක් නොමැතිව සියලු පුරවැසියන්ට ආර්ථික සහන ලබා දිය යුත්තේ, පවුලේ මාසික ආදායම රුපියල් 75,000 ට අඩු පුරවැසියන්ට පමණක් යැයි තීන්දුව සමග ය. ඒ අනුව,
01. පවුලේ මාසික ආදායම රුපියල් 75,000 ට අඩු රජයේ සේවකයින්ට පමණක් රුපියල් 7,500 ක විශේෂ මාසික දීමනාවක් ලබා දිය යුතුය.
02. වැවිලිකරය ඇතුළු පෞද්ගලික අංශයේද පවුලේ මාසික ආදායම රුපියල් 75,000 ට අඩු සේවක සේවිකාවන්ට එම දීමනාව රජය විසින් ලබා දිය යුතුය. එසේ ලබා දීමේ විධික්‍රමය පිළිබඳව ආණ්ඩුව හාම්පුතුන් හා එකඟතාවකට වහා පැමිණිය යුතුය.
03. අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ දෛනික ආදායම්ලාභීන්ටද (තීවිල් රියදුරන්, ලොතරැයි අලෙවිකරුවන්, මුහුදු යන්නන්, පදික වෙළඳුන් වැනි) පවුලේ මාසික ආදායම රුපියල් 75,000 ට අඩු පුද්ගලයන්ට පමණක් එය ලබා දිය යුතුය.
04. ගෙවතු වගාවට එක වරක් පමණක් ලබා දෙන දීමනා පර්චස් 20 ට අඩු ගෙහිමියන්ට පමණක් රුපියල් 10,000 ක් ලබා දිය යුතුය.
05. අනෙක් ඉතිරි සහන ඒ අයුරින්ම තිබිය යුතුය.
මේ යෝජනා වෙනුවෙන් ආණ්ඩුවට බල කර සිටිය යුතු යැයි මම වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පුරවැසියන් හැමට යෝජනා කරමි.
කුසල් පෙරේරා
සමාජ - දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
2022 ජනවාරි 11 වන දින
(Kusal Perera ගේ ෆේස්බුක් පිටුවෙන්...)