2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී ඇතිවූ ගැටුම්වල දී සිරකරුවන් අටදෙනෙකු මරා දමන ලදැ යි චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට

නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (13) නියෝග කළේ ය.

ඒකමතික තීන්දුවක් ලෙස මෙම නඩු තීන්දුව ලබාදෙන ලද්දේ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි, සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් විසිනි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ සාමාජික විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි නඩු විභාගයේ දී ඇසින් දුටු සාක්ෂිකරුවන් හතරදෙනෙකු ද ඇතුළු සාක්ෂිකරුවන් 40 දෙනෙකුගේ සාක්ෂි විශ්ලේෂණයට ලක්කළ බව ප්‍රකාශ කළ අතර, ලේඛන 93ක් විමර්ශනයට භාජනය කළ බව ද සඳහන් කළේ ය.

නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම පස්වරු 1.30ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් විනිසුරු මඬුල්ල එය ආරම්භ කළේ පස්වරු 5.15ට පමණ යි.



 122694027 gettyimages 1181880813.jpg
අධිකරණයට රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇතුළු බොහෝදෙනෙකු තීන්දුව දෙස දැඩි කුතුහලයකින් සහ අවධානයෙන් පසුවූ අතර, පැයක පමණ කාලයක් පුරා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

නඩුවේ පළමු විත්තිකරු වූයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ය.

සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, නඩුවේ පළමුවන විත්තිකරු වශයෙන් නම්කර සිටි නියෝමාල් රංගජීව නැමැත්තා සාක්ෂිකරුවන් විසින් හඳුනාගැනීම සම්බන්ධයෙන් පරස්පරතාවක් පවතින බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව තීන්දු වීයැ යි සාමාජික විනිසුරු මංජුල තිලකරත්න සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව විත්තිකාර රංගජීවට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කළේ ය.

මෙම නඩුවේ එක් විත්තිකරුවෙකු වූ ඉන්දික සම්පත් ඉමදූවගේ නමැත්තා ද නඩු විභාගය අතරතුර නිදොස්කොට නිදහස් කෙරිණි. ඔහු බන්ධනාගාර බුද්ධි නිලධාරියෙකි. මෙයට පෙර පැවති පැමිණිල්ලේ නඩුවිභාගයෙන් අනතුරුව ඔහු නිදහස් කෙරුණේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙනි.



කවුද මේ රංගජීව?

 113397561 cb4f57ad 16c2 4592 b1e2 669be32c64a0.jpg
2020 වසරේ දී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධනට හිරිහැර සිදුකළේ ය.




1995 වසරේ දී පොලිස් සේවයට එක්වන නියෝමාල් රංගජීව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට සම්බන්ධ වන්නේ 2001 වසරේ දී යි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ නිලධාරියෙකු ලෙස හැඳින්වෙන නියෝමාල් රංගජීව මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'වෙලේ සුදා' ඇතුළු ජාවාරම්කරුවන් රැසක් ඔහුගේ නායකත්වයෙන් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

2017.5.09 දින රාත්‍රියේ වැටලීමකට ගොස් සිටිය දී මාකඳුරේ මධුෂ්ගේ සැලසුමක් අනුව පිළියන්දල ප්‍රදේශයේ දී කළ වෙඩි ප්‍රහාරයකින් රංගජීව බරපතල තුවාල ලැබීය.

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් 2017 ජුලි මස 14 වැනි දින අධිකරණය මඟින් අධිචෝදනා බාරදීමෙන් පසුව, 2018.01.11 දින සිට පොලිස් පරික්ෂක රංගජීව වැඩ තහනමට ලක්විය. ඔහු 2018 මාර්තු මාසයේ දී අත්අඩංගුවට පත්වුණි.

වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි රංගජීවට ඇප හිමිවීමෙන් පසු 2018.12.01 දින සිට ඔහු යළිත් පොලිස් සේවයේ පිහිටුවා තිබූ අතර, එවකට ඔහු සේවය කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත ස්ථාන මාරුකර තිබුණි.

අවස්ථා කිහිපයක දී වැඩ තහනමට ලක්වී සිටි පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව 2019 වසරේ දෙසැම්බර් මස 28 දින යළි සේවයේ පිහිටුවන ලදී. ඔහු මේ වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීම් ලබා ඇත.


දෙවැනි විත්තිකරු:


වැලිකඩ බන්ධනාගාර නඩුවේ දෙවන විත්තිකරු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවුණි.

මෙම සිද්ධිය ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරය තුළ රඳවා සිටි "කොන්ඩ අමිල" නැමැති සිරකරු, දෙවන විත්තිකාර ළමාහේවා විසින් පැහැරගෙන ගිය බවට සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කළ සාක්ෂිවලින් සනාථ වී ඇති බව, විනිසුරු මංජුල තිලකරත්න තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව ඔහුට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව තහවුරු වී ඇතැ යි තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බව ද ප්‍රකාශ කළේ ය.

මරණීය දණ්ඩනය නියම කිරීමට ප්‍රථම විත්ති කූඩුවේ සිටි විත්තිකාර ළමාහේවා ඇමතු විනිසුරුවරු, අවසන් වශයෙන් කීමට යමක් තිබේදැ යි විමසා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර ළමාහේවා විවෘත අධිකරණයේ දී සඳහන් කළේ තමන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව යි.

"ස්වාමීනි, සිද්ධිය සිදුවූ අවස්ථාවේ මම බන්ධනාගාර අධිකාරීවරයෙක්. මෙවැනි ක්‍රියාවලට සම්බන්ධවීමට මට කිසිම අවශ්‍යතාවයක් නෑ. බන්ධනාගාරය තුළ 3000ක් පමණ පිරිසක් සිටියා. ඒ අතරින් මට පමණක් මේ චෝදනාව එල්ල කරන්නේ කොහොම ද? මේක දේශපාලන කුමන්ත්‍රණයක් මත ගොඩනැගුණු නඩුවක්. මම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා," මරණ දඬුවම නියම කිරීමට මත්තෙන් විත්තිකාර එමිල් රංජන් ළමාහේවා විත්ති කූඩුවේ සිට පැවසුවේ ය.

එම කරුණු සටහන්කර ගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අනතුරුව මෙම විත්තිකරුට මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කළේ ය.

බන්ධනාගාර ගැටුම ඇති වන විට එමිල් රංජන් ළමාහේවා මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කරනු ලැබීය.



වැලිකඩ ඝාතනය:

 

 113107167 100618228 20903cfe 8d3e 47ed b1cb 60f3ab781eea.jpg
2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීතිවිරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළුවී මෙහෙයුමක් දියත් කළේ ය.

එම මෙහෙයුම අතරවාරයේ රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ තිබූ ආයුධ ගබඩාව බිඳ, එහි තිබූ ගිනි අවි අත්පත්කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වූබව කියනු ලැබේ. එම ගැටුම මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක තුනක් බන්ධනාගාරය තුළට යොමු කෙරුණු බව ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

එම ගැටුම මැඬපැවැත්වෙන අතරවාරයේ මෙම නඩුවේ චුදිතයන් දෙදෙනා විසින් තෝරාගත් රැඳවියන් අටදෙනෙකු බන්ධනාගාරය තුළ පිහිටි 'කාර්මික අංශය' නම් ප්‍රදේශයට රැගෙනගොස් ඝාතනයවීම, ඊට කුමන්ත්‍රණය කිරීම, සහ නීතිවිරෝධී ජන රාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

ඒ, 2019 ජුලි මස 04 වැනිදා යි.

2012 නොවැම්බර් මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වසරේ දී යළි විමර්ශනයක් ආරම්භ වන්නේ යහපාලන රජය සමයේ යි.

මෙම සිද්ධියේ දී රැඳවියන් 27 දෙනෙකු මියගියත්, සාක්ෂි මත පදනම්ව චෝදනා ගොනුකර තිබුණේ ඝාතන 08ක් සම්බන්ධයෙන් පමණි.

පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, සහ සිරකරුවන් රැසක් නඩුවට සාක්ෂි දුන් අතර, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වාගේ සාක්ෂි බැහැර කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේ ය.

ඒ අනුව හිටපු බන්ධනාගාර නිලධාරියෙකු නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු විය.


(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්