# විසඳුමක් නැති විවේචන මේ රටේ මිනිසුන්ට වැඩක් නැත.

 

 

# ණය ගෙවා හෝ නොගෙවා මේ ආර්බූදයෙන් ගොඩ ඒමට දේශීය ආර්ථිකය කලමනාකරණය කිරීමේ තම විසඳුම් යෝජනා ආණ්ඩුව සහ විපක්ෂයේ විවේචකයින් රටට වහා ඉදිරිපත් කළ යුතුයි.

 

මේ දිනවල සියලු මාධ්‍යන්හි ලොකුවට කතා කෙරෙන්නේ විදේශ විනිමය සංචිතය පතුලටම කඩා වැටී ඇති අවදානම් තත්ත්වය ගැනය.

විපක්ෂයේ සියලු දෙනා පක්ෂ භේදයකින් තොරව කියන්නේ “ආණ්ඩුව ෆේල්” යැයි කියා ය.

මේ අතර ස්වාධීන යැයි පෙනී සිටින ආර්ථික විශේෂඥයින් ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ මොහොතේ කළ යුත්තේ නියමිත දිනට ණය ගෙවීම නොව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමය.
 
මගේ දැනුම් තේරුම් ගැනීමේ තරමට එහි යම් තර්කයක් ඇත.

 

රටවල් ශ්‍රේණිගත කිරීමේ “ෆිච්ට්” සහ “මූඩි” වැනි ජාත්‍යන්තර ආයතන, එසේ කරන්නේ කලට වෙලාවට ණය ගෙවන්නේද නැද්ද යන කාරණාව මත නොව, ඉදිරියේදී ණය ගෙවීමට හැකියාවක් තිබේද නොතිබේද යන්න සැළකීමෙනි. එනිසා දැන් ණය ගෙවීමෙන් අප “ෆිච්ට්” සහ “මූඩි” ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ යන්නේ නැත. අපට ජාත්‍යන්තරව ණය ගැනීමට ඉන් වාසි වන්නේද නැත.

 

දැන් ණය ගෙවීමෙන් සිදුවන්නේ විදේශ විනිමය සංචිතය තව හැකිලීමෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් අප තව පහත වැටීම පමණි.

එබැවින් ඉන්ධන, ගෑස් හා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වෙළඳ පලෙහි හිඟ නොවන ලෙස, ණය ගෙවන්නට යොදවන විදේශ විනිමය සංචිත ඒවා ආනයනය සඳහා තබා ගෙන, ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සාකච්ඡා කිරීම කාලෝචිත ය.
 
එවැනි ක්ෂණික විකල්ප විසඳුමක් තිබියදීත් මහ බැංකු අධිපති ණය ගෙවන්නේ යැයි කියා හිතුවක්කාර ලෙස මේ ගෙවන්නට යන්නේ ද්විතියික වෙළඳපල ගැණුම්කරුවන් අත ඇති කල් පිරූ “ජාත්‍යන්තර රාජ්‍ය බැඳුම්කර” සඳහා යැයි අනාවරණය වේ. එහි වෙනත් වක්‍ර ගනුදෙනුවක් යට ඇතිදැයි එබැවින් සාධාරණ ප්‍රශ්නයක් ඇත. එය වෙනම සොයා බලා විමසිය යුත්තකි.
 
මේ රාජ්‍ය බැඳුම්කර ගෙවීම් ප්‍රතිව්‍යුහගත කළ හැකිදැයි මම නොදනිමි. අනෙක් ද්විපාර්ශවීය ජාත්‍යන්තර ණය පියවීම් නම් ප්‍රතිව්‍යුහගත කළ හැක.

පසුගිය දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීන ආණ්ඩුවෙන් එවැනි ඉල්ලීමක් කළේය.

ඊට පෙර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවෙන්ද ඉල්ලීම් කළ බවට මතකයක් ඇත. පෙර ලබා දී තිබූ ඩොලර මිලියන 900 ක මූල්‍ය පහසුකම ඩොලර මිලියන 500 ක විදේශ විනිමය හුවමාරුවක් ඇතුළත් කර දීර්ග කිරීමට ඉකුත් 12 වන දින ඉන්දියාව තීන්දුකර ඇත. ඒවාද එක්තරා ආකාරයක ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ය.

 

ණය නොගෙවා ප්‍රතිව්‍යුහගත කිරීමට තීන්දු කළත් මහ බැංකු අධිපතිගේ හිතුවක්කාර තීන්දු අනුව ණය මෙවරත් කලට වෙලාවට ගෙව්වත් අපගේ සමාජ-ආර්ථික ප්‍රශ්නය අවසන් වන්නේ නැත. ඉතිරිවන බරපතලම ප්‍රශ්නය වන්නේ, මේ සමාජ-ආර්ථික අර්බූදයෙන් එගොඩ වන්නේ කෙසේද යන්න ය.

 

එය ඉදිරි ණය වාරික ගෙවීමට හා ආනයන සඳහා විදේශ විනිමය සොයා ගැනීමේ ගැටළුවම නොවේ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් සමග අඩු පොලී ණය ලබා ගැනීමද නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමේ එනමුත් එක වාසියක් රටට ඇත. ඔවුන් සමග ගනුදෙනුවට යෑමේදී ඔවුන්ටද මූල්‍ය කලමනාකරණ සැළසුමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවන අතර එය ඔවුන් විසින් නියාමනයද කරනු ඇත.
 
එහෙත් එයම ප්‍රමාණවත් නැත. අපට අවශ්‍ය වන්නේ හුදු මූල්‍ය කලමනාතරණ සැළසුමක්ම නොවේ. අපට අවශ්‍ය වන්නේ මේ සමාජ-ආර්ථික බිඳ වැටීමෙන් ගොඩ ඒමේ සැළසුමකි.

එය කෝවිඩ්-19 ආසාදන දැනට දෛනිකව වාර්තාවන 550 ක සංඛ්‍යාවෙන් දෛනිකව 100 ට හෝ ඊට අඩු මට්ටමක තබා ගත හැකි ප්‍රජා සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවෙලක් සහිත සමාජ ආර්ථික වර්ධනයක් වෙනුවෙන් වන ජාතික සංවර්ධන සැළසුමක් විය යුතුය.

 

ණය කලට වෙලාවට ගෙවන්නේ යැයි මහ බැංකු අධිපතිගේ අධිමානය හැරුණු විට මේ ආණ්ඩුවට ඒ සඳහා කිසිදු වැදගත් විසඳුමක් නැති බව නොඅඩුව සනාථ වූවකි. එවගේම විසඳුම් නොමැතිව, හිස් ගෝසාකාරී විවේචන විරෝධතා කර ගසා ගෙන මාධ්‍ය හමුවේ රඟන විපක්ෂයේ කිසිවකුත් ජනතාවට ප්‍රයෝජනයක් නැත. අද රටට වහා අවශ්‍ය වන්නේ මේ සමාජ-ආර්ථික අර්බූද සඳහා පැහැදිලි විසඳුම් යෝජනාවලියකි. අවශ්‍ය වන්නේ අනාගතවාදී ඉදිරි සැළසුකි.

 

එනිසා මෙයින් ඉල්ලා සිටින්නේ මාධ්‍ය වෙනුවෙන් කෙරෙන හිස් විවේචන විරෝධතා සමග ජනතාව හෙම්බත් නොකර, කරුණාකර මෙම සමාජ-ආර්ථික අර්බූදය සඳහා විදේශ විනිමය අහේනියටද සමග ඔබලාගේ සංවර්ධන සැළසුම් වහා ඉදිරිපත් කරන මෙන්ය.

එය මේ මොහොතේ දේශපාලන වගකීමක් ඇති විපක්ෂයක අත්හළ නොහැකි යුතුකමක් බැව් කරුණාවෙන් සළකනු මැනව.
 
kusa 02කුසල් පෙරේරා
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 ජනවාරි 14 වන දින




සබැඳි ලිපි :


ජනවාරි 18 බැදුම්කරය ගෙවීම නුවණට හුරුද? -මහාචාර්ය ශාන්ත දේව්රාජන්

ණය ගෙවන්න කැප වුණාට රට බේරගන්න කැපවෙලා නෑ - ආචාර්ය නිෂාන් ද මෙල්

මතුවුණේ අලුත් සාර්ව ආර්ථික අර්බුදයක් ද, පරණ ප්‍රශ්නයක් ම ද ? - By Bodh Maathura


 

Leader Whats app


 
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

ඉවරයි බුද්ධ සාසන හා සංස්කෘතික අරමුදල ආර්ලගේ බැංකුවට ! | The Leader TV
 

නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්