බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීම සම්බන්ධයෙන් පොලීසිය විශ්‍රාමික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන

තිබේ.

ඔහු ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ පියා වීම හේතුවෙන් විර්ශනය පිළිබඳ බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය යොමුව ඇත.

පසුගිය ජනවාරි 11 වන දින දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බෝම්බය සොයාගත් දිනයේ දීම එම දේවස්ථානයේම සේවකයින් ද ඇතුළුව සැකකරුවන් සිව්දෙනෙකු බොරැල්ල පොලිස් අත්අඩංගුවට පත්විය.

විමර්ශනය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගෙන් දැඩි විවේචනයක් එල්ලවී ඇත.

 බලධාරීන් සත්‍යය හෙළි කිරීම වෙනුවට ගොතන ලද කතාවක් ඉදිරිපත් කරඇති බවත් එම අත්බෝම්බය දේවස්ථානයට රැගෙන විත් එය තැබූ පුද්ගලයා පිළිබඳව විමර්ශන හරි ආකාරව සිදු නොවන බවත් පවසන උන්වහන්සේ, අනතුරුව අදාල සීසීටීවී දර්ශන මාධ්‍යවෙත මුදාහරින ලදී.

කාදිනල් හිමිපාණන් ගේ එම හෙළිදරව්වෙන් පසුව එම සීසීටීවී දර්ශන වල සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගත බවට පොලිසිය පැවසිය.

පොලිසිය පවසන්නේ රුපියල් 50000සක කොන්තරාත්තුවක් මත ඔහු එසේ එම අත්බෝම්බය බොරැල්ලේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට ගෙනැවිත් තැබූ බවයි.

ඔහුගේන් ප්‍රශ්න කරීම් වලින් අනතුරුව දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ජනවාරි මස 17 වන දින පිළියන්දල දී අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන, බදාදා (ජනවාරි 19) කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික වෛද්‍යවරයා, ප්‍රකට සමාජ මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ද තරග වැදුණු ඕෂල හේරත්ගේ පියා ය.

 

තම පියා අත්අඩංගුවට ගැනීමේ දී තමාට සහ සිය පියාට අත්විඳින්නට සිදුවූ අකරතැබ්බය ගැන ජනවාරි 19 දා මාධ්‍යවේදීන් අමතමින් ඖෂල හේරත් විස්තර කළේ ය.

"ලොකු විශාල කණ්ඩායමක් නිවස ඇතුළට ආවා. සියලු දොරවල් සහ ජනෙල් විවෘත කළා. මට සහ මගේ පියාට සාලේ පුටුවේ වාඩිවෙන්න කිව්වා. මගේ පියා රජයේ වෛද්‍යවරයෙක්, දැන් විශ්‍රාමික යි. වයස අවුරුදු 75 යි," ඔහු පැවසීය.

තම නිවසට ඇතුළු වූ නිලධාරීන් තම එකොළොස් හැවිරිදි පුතාට සහ කම්කරුවන් දෙදෙනෙකුට මුළුතැන්ගෙයි ප්‍රදේශයේ රැඳී සිටින ලෙස නියෝග කළ බවත්, තම බිරිඳට සහ සහෝදරියට නැවත ඔවුන්ගේ කාමරවලට යන ලෙස නියෝග කළ බවත් ඔහු පැවසීය.

"ඔවුන් සෝදිසි කිරීමේ දී ඔවුන් අපේ ජංගම දුරකථන සහ ලැප්ටොප් උපකරණ රැගෙන ගියා. මගේ කාමරයේ දී ඔවුන් මගේ පුතා පාවිච්චි කළ සෙල්ලම් තුවක්කුවක් සොයාගත්තා. ඔවුන් එය භාරයට ගත්තා. මීට වසර 15කට පෙර මම වායු රයිෆල් එකතු කිරීමට පුරුදුව සිටියා, ක්‍රීඩා කරන්න පාවිච්චි කරන ඒවා. ගිනිඅවි මොනවාවත් නොවේ. ඒවත් අරන් ගියා. සුවනියර් ස්වෝඩ්ස් දෙකක් තිබ්බා, කැටයම් දාපු කඩු, සිහිවටන දෙකක්, ඒකත් අරන් ගියා," ඕෂල හේරත් පැවසිය.

 

ඖෂල හේරත් කියා සිටින්නේ කිසිදු ලියවිල්ලක් ලබා නොදී සිය පියා රැගෙන ගිය බව යි. පොලිස් අත්අඩංගුවේ පසුවන තම පියා බැලීමට යාමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බව ද ඕෂල හේරත් සඳහන් කළේ ය.

 

"මං ඇහුවා මොකද්ද ප්‍රශ්නය කියලා. එතකොට කිව්වා සියලු ශාන්තුවරයින්ගේ දෙව්මැදුරේ බෝම්බේ තිබ්බ එක්කෙනා කිව්වා කියලා අපේ තාත්තාගේ කීමට තමයි ඒක තිබ්බෙ කියලා. මම ඇහුවා උදේ තියපු එක්කෙනා ද, හවස තියපු එක්කෙනා ද කියලා. එතකොට කිව්වා උදේ තියපු එක්කෙනා කියලා. ඊට පස්සේ ඇහුවා ඔගොල්ලන්ගේ අම්මා නැතිවුණා ද කියලා. ඊටපස්සේ මම කිව්වා ඔව්, මීට මාස හයකට කලින් අම්මා නැතිවුණා කොරෝනා හැදිලා කියලා. එතකොට කිව්වා ඔයාගේ තාත්තගේ මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා. අම්මා නැතිවුණාට පස්සේ තමා මෙයා මේ දේවල් කරලා තියෙන්නේ, මෙයා මේ ඒ කේන්තියට අම්මා නැතිවුණ එකත් එක්ක සමාජයේ වෛරයත් එක්ක මානසික ආබාධයක් එක්ක තමා මේක කරලා තියෙන්නේ කියලා."

ඖෂල හේරත් කියා සිටියේ කිසිදු ලියවිල්ලක් ලබා නොදී සිය පියා හා නිවසේ තිබූ භාණ්ඩ රැසක් රැගෙන ගිය බව යි.

"තාත්තාව අරන්ගියා. හැබැයි අරන් ගියාට අපිට ඇරස්ට් නෝට් එකක්වත්, කිසිම ඩොකියුමන්ට් එකක්වත් දුන්නේ නැහැ. හැබැයි හරියට මංකොල්ලකාලා ගියා වගේ. මේ වෙනකන් මගේ තාත්තව මටවත් හෝ අපේ නීතිඥයින්ටවත් බලන්න දීලා නැහැ," ඔහු චෝදනා කර සිටියේ ය.



"තමන්ව අත්අඩංගුවට ගන්නේ ඇයි කියලා කියන්න ඕනේ. ඒක කාගෙවත් ඔලුවේ තියෙන්න බැහැ. ඒක ප්‍රකාශ කළ යුතු යි. නීතිඥ සහය ඖෂලගේ පියාට දෙන්නේ නැතිව මේ කරන විගඩම මොකද්ද කියලා අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා," ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමෙන් දින දෙකකට පසු, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ කොළඹ දේවස්ථානයකින් අත්බෝම්බයක් සොයා ගැනීම කුමන්ත්‍රණයක් බව යි.

විමර්ශනය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණෝ ශ්‍රී ලංකා පොලිසියට දෝෂාරෝපණය කළ අතර, බලධාරීන්ට සත්‍යය හෙළි කිරීම වෙනුවට ගොතන ලද කතාවක් ඉදිරිපත් කළ බවට චෝදනාකර සිටියහ.

උන්වහන්සේ වැඩිදුරත් කියා සිටියේ පොලිස් පරීක්ෂණ පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බව යි.

අත්බෝම්බය සොයාගත් දින පස්වරු තුනේ සිට පටිගත වූ සීසීටීවී දර්ශන පමණක් පරීක්‍ෂා කර ඇති බවත්, එදින උදෑසන සිට පටිගත වූ දර්ශන පරීක්‍ෂා නොකළ බවත්, උදෑසන දර්ශනවල පුද්ගලයකු සැකකටයුතු ආකාරයෙන් කටයුතු කරන බව පැහැදිලිව පෙනන බවත් උන්වහන්සේ පැවසූහ.

"අපිට පේනවා ඇත්ත හොයනවා වෙනුවට කතාවක් හදන්න තමයි මේ වගේ දේවල් කරන්නේ. පොලිසියේ හැසිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. මෙය කුමන්ත්‍රණයක් ලෙසයි මා දකින්නේ," උන්වහන්සේ පැවසූහ.

 

All Saint's Church Borella

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය

 

එම චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ද මාධ්‍යයට අදහස් පළ කළේ ය.

"පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය දෙකක් තුනක් ඇතුළත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය යි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කළාට ඒක මං හිතන්නේ නෑ සාධාරණයි කියලා," ඔහු පවසා සිටියේ ය.

"අත්බෝම්බයක් හමුවෙලා තියෙනවා. ඒ බෝම්බය එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම කරන්න තියෙනවා. ඒවා කරගෙන යනවා. පැය දෙකක් තුනක් ඇතුළත, එහෙම නැතිනම් පැය 24ක් ඇතුළත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න පුළුවන් නම් එක ප්‍රාතිහාර්යක් විය යුතු යි."

"මම ආරක්ෂ ලේකම් විදියට සහතියක් දෙනවා රටේ ජනතාවට, මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයින් නීතියේ රැහැනට ගෙනවා කියලා," ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ය.

"මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඔය වගේ විමර්ශන දේවල් කරන්න මට තියෙනවාට වඩා දැනුමක් රහස් පොලීසියට තියෙනවා. කාදිනල්වහන්සේ එහෙම ප්‍රකාශකළාට, උන්වහන්සේ හිතනවාට වඩා දුර හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න රහස් පොලීසියටත්, පොලීසියටත් හැකියාව තියෙනවා."

"ඒ අයට පරීක්ෂණ කරන විදිය උගන්නන්නේවත්, ඒ පරීක්ෂණ කරන විදිය විවේචනය කරන්නෙවත් නැතුව පොඩ්ඩක් ඒ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. තව දවස් කිහිපයක් යනකොට විස්තර මහජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කාදිනල් උන්නාන්සේටත් දැන ගන්න පුළුවන් වෙයි. මොකද උන්වහන්සේ නෙමෙයි පොලිස්පතිතුමාට කෝට් එක දුන්නේ. මම දන්නේ නෑ කාදිනල්හිමියන්ට අයිතියක් තියෙනවා ද කියන්න පොලිස්පතිතුමාගේ කෝට් එක ගලවලා යන්න කියන්න. නමුත් එක උන්වහන්සේගේ අදහස වෙන්න පුළුවන්.

 

''මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස්පතිතුමා නම් ඔය කිව්ව පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි මෙහෙයවනවා කියන එක මම ආරක්ෂක ලේකම්වරයා හැටියට දන්නවා." - විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න

 

මෙම සිද්ධිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල කළ විමසීම් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින බවත් රහසිගතව අදාල විමර්ශන සිදුකෙරෙන බවත් ය.


(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :


බොරැල්ල බෝම්බ සිද්ධියට ඕෂලගේ පියා අත්අඩංගුවට ! විශේෂ ප්‍රකාශයක්

බොරැල්ල බෝම්බ සිද්ධිය: ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !



එලවීමෙන් තොර විසඳුමක් නැත! | මොණරවිලගේ ලියමන |



ජනපතිගේ අලුත් turn එක බැසිල්ගෙන් පටන් ගනී ! Gossip



கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!



සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?



225ටම ඇමතිකම්! | වියත්කතා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image