ප්‍රබන්ධකරණයේ යෙදෙන ඕනෑ ම පුද්ගලයකු සිය ප්‍රබන්ධය සඳහා ලොව කොතැනක හෝ සිදු වූ හෝ සිදුවෙමින් පවතින සිද්ධියක් සිය ප්‍රබන්ධය
සඳහා වස්තු බීජ කරගන්නා බව නොරහසකි. ඇතැම් විට එම සිද්ධිය ඔහු හෝ ඇය දුටු සිහිනයක් ද විය හැකි ය. නමුදු එසේ සිදුවන්නේ කලාතුරකිනි. මන්ද සිහිනය යනුම මනසේ සැඟවී පවතින කුඩා වස්තු බීජයක් වන බැවිනි. එවිට ආපසු හැරී බැලීමේ දී දක්නට ලැබෙන්නේ එම වස්තු බීජය වුව ද අදාළ පුද්ගලයාට කොතැනක දී හෝ හමු වී ඇති බව ය.

ඉතිහාසය යනු ම ප්‍රබන්ධයක් නොවේ ද...?
 
 
මේ ආකාරයට ප්‍රබන්ධකරණයේ නියැළෙන පුද්ගලයා සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නේ ඉතිහාසමය කරුණක් නම් ඔහු හෝ ඇය වඩාත් ප්‍රවේසම් විය යුතු ය. මන් ද ඇතැම් විට ඉතිහාසය යනු ම ප්‍රබන්ධයත් සත්‍යයත් අතර පවතින ප්‍රපංචයක් වන බැවිනි. ඊට නිශ්චිත ම හේතුවක් ගෙන හැර දැක්විය නොහැකි වුව ද ඉතිහාසය රචනා කර තිබෙන්නේ ද යථාර්ථවාදි ලෙස නොව එක් පුද්ගලයකුගේ හෝ එක් කණ්ඩායමකගේ අවශ්‍යතාව පරිදිය යන්න ඉතා පැහැදිලි ය. ඒ සඳහා මහා වංශයේ සිට මෑතක ලියැවුණ යුද අත්දැකීම් දක්වා වූ සියලු කෘති සාක්ෂි දරනු ඇත.
 
ඉදින් ප්‍රබන්ධකරුවකු හෝ ප්‍රබන්ධකාරියක ඉතිහාසමය කරුණු මූලාශ්‍ර ලෙස ගෙන ප්‍රබන්ධයක් රචනා කිරීමේ දී අදාළ කතුවරයා හෝ කතුවරිය ඉතා ප්‍රවේශම් විය යුතුවා සේ ම අදාළ කෘතිය කියවන පාඨක ප්‍රජාව ද ඉතා සීරුවෙන් එය කියවා ගතයුතු ය. එසේ නොවුන හොත් ඉතිහාසය ලියා තැබූ පුද්ගලයන් මෙන් ම එම කරුණු මූලාශ්‍ර කරගෙන ප්‍රබන්ධ කරණයේ යෙදුණ පුද්ගලයා ද පාඨක ප්‍රජාවගේ විවේචනයට බඳුන් විය හැකි ය.

මා එසේ පවසන්නට හේතු වූයේ කුමාර සිරිවර්ධන විසින් රචිත ස්වතන්ත්‍ර නිර්මාණයක් වන ‘‘භවනිරෝධ’’ ප්‍රබන්ධ කෘතිය යි.

IMG 20221106 194554
හෙතෙම එම කෘතියට පාදක කරගන්නේ දුටුගැමුණු රජුගේ අභාවයෙන් ඉකිබිති රාජ්‍යත්වයට පත් වන සද්ධාතිස්ස රජුගේ සිට ඔහුගේ අභාවයෙන් රාජ්‍යත්වයට පත්වන ලජ්ජතිස්ස රජු දක්වා වන කාල සීමාව ය. මෙම කාල සීමාව තුළ සිදු වූ බොහෝ දෑ ඉතිහාසය ලියු පුද්ගලයා හෝ කණ්ඩායම විසින් විවිධාකාරයෙන් ලියනු ලැබ ඇත. ඒ කෙසේදැයි මඳක් විමසා බලමු.

‘‘ගැමුණු රජුගේ මල් සැදැහැතිස්ස10 රජ රාජ්ජයට පැමිණ දිගානක11 වෙහෙර කරවා මුල්ගිරිගල වෙහෙර කරවා දස අටක් මහ වැව් බදවා තිස් හත් අවුරුද්දක් රාජ්ජය කර දෙව්පුර1 ගියාහ. ඔහු පුත් තුල් නම්2 රජ එක් අවුරුදු අට මසක්3 රාජ්ජය කර අනුරාධ පුරයෙහි4 වෙහෙර කරවා සිටින විට ඔහු5 මරා ලැමිණිතිස්ස6 රජ තිස්නව අවුරුද්දක්7 රාජ්ජය කළේය.’’

රාජාවලිය: ඒ. වී. සුරවීර: පිටු 189, 190: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව: දෙවන මුද්‍රණය 1997

‘‘...සැදැහැතිස් රජු මළ කල සියලු ඇමතියෝ ථූපාරාම විහාරයෙහි රැස්වූවෝ සියලු භික්ෂු සංඝයා රැස් කොට රට රක්නා පිණිස සංඝානු මතයෙන් ථුල්ලත්ථන කුමරු අභිෂේක කළහ. ලදැතිස් කුමර ඒ අසා මෙහි අනුරාපුර අවුදින් උහු අල්වාගෙන තෙමේ රජ කරවිය. ථුල්ලත්ථන රජ වනාහී එක් මස් දස දිනක් (රජය කළේ ය.)’’

මහා වංශය: පිටුව 139: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය: දෙවන මුද්‍රණය 2004
 
‘‘සද්ධාතිස්ස රජු දිගාමඬුල්ලේ සිටි කාලයේ දී ඔහුගේ බාල පුත්‍රයකු වු ථුල්ලත්ථන කුමරා කඩදොර කන්දර නම් විහාරයක් කරවීය. ඉක්බිතිව දුටුගැමුණු රජතුමා මරණාසන්න බවට පණිවිඩය ලැබූ සද්ධාතිස්ස කුමරු අනුරාධපුරය බලා යන විට ථුල්ලත්ථන කුමරුද පියා සමග එහි ගොස් නතර විය. සද්ධාතිස්ස රජුගේ මරණින් පසු ඇමතියෝ ථූපාරාමයට රැස්ව සංඝයාගේ ද අනුදැනුම ඇතිව මේ කුමරා රාජ්‍යයෙහි අභිෂේක කළහ. දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මීට පෙර සංඝයා මුලික වු අවස්ථා පැවතියද ලංකා ඉතිහාසයේ රජකම ලබා දීමේ භාරදූර හා වැදගත්ම කටයුත්තට සංඝයා මුල් වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

ථුල්ලත්ථන කුමරුට රාජ්‍ය කරන්නට ලැබුණේ මාසයකුත් දින දහයක් පමණි. දිගාමඬුල්ලෙන් පැමිණි සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුත් ලජ්ජතිස්ස කුමරු ඔහු අල්ලාගෙන රාජ්‍ය ගත්තේය. මෙහිදී වැඩිමහළු පිළිවෙල නොසලකා මහා සංඝරත්නය විසින් ථුල්ලත්ථන රජ කරවන ලදැයි ලජ්ජතිස්ස කුමරු සංඝයාට දෝෂාරෝපණය කළේ ය.’’

සිංහලයේ රාජවංශය - 1: පිටුව 181: ශමීන්ද්‍ර ද සොයිසා: ශමීන්ද්‍ර ප්‍රකාශන: පස්වන මුද්‍රණය 2004
 
රවාෂ (05) : රජ දුටු ගැමුණුගේ අයියා - (සුජිත් අක්කරවත්ත)
‘‘... සද්ධාතිස්ස රජු කලුරිය කළ කල්හි සියලු සංඝයා රැස් කරවා පිළිවිසින ලද මහා සංඝයාගේ අනුමතියෙන් ථුලත්ථන කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළහ. ථුලත්ථන කුමරු අභිෂේක කළ පුවත අසා (ලඤ්ජතිස්ස කුමරු) අනුරාධපුරයට අවුත් ථුලත්ථන රජු පරදවා... ථුලත්ථන රජ තෙමේ වනාහී එක් මස් දස දිනක් අනුරාධපුරයෙහි රාජ්‍ය කරවීය.’’ (මෙම කොටසෙහි සරල අර්ථය පමණක් උපුටාගත් බව සලකන්න)

වංසතථපපපකාසිනී මහාවස ටීකාව: පිටුව 488: සිංහල අනුවාදය අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක: එස් ගොඩගේ සහ සහෝදරයෝ: දෙවන මුද්‍රණය 2001

මෙම උපුටාගැනීම්වලට අනුව ථුල්ලත්ථන කුමාරයා කෙතරම් කාලයක් රජකම් කළේ ද යන්න නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි ය. එය වඩාත් පහසු කරවන පිණිස ‘‘භවනිරෝධ’’ කෘතියේ රචකයා ද ප්‍රබන්ධ කෘතිය අවසන දැක්වෙන ‘‘ඌන පූරණය’’ නම් කොටසෙහි මෙලෙස සටහන් කරයි
 
‘‘පරිකල්පනය සඳහා අප්‍රමාණ ඉඩහසර ලබා දෙන වංශකතාවන්හි සඳහන් ඉතිහාසය සියයට සියයක්ම නිවැරදි නැත. උදාහරණයක් ලෙස ‘මහාවංශයේ’ ‘දසරාජකෝ’  නමැති තිස්තුන්වෙනි පරිච්ඡේදයේ දහනම වැනි ගාථාවෙන් ‘ඉධාගන්තවා ගහෙත්වා තං - සයං රජ්ජමකාරයි, මාසඤ්චේච දසාහඤච - රාජා තුල්ලත්ථනෝ පන’ යනුවෙන් කියැවෙන්නේ ථුල්ලත්ථන රජතුමාගේ පාලන කාලය මාසයකුත් දස දිනක් පමණක් වූයේ ය කියාය. එහෙත් ‘රාජාවලිය’ පවසන්නේ ‘තුල්’ නම් රජු එක් අවුරුදු අට මසක් රජකම් කළේය කියාය. ‘පූජාවලිය’ පවසන්නේ ද ථුල්ලත්ථන රජුගේ රාජ්‍ය කාලය මාසයකුත් දස දිනක් පමණක් කියාය. ලජ්ජතිස රජු වසර නවයක් හා දින පහළොවක් රජකම් කළ බව මහාවංශය පවසන අතර ‘පූජාවලිය’සදහන් කරන්නේ එම කාලය වසර නවයයි, මාස අටයි, දින පහළොවක් කියාය. ‘රාජාවලිය’ට අනුව ලජ්ජතිස්සගේ කාලය වසර 39කි.’’
භවනිරෝධ: පිටුව 294

ඉතිහාසමය ප්‍රබන්ධකරුවාගේ/කාරියගේ වගකීම
 
kumrs riwapsd
කුමාර සිරිවර්ධන
 
යට සඳහන් සියලු කරුණු ඉදිරිපත් කළේ ඉතිහාසමය කරුණු නිමිති කරගනිමින් ප්‍රබන්ධයක් රචනා කිරීමේ දී ප්‍රබන්ධය කරන පුද්ගලයා කෙතරම් ප්‍රවේසම්සහගත විය යුතු ද යන්න පැහැදිලි කිරීම පිණිස ය. ඒ අනුව ගත් විට කුමාර සිරිවර්ධන ලේඛකයා සිය ප්‍රබන්ධය රචනා කිරීමේ දී ඉතා ප්‍රවේසම්සහගත වී ඇති බව ද පැහැදිලි ය.

කතුවරයා සිය ප්‍රබන්ධයට පදනම සකසා ගන්නේ යට සදහන් සිද්ධි මාලාව ය. එනම් එකල පැවති සම්ප්‍රදායට අනුව රජතුමකුගේ අභාවයෙන් ඉක්බිති රාජ්‍යත්වය හිමිවිය යුතු වන්නේ අභාවයට පත් රජුගේ වැඩිමහල් පුතුට වුව ද මෙහි දී එසේ සිදු නොකළ බැවින් රාජ උරුමය පිණිස සටන් වැද සිය උරුමය ලබාගත් ලජ්ජිතිස්ස රජුගේ කතාන්දරය යි. නමුදු පාඨකයන් වන ඔබත් මමත් කියවාගත යුත්තේ රචකයා නොලියූ, නමුදු කෘතියේ යටිපෙළහි සැඟව පවතින සිද්ධි දාමය යි; එහි දේශපාලනික පාර්ශ්වය යි; ආගමික පාර්ශ්වය යි; මහා සංඝරත්නය නමැති සාධකය විසින් ඇතිකරන ලද මහා විනාශයේ අභ්‍යන්තර කතාව යි. ඒ සඳහා ‘‘භවනිරෝධ’’ කෘතියෙන් ම කොටසක් කියවාගමු.

//නැගී සිටි රජතුමා මුලින්ම දන් පිළිගන්වනු පිණිස ගමන් කළේ උතර ගුත නාහිමියන් අසුන්ගෙන හුන් තැනට නොවේ. අනෙක් කෙළවර ළාබාලම සාමණේර නම අසුන්ගෙන හුන් තැනටය. සේවක සේවිකාවන්ගේ මෙන්ම රජතුමන් පිරිවරාගෙන ආ පිරිසේ ද මුහුණුවල ඇදෙන්නට වූයේ වික්ෂිප්තභාවයන්ය. ඔවුහු රජුට දන් පිළිගන්වන්නට සහය වනු පිණිස ඔසවාගෙන ආ අහර බඳුන්ද අත තබාගෙන සිටි තැන්වලම ගල් ගැසුණාහ. සේවිකාවක අත වූ බත් පිරවූ බඳුන වමතින් ඔසවාගත් රජතුමා ළාබාලම සාමණේර නමගේ මැටි පාත්‍රයට දන් බෙදුවේ ය. මහා විහාරවාසි උතර ගුත නාහිමියන්ගේ කෝපය මිශ්‍ර හඬ උස්ව නැගිණ.

‘‘ලජ්ජිතිස්ස රජතුමනි... උතුම් වූ සංඝ රත්නයට දන් පිළිගන්වන්නේ උපසම්පදාව අනුව සඟ මහලු පිළිවෙලටයි.’’

ලජ්ජිතිස්ස රජතුමා පසු නොබා නායක ස්වාමින් වහන්සේ වෙත හැරුණේය. ‘‘සංඝයා වහන්සේලා වැඩිමල් පිළිවෙළ නිවැරදිව දන්නේ යැයි මා සිතන්නේ නැහැ. එසේ දැන සිටියා නම් මේ පූජනීය භූමිය එතරම් කලබගෑනියක් සිදුවේවිද? එහෙයින් මා මගේ පිළිවෙතට අනුව සීලයේ පිළිවෙලට දන් පිළිගන්වනවා.’’

පිටු 16, 17
වායාම : (81) ධර්මධරයන් සහ විනයධරයන් (සුජිත් අක්කරවත්ත)
 
මෙහි දි ලජ්ජිතිස්ස රජු ඍජුව ම මහා නායක හිමිට අභියෝග කරන්නේ උන්වහන්සේලා විසින් මෙයෙවනු ලැබූ කුමන්ත්‍රණය රජු දන්නා බව හැඟවීම පිණිස ය. එනම්, මහා සංඝරත්නය වැඩිමහලු පිළිවෙත පිළිගන්නේ නම් උන්වහන්සේලා රජකම පැවරිය යුතුව තිබුණේ ලජ්ජිතිස්ස කුමරු වෙත ය. නමුදු ලජ්ජිතිස්ස කුමරු වුවමනාවට වඩා සංඝරත්නය මායිම් නොකළ හෙයින් උන්වහන්සේලා සියලු දෙනා ම කතිකා කරගත් පරිදි රාජ්‍යත්වයට පත් කරන්නේ ථුල්ලත්ථන කුමරු ය. ඊට පෙර දින අනුරාධපුරයේ විවිධ ස්ථානවල ලේ වැගිරීම් සිදුවන්නේ ද, නිවාස මතු නොව විහාරාම පවා ගිනිබත් වන්නේ ද නායක හිමිවරුන්ගේ අදුරදර්ශී ක්‍රියා පිළිවෙතේ විපාක ලෙසිනි. රජු මහා නායක හිමි වෙත අවධාරණය කරන්නේ එකී යථාර්ථය යි.

සංඝරත්නයේ වගකීම කුමක් ද...?
 
මෙය ක්‍රිස්තු පූර්ව 119 දී සිදුවු සංඝ කුමන්ත්‍රණයකි. ඊට පෙර ද මෙවන් කුමන්ත්‍රණ අනන්තවත් සිදු කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එමෙන් ම ඉන් පසුව ද එබඳු කුමන්තණ අනන්තවත් පැවතිණ. නුදුරේ දි ද පැවතිණ; දැනුදු සිදුවෙමින් පවතී; අනාගතයේ ද පවතිනු ඒකාන්ත ය. එහෙත් මෙබදු කුමන්ත්‍රණකාරී ක්‍රියා බුද්ධ පුත්‍රයන්ට කෙතරම් දුරට ගැළපෙන්නේ ද යන්න අප විමසිය යුතු නොවන්නේ ද...? විශේෂයෙන් ම රටක් පාලනය කරන පාලක පෙළැන්තිය ද මේ පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතු නොවේ ද...? එහෙත් එදා මෙදා තුර මෙරට සිදුව ඇත්තේ ද, දැනට සිදුවෙමින් පවතින්නේ ද, අනාගතයේ දී වුව සිදුවන්නට ඉඩ-කඩ පවතින්නේ ද රාජ්‍ය පාලනයට සංඝ රත්නය මැදිහත්වීම නොවන්නේ ද...? ඉදින් රටක පාළක පෙළැන්තිය මෙන් ම ඒ රටේ ජනතාව ද මේ පිළිබඳ අවදියෙන් සිටිය යුතු නොවේ ද...? සංඝරත්නය පැවසු පමණින් ඒ සියල්ල ම සාධාරණීකරණය කළ හැකි ද...? කිසිසේත් ම නොහැකි ය. මන්ද එදා මතු නොව වර්තමානයේ ද (එදාට වඩා සිය දහස් ගුණයකින්) බහුතර සංඝයා වහන්සේ පිරිසක් කිසියම් ම හෝ පක්ෂයකට, පුද්ගලයකුට හෝ කණ්ඩායමකට පක්ෂග්‍රාහී ය. එවිට සිදුවන්නේ සාමය සමගිය වර්ධනය වීම නොව ගැටුම් වර්ධනය වීම ය. එම ගැටුම් දඩමීමා කරගනිමින් මංකොල්ලකරුවන්, දුෂිතයන්, මිනීමරුවන් රට පාලනය කිරීම සඳහා ප්‍රවේශ වීම ය.
පාලක පාර්ශ්වයේ වගකීම
 
මෙම තත්ත්වය නුතනය සමග සසඳා බැලුව හොත් රට මේ තරම් අරාජිකත්වයට පත් වූයේ කුමන පුද්ගලයන්ගේ කුමන ක්‍රියාකලාප හේතුවෙන් ද යන්න දැන් ගරු අධිකරණය පවා නිවැරැදි තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ සඳහා මෙරට වෙසෙන ඇතැම් චීවරධාරින් ද ඍජුව ම වග කිව යුතු ය. එහෙත් එකී ව්‍යසනයට වගකිව යුතු රාජද්‍රෝහියෝ, ජනතා සතුරෝ තවමත් (මේ මොහොතේ ද) යෙහෙන් වැජඹෙති. අවම වශයෙන් ඔවුන් සම්බන්ධයෙන් නීත්‍යනුකුල පියවරක් ගන්නේ ද නැද්ද යන්න පවා ප්‍රකාශ කිරීමට වත්මන් පාලක පෙළැන්තිය අසමත් වී සිටිති. වත්මන් පාලකයා රටේ ජනතාව පිළිබඳ අවධානය යොමු කරන්නේ නම්, ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් යට කී රාජද්‍රෝහීන්, ජනතා සතුරන් නීතිය ඉදිරියට පැමිණවිය යුතු ය; ඔවුන්ට නීති ප්‍රකාරව දඬුවම් පැමිණවිය යුතු ය; ඔවුන් මංකොල්ල කෑ රාජ්‍ය දේපළ යළි ජනතාව අතට පත් කළ යුතු ය. එහෙත් එය එලෙස සිදුවේ ද යන්න සැක සහිත ය. මන්ද පාලකයෝ යනු එකම අත්තේ වසන කුරුල්ලන් බැවිනි.
 
මේ සියල්ල පිළිබඳ යළි යළිත් අවබෝධ කරගන්නට නම්: මෙරට වෙසෙන මහා සංඝ රත්නය, ඔවුන් වෙනුවෙන් දානමානාදියෙන් පිදුම් කරන බෞද්ධ සැදැහැවතුන් මෙන් ම වත්මන් පාලකයෝ ද ‘‘භවනිරෝධ’’ කෘතිය කියවිය යුතු ම ය; කියවීමෙන් පමණක් නතර නොවී එහි අභ්‍යන්තරයේ සැඟව පවත්නා දේශපාලන යථාර්ථය අවබෝධ කරගත යුතු ය; ඉක්බිති අනාගතයේ හෝ එවන් වාතාවරණයක් මෙරට ඇති නොවන්නට වග බලාගත යුතු ය.
 
වායාම 68 : සමනාරාමයේ සමනයන් - (සුජිත් අක්කරවත්ත)
මා යට මතු කළ දේශපාලන කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙළට අමතරව එකල වුව ද පැවති සංඝ භේදය, සංඝ තෘෂ්ණාව යනාදිය ද ඉතා සූක්ෂම ආකාරයෙන් පිළිබිඹු කරන්නට කතුවරයා සමත්ව ඇත. එමෙන් වර්තමානයේ මෙන් ම එකල ද බුදුන් වහන්සේ දෙසා වදාළ දහම අභිභවමින් තමන්ට රිසි පරිදි කටයුතු කළ සංඝයා වහන්සේලාගේ යථා ස්වභාවය ද ඉතා මැනවින් ඉදිරිපත් කරන්නට කතුවරයා සමත්ව ඇත.

මතු දැක්වෙන්නේ එය වඩාත් තහවුරු කරනු පිණිස ‘‘භවනිරෝධ’’ කෘතියෙන් උපුටාගත් කොටස් කිහිපයකි.

‘‘කිසිවකු අනුශාසනයක්, උපදේශයක් පැතුවහොත් එය ලබා දීම නියම බුද්ධ පුත්‍රයකුගේ යුතුකම හා වගකීම වුවත් අනවශ්‍ය ආකාරයෙන් පාලන තන්ත්‍රයේ කටයුතුවලට මැදිහත් වීම නියම බුද්ධ පුත්‍රයන් වශයෙන් නොකළ යුත්තකැයි සිතුවේද?’’

පිටුව 10
 
‘බුද්ධ චීවරය ගත දවටා ගත්තේ නම් යෙදිය යුත්තේ භවනිරෝධ ගමනේය. ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලබන අතර, රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට තම සීමාවන් නොදැන අත පොවන්නන් හට බුද්ධ චීවරය ආරක්ෂක පලිසක් වන්නේ නැත. මෙලොව පරලොව දෙකටම එම කාරණය පොදුය.’’
පිටුව 12

‘‘දමරකිත තෙරණුවන් සිත්හි නව රජු කෙරේ වූයේ දැඩි කෝපයකි, ද්වේෂයකි, වෛරයකි’’

පිටුව 14
 
‘‘ඉල්ලා සිටියහොත් අවවාද අනුශාසනා ලබාදිම මිස...’’ තෙරණුවෝ යළි සිය හඬ අවදි කළහ. ‘‘රජුන් රැකීම, රජුන් තැනීම අපගේ කාර්යය නොවෙයි. සක්විති රජකම පසෙකට ලා සම්බුද්ධ රාජ්‍ය අත්පත් කරගත් බුදුරජාණන් වහන්සේගේ මග යනු පිණිස බුද්ධ චීවරය දවටා ගත් අප තමන් තමන්ගේම නිදහස්වීමේ සංග්‍රාමයේ නියැළෙන්නන්’’
 
පිටුව 91

‘‘බුදුරජාණන් වහන්සේ දේශනා කළ මග අනුගමනය කරන මහා සංඝ රත්නය කිසි විටෙක අයහපත් බලපෑම් කරන්නේ නැහැ. රාජ්‍ය පාලනයට ඇඟිලි ගසන්නේ නැහැ.’’

පිටුව 125

‘‘සිවුරු පොරවා ගත මහණ කිරීමෙන් පමණක් පලක් නැහැ... සිත මහණ කළ යුතුමයි. පැවිදි වූවාට පසුව මහණකමේ පිළිවෙත් ආරක්ෂා කළ යුතුමයි.’’

පිටුව 133

‘‘හිස මුඩු කොට බුද්ධ චීවරය සිරුර දවටා ගත් පමණකින් සතර වරිගයම නිවන් දකින්නෙ නැහැ දරක නග. ඒ කතාවේ ඊට වඩා ගැඹුරු අරුතක් තියෙනවා.’’
 
පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා  කළ මුල්ම භික්‍ෂුව
පිටුව 142
 
‘‘රජකු වේවා යාචකයකු වේවා ඔවුන් ගිහියන්. අප පැවිද්දන්. ගිහියා හා පැවිද්දා මාර්ග දෙකක යන අය. ගිහියකු යම් අවවාදයක් අනුශාසනාවක් පතා අප වෙත ආ කල අවශ්‍ය අවවාදය ලබා දුන්නත්, ඔවුන්ගේ කටයුතු කෙරෙහි අප මැදිහත් විය යුතු නැහැ. මගේ ඥාතියාය, දායකයාය, රජතුමාය, ගිහි කල යහළුවාය ආදි වශයෙන් ගිහියන් කෙරේ ඇලීමක් නොමැතිව අප විසුවහොත් පැවිද්දේ කිසිම බන්ධනයක් නොමැති බවත් බාහිර සමාජයේ කෙබඳු පෙරළියක් සිදු වූවත් පැවිද්දකුට ඉන් බලපෑමක් නොමැති බවත් වැටහේවි’’
පිටුව 164

‘ඒ කරුණු පසට අමතරව දහම් දෙසීම පිළිබඳ තවත් සික පද තිබෙනවා දමරකිත. හඬ ලෙලවා... ගීත ස්වරයෙන් ධර්මය ගායනා නොකළ යුතුය යන්න එහි පළමු සික පදය වනවා.’

පිටුව 165

‘‘එසේ වෙතත් මහා විහාරීය සංඝ සාමග්‍රිය දෙදරා ගොසින්. ශොණගුත නාහිමියන් සහ තවත් සංඝයා වහන්සේලා ථුල්ලත්ථන කුමරුවන් කෙරේ වැඩි සැලකිලි දැක්වීම, කුමරු වෙතින් බොහෝ ලාබ අපේක්ෂා කිරීම තවත් සංඝයා වහන්සේලාගේ විවේචනයට බඳුන් වී තිබෙනවා.’’

පිටුව 193

‘‘මින් පසු හැම අවස්ථාවකම සිහසුනට සුදුස්සා නම් කරන්නේ සංඝයා වහන්සේද? රජු වෙතින් පාලනය වන ජනතාවගේ මනාපය සංඝරත්නයේ අභිමතය ඉදිරියේ  යටපත් වනවාද?’’

පිටුව 245

‘‘හෙට උදැසන මා රජ මාලිගයට වැඩම කරනවා. ඊළඟට රජු හා කථිකා කොට සියල්ල සංසිඳුවීමට පියවර ගන්නවා. බුද්ධ චීවරයට එරෙහිව නැගෙන්නට පාංශකුලය පවා අහිමිව යාවි.’’

පිටුව 263

මේ සැම අවස්ථාවක දීම පිළිබිඹු කෙරෙන්නේ මහා සංඝයා යන පිරිස කෙතරම් නිර්ලජ්ජිත ආකාරයෙන් රාජ්‍ය පාලනයට අත පෙව්වා ද සහ ඒ හේතුවෙන් රටත් රාජ්‍යයත් කෙතරම් අරාජික වුවා ද යන්න ය.

‘‘මා... මා දෘෂ්ඨි ග්‍රහණය, උපාදාන ග්‍රහණය හා අන්තවාදී වීම සිදු කළේ තථාගතයන් වහන්සේගේ දේශනාවන්ගෙන් බැහැරව යමින්. සංඝයා වහන්සේ පාලන කටයුතුවලට අත පෙවූ විට, රජුන්ට ළං වූ විට, රජුන් සංඝයා වහන්සේ සමීප කරගෙන ඔවුනට පාලන කටයුතුවලට අත පෙවීමට කටයුතු කළ විට ලෝකාපවාදයට ලක් වන්නේ බුද්ධ චීවරයයි. එය බුද්ධ ශාසනයේ ආයුෂ සඳහා අහිතකර ලෙස බලපානවා. මා වරද නිවරද කරගත යුතුයි.’’
 
වායාම : (81) ධර්මධරයන් සහ විනයධරයන් (සුජිත් අක්කරවත්ත)
පිටුව 280
 
යට දැක්වුයේ මේ මහා කුමන්ත්‍රණයට සභාභාගි වූ එක් භික්ෂුවකගේ පශ්චාත්තාපය යි. කතුවරයා එය එසේ ඉදිරිපත් කරන්නේ සංඝයා වහන්සේලා වරදක් සිදු කර ඇති බව උන්වහන්සේලා ම අවබෝධ කරගත් බව ප්‍රකට කිරීම සඳහා ය. නමුදු ලාංකීය ඉතිහාසය ලියා ඇති කිසිදු ලියවිල්ලක එදා සිදු කළ මහා සංඝ කුමන්ත්‍රණය වැරැදි යැයි සංඝයා වහන්සේ පිළිගත් බව සඳහන් නොකෙරේ. ඒ වෙනුවට ඉතිහාසයේ ලියැවී තිබෙන්නේ පසු කලෙක දී ලජ්ජිතිස්ස රජු සංඝයා වහන්සේ කමා කර බුද්ධ ශාසනය වෙනුවෙන් මෙහෙය ඉටු කළ වගයි. ඉදින් ඉතිහාසය යනු නිවැරැදි ඉතිහාසය ද...? එහි ප්‍රබන්ධත්වය අන්තර්ගත නොවේ ද...? ඒ සියලු කරුණු තමන් රිසි පරිදි ලියා තබා නැති ද...?
 
කතුවරයා භික්ෂුන් කෙරෙහි සාවධානව අවධානය යොමු කරන්නේ මෙලෙසිනි.

‘‘ශොණගුත නාහිමි දෙවුර හැකිළුවේය. ‘‘නොදනිමි. මට යන තැන ගැන නිශ්චිත අදහසක් නැහැ. අනුරපුරයෙන් බොහෝ ඈත ආරණයකට. මෙතුවක් විවිධ හේතු නිසා බාහිර අරමුණු කරා දිව ගිය මා දැන් නතර වී ශ්‍රමණ ව්‍රතය පිරිය යුතුය.’’

පිටුව 281

ශොණගුත හිමි පසුව හෝ තමන් කළ වරද අවබෝධ කරගෙන එතෙක් නමට පමණක් දවටා ගෙන සිටි චීවරයට සැබෑ වටිනාකමක් ලබා දෙන්නට කටයුතු කළ ආකාරයට මෙතෙක් රට අරාජික කළ සහ අනාගතයේ රට අරාජික කිරීමට බලාපොරොත්තුවෙන් සිටින චිවරධාරිහු ද ශොණගුත හිමි පසක් කරගත මාර්ගය පසක් කර ගන්නේ නම් මෙරට යහපත් රටක් වනු නොඅනුමාන ය.

කතුවරයාගේ අවධානයට

20231118 075922‘‘භවනිරෝධ’’ කෘතිය රචනා කිරීමේ දී කාලයට සමපාත: පුද්ගල නාම, ග්‍රාම නාම, පරිසර වර්ණනා යනාදිය ඊට සාපේක්ෂ භාෂා ශෛලියකින් ඉදිරිපත් කරන්නට කතුවරයා සමත්ව ඇත. එහෙත් ඇතැම් අවස්ථාවල දී: විශේෂයෙන් ම ඇතැම් චරිත භාවිත කරන දෙබස් ඛණ්ඩවල දී නොදැනුවත්ව ම වත්මනේ දී වුව නිවැරැදි නොවන ආකාරයෙන් භාවිත කෙරෙන වදන් භාවිත කර ඇත. මේ ඊට නිදසුන් කිහිපයකි.

‘‘සියලු දුක්ඛ දෝමනස්සයන්, සුඛ සෝමනස්සයන්, ක්‍රෝධයන්, වෛරයන්, සකසාගන්නේ තමන්මයි.’’

පිටුව 14

මෙහි එන: ‘දෝමනස්සයන්’, ‘සෝමනස්සයන්’, ‘ක්‍රෝධයන්’, ‘වෛරයන්’, යනු වත්මනෙහි බහුලව භාවිත වන වදන් සමුහයකි. මේ වදන් නිවැරැදි නොවේ. අනෙක් පසින් ගත් විට ක්‍රිස්තු පූර්ව 119 කාලපරිච්ඡේදයේ දී මෙබඳු වදන් කිසි සේත් ම භාවිත වී ඇති බවට විශ්වාස කළ නොහැකි ය. අනෙක මේ කතුවරයාගේ ලිඛිත වදන් නොව උස්සිලියා තිස නමැති භික්ෂුවගේ මුවෙන් ගිලිහෙන වදන් ය. ප්‍රබන්ධයට පාදක වන කාලයේ දී මෙබදු වදන් භාවිත කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ද.

මතු දැක්වෙන්නේ ඒ සඳහා තවත් නිදසුනකි; එය ද දෙබස් ඛණ්ඩයකි.

‘‘සම ශ්‍රද්ධා, සම ත්‍යාග, සම චාග හා සම ප්‍රඥා යන ගුණයන් වර්ධනය කරමිනි...’’

පිටුව 221

මෙහි එන ‘ගුණයන්’යන වදන එකල භාවිතා වන්නට ඇති ද?
 
සමස්ත කෘතිය පිළිබඳ කිරා මැන බැලීමේ දී මේබදු අවස්ථා යනු එතරම් මායිම් නොකළ යුතු අවස්ථා නොවේදැයි කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. නමුදු කතුවරයා ඉතා මහන්සියෙන් හසුරවා ඇති භාෂා විලාසය මෙබඳු කුඩා අවස්ථා කිහිපයක් හේතුවෙන් නී රස තත්ත්වයට පත්වන බව මගේ හැඟීම ය. එය මගේ රසවින්දනයට බාධා පමුණවන බව නොපැකිළව පැවසිය යුතු ය. ඉදින් අනාගතයේ දී මෙබදු ප්‍රබන්ධ කෘතියක් රචනා කරන්නේ නම් මේ පිළිබඳව වඩ වඩාත් අවධානය යොමු කරන්නැයි මම කතුවරයාගෙන් ඉල්ලා සිටිමි.
 
සැ.යු. - මෙම ලියවිල්ල සඳහා උපුටා ගත් සියලු කොටස්හි අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම් ඒ ඒ කෘතිවල අන්තර්ගත පරිදි ම බව සලකන්න.

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/11/19    

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්