1200 x 80 DMirror
 
 

භික්ෂූන් කිහිප නමක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොල්ගහවෙල පදිංචි 33 හැවිරිදි ශක්තික සත්කුමාර නමැති තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මේවනවිට මාස කිහිපයක් පුරා රිමාන්ඩ් භාරයේ පසුවේ.

 

බෞද්ධ භික්ෂූන් ගේ සමලිංගික චර්යාවන් ඇතුලත් කෙටි කතාවක් ප්‍රකාශයට කිරීමට එරෙහිව එම පැමිණිල්ල ගොනුකර තිබිණ.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කෙරිණි.

අදාළ ලේඛකයා සම්බන්ධයෙන් පෙබරවාරි මස පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඔහුගේ නිර්මාණ බුද්ධ චරිතයට නිගා දෙන බවට චෝදනා කර තිබුණි. බුද්ධ ශාසනය කෙරෙහි ද්වේශසහගත අරමුණින් එකී නිර්මාණය පෙළ ගස්වා ඇති බව පවසන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය එය "සමස්ත බෞද්ධ ප්‍රජාවගේම සිත් රිදීමට" හේතු වී ඇතැයි සඳහන් කරයි.

 bauddha

 

කෙසේ නමුත් ලේඛකයා අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස අහුරා දැමීමක් බව ඇතැම් කලාකරුවන් සහ මාධ්‍ය සංවිධානවල අදහස වී ඇති අතර අදාළ කෙටි කතාව මගින් බුද්ධ දර්ශනයට හානියක් සිදු වී නොමැති බවට තවත් සමහරෙක් තර්ක කරති.

ලේඛක ශක්තික සත්කුමාර සම්බන්ධයෙන් පැමිණිලි කළ බව පැවසෙන බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ නමැති සංවිධානය වෙත ලිපියක් යොමු කරන ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පවසන්නේ එකී නිර්මාණය මගින් බුද්ධ ධර්මයට කිසිදු නිගාවක් හෝ අපහාසයක් සිදු නොවන බවය.

"ශක්තික සත්කුමාරගේ කෙටිකතාව සාර්ථක රචනයක් ලෙස සැලකිය නොහැකි වන්නේ වුවද එය සාහිත්‍ය නිර්මාණයක් මිස බුදුදහමට විරැද්ධව ගැසූ කැලෑපත්තරයක් නොවේ. එහෙත් ඔබවහන්සේගේ පුවත්පත් නිවේදනය ඔප්පු කළ නොහැකි අසත්‍ය ප්‍රකාශ සහිත පුද්ගලික ජීවිතවලට අපහාස කරන කැලෑ පත්තරයකට සමාන බව කණගාටුවෙන් පෙන්වා දෙන්නෙමි." යයි ජයතිලක කම්මැල්ලවීර සිය FB පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.

 

සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතිකාවක් :

සිවුර හැරගිය පුද්ගලයෙකු පාදක කර ගනිමින් රචිත මෙම ප්‍රබන්ධ කෙටිකතාවක ලේඛකයා බන්ධනාගාර ගත කිරීමත් සමග භාෂණයේ නිදහස සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සංවාදයක් මතුව තිබේ.

ආගමික කණ්ඩායමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කලාකරුවෙකු අත්අඩංගුවට ගැනීම බෞද්ධ දර්ශනයට කෙතරම් එකඟ දැයි යන්න සමාජ ජාල ඔස්සේ ඇතැමෙක් ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති අජිත් කල්හාර ගමගේ මෙසේ සඳහන් කර ඇත.

 Ajith Kalhara post

බෞද්ධ අන්තවාදීන්ගේ උවමනාවන් මත අයුක්තිසහගත ලෙස සිරගත කෙරුනු ලේඛක ශක්තික සත්කුමාර⁣ගේ නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් උසාවියේ කැඳවූ අවස්ථාවේ පොලීසිය වැඩිදු⁣ර වාර්ථා ඉදිරිපත් කරමින් ප්‍රකාශකලේ විමර්ශන වලින් අනාවරනය කරගත් කරුනු අනුව අදාල කෙටිකථාව අඩංගු කෙටිකථා සංග්‍රහයේ මෘදු පිටපත් අඩංගු සීඩී තැටි තුනක් නඩුභාන්ඩ ලෙස ඉදිරිපත් කරන බවත් වැඩිදුර පරීක්ෂන සඳහා දින ලබා දෙන ලෙසත්ය.

සත්කුමාර වෙනුවෙන් කරුනු දක්වමින් නීතිඥ විල්සන් සඳහන් කලේ මාස දෙකකට අධික කාලයක් තම සේවාදායකයා සිරගතකොට තබා ගනිමින් පොලීසිය වැඩිදුර පරීක්ෂන යැයිකියමින් හිතාමතාම නඩුව කල් දමා ලේඛකයා අනියත කාලයක් සිරකොට තබා ගැනීම සඳහා නි⁣යෝග ලබා ගන්නා බවයි.

නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කලේ පොලිස් පරීක්ෂන යැයි කියමින් අදාල කරුනු ගැන සොයමින් ඉබාගාතේ යන ආකාරයට හුදෙක් සැකකරු සිරඅඩස්සියේ තබා ගැනීමේ අරමුනින්ම පරීක්ෂන සඳහා නඩුව දිග්ගැස්සීමට පොලීසියට නොහැකි බවයි. පොලීසිය මෙම නඩුවට අදාලව යැයි කියමින් කිසිසේත් අදාල නැති පුද්ගලයන්ගෙන් පවා කට උත්තර ගැනීමට සූදානම්වෙමින් සිටින බව ඔහු සැල කලේය.

 

ගම්මන්පිල එරෙහිව ගුනතිලක නඩුව

ගම්මන්පිල එරෙහිව ගුනතිලක සහ තවත් අය (SCFR 207/2016) යන නඩුවේ ශ්‍රිපවන් අගවිනිසුරුගේ නඩුතීන්දුව උපුටා දක්වමින් විල්සන් විශේෂයෙන් අවධාරනය කලේ පොලීසිය වැඩිදුර වාර්ථාවක් ගොනුකල විට මහේස්ත්‍රාත් විසින් හුදෙක් යාන්ත්‍රික ලෙස නියෝග නිකුත් නොකල යුතු බවත්, වැඩිදුර පරීක්ෂන අවශ්‍ය වන්නේනම් පමනක් විනිශ්චයක මනස භාවිතා කරමින් සුදුසු නියෝග නිකුත් කල යුතු බවයි.

ඒ අනුව මෙම නඩුවේ මේ දක්වා ඉදිරිපත් කොට ඇති කරුනු අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වරදක් කල බවට කිසිදු සාක්ෂියක් සත්කුමාරට එරෙහිව ඉදිරිපත්ව නැති බැවින් එම චෝදනාව ඉවත් කොට දන්ඩනීති සංග්‍රහයේ 291ආ යටතේ දැනටත් මෙම අධිකරනයට ඇපලබාදීම සිදුකල හැකි බවත් එලෙස ඇප ලබාදෙන ලෙසත්ය.

නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කලේ බෞද්ධ සංස්ථාපිතයේ අවශ්‍යතාවය අනුව පොලීසිය ක්‍රියාත්මක ⁣වෙමින් තිබෙන බවත්, මෙම නඩුවේ පැමිනිලිකරු පැවිද්දෙකු මිස ගිහි සමාජයේ පුරවැසියකු නොවන බවත් එයම සත්කුමාරගේ කෙටිකථාව නිසා පොදු ගිහි සමාජය තුල කිසිදු නොසන්සුන්තාවයක් හටගෙන නැති බවට තහවරු කරන බවයි.

පැමිනිලිකාර භික්ෂුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන්කලේ දැනටමත් ඇප ප්‍රතික්ශේප කරමින් අධිකරන තීන්දුවක් දී ඇති බවත් කෙසේවෙතත් මෙම අධිකරනයට ඇප ලබා දීමේ බලයක් නොමැති බවයි. පිලිතුරු වශයෙන් නීතිඥ විල්සන් සැලකලේ ඉදිරිපත් වී ඇති නව කරුනු අනුව අධිකරනයට ඇප පිලිබඳ නව තීන්දුවක් ලබා දිය හැකි බවය.

 

ජුනි මස 18 වන දින තෙක් රිමාන්ඩ් :

සියලු සැලකිරීම් අවසානයේ මහේස්ත්‍රාත්වරිය පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම්වලට ඉඩදෙමින් නඩුව ජුනි මස 18 වන දින තෙක් කල්තැබූ අතර එතෙක් සත්කුමාර රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලාය.

කෙටිකථාවක් නිසා බෞද්ධ හෘදසාක්ෂිය සලිත වන්නේ නම්, සංඝ සමාජය තුල කෙරෙන නොපනත් කම් හා වර්ගවාදී ප්‍රහාර නිසා බෞද්ධ සන්තානය සලිත නොවන්නේ දැයි ඇසිය යුතු ප්‍රශ්නයකි. කෙටිකථාවක් ලිවීම නිසා මාස දෙකක් තිස්සේ කිසිදු වෝදනාවක් රහිතව ලේඛකයකු රඳවා තිබෙන අතරතුර අධිකරනයට අපහාස කිරීම නිසා දඩුවම් ලබා සිටි ඟානසාර භික්ෂුව නිදහස ලබා සිටී. ''

by - sanjaya wilson jayasekera

කෙටිකථා කරුවකු මෙසේ සිරගත කර තිබීම ගැන සිය FB පිටුවේ සටහනක් තබන විමල් කැටිපේ ආරච්චි මෙසේ සඳහන් කරතිබේ.

කිසි කතාවක් නැත්තෙ ඇයි තව ඉවස ගන්නෙ ද හිරිහැරේ
කෙටි කතාවක් ලිව්ව වරදට මිනිසුනේ මිනිහෙක් හිරේ !

 Ketape post

මේ අතර ජයසිරි අලවත්ත සිය FB පිටුවේ සටහනක් තබමින්

මොහුට සිදු කර ඇති අකටයුත්තට එ‍‍රෙහිව උපවාසයක් සුදානම් කරමුද? කියා පොස්ටුවක් පළකර ඇති ඊට පුළුල් ප්‍රතිචාරයක් ලැබී ඇත.

Alawaththa Post

ඒ අතර සංජය ලියනගේ පලකළ පොස්ටුවක මෙසේ දැක්වේ.

ශක්තික සත්කුමාර නිදහස් කරනු !
කහකඩ ත්‍රස්තවාදය පරාජය කරමු !

Sanjaya post

 

ශක්තික සත්කුමාර සිරගත කිරීමට තරම් හේතුවක් දැයි ඔහු ලියූ කෙටි කතාව කියවා ඔබම තීරණය කරන්න.

- අර්ධ -

හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූයේ ගිහි ජීවිතය පිළිබඳ ඇල්මකින් ම නොවේ. නමුත් ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව ද ඇල්මක් නොවීය. උපැවිදි වීමෙන් පසු කසාන් තවදුරටත් විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරයේ සිටීමට කැමැත්තක් නොදැක්වීය. සරසවියට පැවිද්දෙක් ලෙස පැමිණ උපැවිදි වූ බොහෝ පිරිසක් ඒ වන විටත් භික්ෂු නේවාසිකාගාරයේ ලැගුම් ගෙන සිටියහ. ධම්මිස්සර හිමියන් කසාන් වෙත පැමිණෙන විට ඔහු සිටියේ පරණ සටහන් වගයක් බලමිනි.

" මිදුණා මිදුණා කසාන් නම් මිදුණා...උඹ හොස්ටල් එකේ දිගටම ඉන්නවනේ... දැන් ඉතින් චමරියට බඩු ගේන්න යන්න රෑ වෙනකම් ඉන්න ඕන නෑනේ."

ධම්මිස්සර හිමියෝ කසාන් ගේ කාමරයට ඇතුළු වී අසල තිබූ පුටුවකට බරවූහ. ඇඳෙහි සැතපී 'බුදුන්ගේ රස්තියාදුව' කෘතිය කියවමින් සිටි මේධානන්ද හිමියෝ ධම්මිස්සර හිමිගේ හඬින් පොත දකුණතට ගෙන නැගී සිටියහ.

"අපේ සදහම් සේනාවෙන් මේ පොතට විරුද්දව නඩුවක් දාන්න ඉන්නේ.. මේක සම්පූර්ණ මූලධර්ම වාදීන්ගේ වැඩපිළිවෙළක්" බුදුන්ගේ රස්තියාදුව පොත පෙන්වමින් මේධානන්ද හිමියෝ කීහ.

"කසා බෝඩිමට යනවා කියන්නේ...මූට සිවුර විතරක් නෙමෙයි අපි නෙමෙයි අපි වත් එපාවෙලාද කොහෙද?" කාමරයට එවෙලේ පැමිණි සුමේධ හිමි ගේ හඬින් කසාන් කරමින් සිටි කාර්යය මදකට නතර කළේය.

"එහෙම දෙයක් නෑ මම බෝඩිමට ගියත් නිතර ඔබ වහන්සේලා බලලා යන්න එනවා." කසාන් ගේ හඬෙහි වූයේ හැඬුම්බර ස්වභාවයකි.

" හරි හරි උඹ සීරියස් ගන්න එපා.... කොහේ ගියත් කමක් නෑ උපාධියේ වැඩ ටික හරියට කර ගනින්... "

මං කතාව ඒ විදිහට පටන් ගත්තේ එකපාරටම මට හීරළුවෙක් කියලා කියන්න බැරි හින්දා. ඒත් මම දැන් හීරළුවෙක් කියලා හැමෝම දන්නවා. මම මහණවුණේ මොකටද කියලා මම දන්නේ නෑ සිවුරු ඇරියේ මොකටද කියලා මම දන්නෙත් නෑ. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ සිවුරේ ඉන්න මට තවත් හේතු තිබුණේ නෑ.

ලොයිඩ් අයියගේ බෝඩිමට යන්න මම තීරණේ කරේ ගොඩක් දුර දිග හිතලා නෙවෙයි. ඒත් මම හිටපු පරිසරයෙන් මිදෙන්න වුවමනාවක් තිබුණා. ලොයිඩ් අයියා මට හම්බෙන්නේ අපේ හතුරෙක් විධියට. ඒත් දැන් මගේ මිතුරෙක් වුණාට සදහම් සේනාවට නම් තාම ඔහු හතුරෙක්. ලොයිඩ් අයියා වැඩ කළේ එන්.ජී.ඕ එකක. සදහම් සේනාවත් එක්ක අපි ලොයිඩ් අයියලාගේ කාර්යාලයට බලෙන් කඩා වැදුණා.

" තමුසෙලා පිටරට සල්ලි අරන් හිටපු කොටි නායකයන්ගේ පවුල්වල උදවියට ගෙවල් හදනවා කියන්නෙ ඇත්තද?"

ඥානසාර හාමුදුරුවන්ගේ හඬට කාර්යාලයේ හිටපු ඔක්කොම තමීර වෙලා ගියා. කැමරා අමෝරාගත් මාධ්‍ය කාරයෝ ඔක්කොම හිටියේ අපේ පැත්තේ .

"අවසර හාමුදුරුවනේ... අපි ගෙවල් හදලා දෙන්නේ යුද්දේ නිවාස අහිමි වුණු පවුල් වලට" කාර්යාලයේ වැඩ කරපු ළමයෙක් අපි ඉස්සරහට ආවා

"තමුසේ කවුද ?"

"මම ලොයිඩ් මේ ව්‍යාපෘතියේ"

"කසාන්බර කල්පනාවක වගේ.. මම එන්න පරක්කු වුනා ද?" ලොයිඩ් අයියා මගේ ඉදිරිපිටින් මෝටර් සයිකලය නැවැත්තුවා. මම බෑග් එකත් අරගෙන බයිසිකලේ පිටිපස්සට නැග්ගා.

"කසාන් සිවුරට වඩා ඩෙනිමට ලස්සනයි.." ලොයිඩ් අයියා බයිසිකලේ වේවැල්දූව පැත්තට හරවන ගමන් කිව්වා. මම හීනියට හිනා උනා. ඒ වෙද්දි මම හිටියේ දෙලොවක් අතර.

"කසාන් මොනවද රෑට කන්නේ. මම නම් ඉඳිආප්ප ෆුල් කොත්තුවක් කනවා. ග්‍රීන් ගාටන් හෝටල් එක ලඟ බයික් එක නතර කරන ගමන් ලොයිඩ් අයියා ඇහුවා. "මට හාෆ් එකක් ඇති." මම හිමිහිට කිව්වා.

සිවුරේ ඉද්දි මං හිතන් හිටියෙ මේ සමාජය ගොඩක් පිරිහිලා කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා දැන් මට හිතෙනවා. සමාජයේ හැමෝම හීරළුවෙක් කියලා මාව කොන් කරයි කියලා බයක් තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. සමාජයේ හැමෝම මාව පිළිගත්තා. සරසවිය වගේම නවාතැනත් වෙනදට වඩා මට ප්‍රියමනාප වුණා.

"කසාන් මං පොඩි කතාවක් ලියන්න ගත්තා. හොඳද කියල බලන්න.." ලොයිඩ් අයියා අතින් ගියපු හාප්සීට් කොළ කිහිපයක් මගේ මේසය මතට අත හැරියා. මාතෘකාවක් නැති ඒ කතාව මම හිමින් සැරේ කියවන්න ගත්තා.

යශෝධරා සිටියේ ඉකිබිඳිමින්ය. චන්නගේ ක්‍රියාවට විරුද්ධ වීමට හැකියාවක් තිබුණත් එය ඉවසා සිටියේ යටිහිත ඊට කැමැත්තක් තිබූ නිසා යැයි යශෝධරා සිතුවාය. සිද්ධාර්ථ ගිහිගෙය හැරගියේ රාහුල ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? සිද්ධාර්ථගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද? යශෝධරාගේ සිත නැගූ පැනවලට ඈ පිළිතුරු සොයනවා වෙනුවට දිගු හුස්මක් හෙලා ළය සැහැල්ලු කර ගැනීමේ බොල් උත්සාහයක නියැළුණාය.

"අම්මෝ! අයියේ මේ ලියවිල්ල නම් ගිනි ගිනිතියලා දාන්න.."

ඡේදයක් කියවූ මම ලොයිඩ් අයයාට කරුණු පහදා දීමට සිතා නැගී සිටියෙමි.

"ඇයි නිර්මාණයක් විදියට සමාජය බාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද? අනික මේක මහායාන ආගමේ තියෙන සංකල්පයක්" සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියා සලන්නට විය.

"ඒ උනාට මේක ථෙරවාදී බෞද්ධ රටක්." මට කියවුනේ ඉබේමය.

"අප්පේ ඔව් නමට විතරක්."

දෙදෙනෙක් විසින් ඇදගෙන යනු ලැබූ මාව කළුවර කාමරයකට තල්ලු කළා. විසික් වෙලා ගියපු මාව බිම වැටුණා. ඒ එක්කම කාමරේ දොර වැහුණා. අඩ අඳුරේ මම කාමරය පුරා බැල්මක් හෙලුවා. කාමරයේ මුල්ලක ලොකු හාමුදුරුවෝ සැතපිලා ඉන්නවා මම දැක්කෙ ඒ මොහොතේ. උන්නාන්සේ සිටියේ ලොකු අපහසුතාවයකින් වගේ. මම හිමින්සැරේ උන්වහන්සේ ළඟට කිට්ටු කළා. සැතපිලා හිටියට උන්වහන්සේට නින්ද ගිහින් තිබුණේ නෑ. ඇස් වල තිබුණේ කඳුළු. මාව දැක්ක ලොකු හාමුදුරුවෝ එක සැරේම හිටගත්තා. උන්වහන්සේගේ කකුල් දෙක මැද්දෙන් ලේ ගංගාවක් ගලා ගෙන යනවා දැකලා මං හොඳටම බය වුණා.

"මේ මොකද අපේ හාමුදුරුවනේ!" මං හයියෙන් කෑගැහුවා. ඒත් හඬ පිට වුණේ නෑ. හිටගත්ත ලොකු හාමුදුරුවෝ මං පැත්තට හැරිලා සිවුර ඉස්සුවා. දෙයියනේ උන්වහන්සේගේ පුරුෂ ලිංගය කපලා. එතනින් ලේ විදිනවා.

"කවුද මේ අපරාදේ කරේ.."

"ඒයි ඒයි කාසන් මොකද මං මේ රෑ ජාමේ කෑගහන්නේ.."ලොයිඩ් අයියගේ හඬින් මං ඇස් ඇරියා. කාමරේ විදුලි බුබුල දැල්වෙමින් තිබුණා.

"මං පොඩි හීනයක් දැක්කා." මම මදුරු දැල මෑත් කරලා ඇදෙන් ඉදගත්තා.

"උඹට හොඳටම දාඩිය දාලා." ලොයිඩ් අයියා මගේ දිහාවට මේසය උඩ තිබ්බ වතුර බෝතලේ විසික් කළා. බෝතලය දෑතින්ම අල්ල ගත්ත මම ඒක එක උගුරට බීගෙන ගියා. බෝඩිම් කාමරේ දොර ඇරපු ලොයිඩ් අයියා මං දිහා බැලුවෙ හිනාවෙවී.

"උඹ තාම ඉන්නේ අපායෙ ද?"

එහෙත් කිසිවකු නොකියපු මම අඳුරේම වතුර කරාමය දෙසට යන්නට වුනා. මුහුණ කට සෝදා ගත් පසු මට යම් සහනයක් දැනෙන්නට වුණා. මම ඇවිත් නැවතත් මදුරු දැල අස්සට රිංගුවා. සිහින් හඬින් සිංදුවක් මුමුණමින් ලොයිඩ් අයියා කාමරයේ දොර වහලා ලයිට් එක නිව්වා. ටික වෙලාවකට වෙලාවකට පස්සේ ඔහුගේ මිමිණුම් හඬ මගේ කණ ළඟ ඇහෙන්න ගත්තා. ලොකු හාමුදුරුවන්ගේ ඇඟෙන් ආපු දාඩිය මිශ්‍ර සුවඳ ලොයිඩ් අයියගෙ ළඟිනුත් මට දැනෙන්න ගත්තා. මම සෙමෙන් දෑස් පියාගත්තා.

- ශක්තික සත්කුමාර -

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58