මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය
අන්සතු කළ නොහැකියි.
ඒ අනුව, එම පුද්ගලයා කළ යුතුව තිබෙන්නේ වාහනයක් ආනයනය කරගෙන එය භාවිතා කිරීමයි. අවුරුදු පහක කාලයක් තුළ එම වාහනය විකිණීම නීති විරෝධීයි.
එහෙත්, බලපත්‍රයේ සිටම නීතියේ සිදුරුවලින් රිංගා යාමට ක්‍රම සම්පාදනය කරගෙන තිබෙනවා. බලපත්‍රය විකුණා මිලියන් ගණනක් උපයා ගන්නවා. එසේ උපයන අයථා ආදායම ගණන් හදා මාසික වැටුපට එකතු කළහොත්, මන්ත්‍රීවරයකුගේ මාසික වැටුපට තවත් රු. ලක්ෂයක් පමණ එකතු විය යුතුයි.
රජයේ නිලධාරීන් දසදහස් ගණනක් ද මේ අන්දමින් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගන්නවා. ඒ බලපත්‍ර ද මේ අන්දමින්ම ජාවාරම් කරනවා. පඩි මදි යයි කියන මෙම නිලධාරීන්ගේ වැටුපටත් මේ තීරුබදු රහිත වාහන ජාවාරමෙන් මසකට රු. 50,000ක් පමණ වන අයුතු ආදායමක් ලැබෙනවා.
මන්ත්‍රීවරුන්ට මෙන් නොව, ඔවුන්ට අවුරුදු පහෙන් පහට මේ බලපත්‍රයට අයිතිවාසිකම ලැබෙනවා. රජයේ නිලධාරීන් උපයන මේ අයුතු ලාභය කිසිදු පොදු වැඩකට යෙදවෙන්නේ නැහැ.
බොහෝ දේශපාලකයන් දේශපාලනය සඳහා මුදල් උපයාගන්නේ නීති විරෝධී, ආචාරධර්ම විරෝධී ආකාරයටයි. වර්තමානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වැනි අය පවා තමන් හඳුන්වන්නේ රාජපක්ෂවරුන් ලෙසයි. රාජපක්ෂ පවුලේ දේශපාලනය සඳහා යෙදවෙන්නේ කොමිස් හා වෙනත් වංචාවලින් උපයාගත් මුදල්වලින් කොටසක් බව ප්‍රසිද්ධ රහසක්.
2019 දී දින කීපයකට මන්ත්‍රී පදවිවල දිවුරුම් දුන් වරුණ ලියනගේ හා සමන් රත්නප්‍රිය යන මන්ත්‍රීවරුන් දෙදෙනා ද තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගත්තා. වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය තම තීරුබදු රහිත වාහන බලපත්‍රය විකුණාගැනීම සමාජයේ දැඩි කතාබහට ලක්වුණා.
සමන් රත්නප්‍රියට අවලාද නගන එක් දේශපාලකයෙකු වන රෝහිත අබේගුණවර්ධන මුල්වරට පාර්ලිමේන්තුවට පත්වන්නේ 2001දීයි. අතීතයේදී එදිරිවීර ප්‍රේමරත්න ඇමතිවරයාගේ රියදුරා වූ රෝහිත අබේගුණවර්ධන මේ වන විට අඩුම ගණනේ තීරු බදු රහිත වාහන බලපත්‍ර පහක් ලබාගෙන තිබෙනවා.
සමාජය පුරාම විහිදුණු දැවැන්ත දූෂණයක්, මහජන මුදලින් අයථා වරප්‍රසාද ලබාගැනීමක් හා වැඩකරන ජනතාව සූරාකෑමක් පවතිනවා. ශ්‍රී ලංකා රාජ්‍යයේ සැබෑ හිමිකරුවන් ලෙස සැලකිය හැකි ඉහළ මධ්‍යම පන්තික කොටස් ඒ සම්බන්ධයෙන් මුනිවත රකිනවා. නැතිනම් සකල දෝෂවලට මුල දේශපාලකයන් යයි කියනවා.
ධනපති විරෝධී වෙනත් කතාවක් නිර්මාණය කිරීම...
ලංකාවේ අර්බුදයෙහි මුල් සැබැවින් විහිදී තිබෙන්නේ මෙවැනි තැන්වලටයි. එනම්, සමාජය පුරා විහිදී තිබෙන දූෂණය සාමාන්‍යකරණය වී තිබීම තුළයි. එකී දූෂණයේ ඵල නෙළාගන්නා දේශපාලනය හා රාජ්‍ය සේවය ව්‍යවසායකත්වයට වඩා උත්කර්ෂයට පත්වීම තුළයි. දූෂණයෙන් ඵල නෙළාගන්නා මධ්‍යම පන්තිය තමන්ට තිබෙන වාසි ආවරණය වන පරිදි ධනපති විරෝධී වෙනත් කතාවක් නිර්මාණය කිරීම තුළයි.
ලංකාවේ සූරාකෑම පිළිබඳ කතාකරන අය තේරුම්ගත යුතු කරුණක් වන්නේ බදු මුදල් ලෙස ලංකාවේ වැඩිම සූරාකෑම කරන්නේ අන් කිසිවකු නොව රජය බවයි. රජයේ හිමිකරුවන් වන්නේ ප්‍රධාන වශයෙන්ම දේශපාලකයන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන්.
රජයෙන් වාහනයක් ලබාදීම අත්‍යවශ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට රාජකාරි සඳහා වාහන ලබාදිය යුතුයි. මේ වෙනස ලොකු වෙනසක ආරම්භය විය හැකියි.

දේශපාලන හා සමාජ විශ්ලේෂක
(පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20)